ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රටට කීර්තියක් ගෙන ආ කාන්තා ක්‍රීඩිකාවන් ඇගයීම සිදු කළ යුතුයි

2022 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන් ටොරිංටන් ක්‍රීඩාංගණයේ (08) දින පැවති වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යාවරයා මේ බව  පැවසීය.

‘’රටකි, දැයකි, ලොවකි ඇය’’ යන තේමාව පෙරදැරිව මාර්තු 08 වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් ක්‍රීඩාවේ නියැලෙන කාන්තාවන් දිරිගන්වමින් ඔවුන් ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලිය සහ ඊට සමගාමීව පැවැත් වූ ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගය සංවිධානය කරනු ලැබීය.

මෙම තරගාවලිය සඳහා කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 06ක් සහභාගී වූහ.

තරගාවලියේ ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ සංඝමිත්තා කණ්ඩායම දිනාගත් අතර, අනුශූරතාව ද දිනාගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කය ම නියෝජනය කළ ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම විසිනි. තරගාවලියේ තෙවන ස්ථානය ටොරිංටන් ක්‍රීඩා සමාජය විසින් දිනාගනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමට හිමිවිය.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව හා තෙවන ස්ථානය සඳහා කුසලාන සමගින් පිළිවෙළින් රු. 25,000/-, 20,000/- හා රු.15,000/- බැගින් සහ ප්‍රදර්ශනාත්මක තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රු. 25,000/-ක් සහ අනුශූරතාව සඳහා මුදලින් රු. 20,000/-ක් බැගින් වූ මූල්‍ය ප්‍රදානයන් සමග කුසලාන ප්‍රදානය කිරීමත් සිදුවිය.

තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සඳහා මුදල් තිළිණ ලබාදීම හා දිස්ත්‍රික් තුන නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩාම් 06 සඳහා මූල්‍ය ප්‍රදානයන් ලබාදීමත් මෙහිදී සිදුවිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අපේ රටට විශාල කීර්තියක් ගෙන ආ කාන්තා ක්‍රීඩිකාවන් බොහෝමයක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ මලල ක්‍රීඩාවේ පදක්කම් බොහෝමයක් ගෙනවිත් තිබෙන්නේ සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ වැනි කාන්තා ක්‍රීඩිකාවන්.

ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළුව අනෙකුත් බොහෝ ක්‍රීඩාවලත් ජාත්‍යන්තර තලයේ අපේ කාන්තා ක්‍රීඩිකාවන් රැඳී සිටිනවා.

විශේෂයෙන්ම අද ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් රටට කීර්තියක් ගෙන ආ කාන්තා ක්‍රීඩිකාවන් ඇගයීම සිදු කළ යුතු බව අපි විස්වාශ කළා.  ඒ සැමරීම අද මේ කාන්තා දින වැඩසටහනින් කළ යුතුයි.

කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමුකර ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අලුතින් තරග ලබාදෙන්නත් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම දේශීය සහ ජාත්‍යන්තර තරගාවලිවලට සම්බන්ධ කරවන්නත් LPL තරගාවලිය හරහා කාන්තා ක්‍රීඩා තරගාවලි සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ එය ආරම්භ කළ හැකි වේ යැයි මා විස්වාශ කරනවා.

ඒ වගේම මහේල ජයවර්ධන මැතිතුමන් පුහුණු උපදේශක විදියට කාන්තා ක්‍රිකට්වල සංවිධාන ව්‍යුහය මේ වනවිට සකස් කර තිබෙනවා. ක්‍රිකට් කමිටුවත් ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව අපි විස්වාශ කරනවා. අපිට ඉදිරියේදී කාන්තා ක්‍රිකට්වලින් ජයග්‍රහණවලට යන්න පුළුවන්.

කාන්තා ක්‍රිකට් වලින් ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වල ඉහළ පෙළේ සිටින ක්‍රීඩිකාවන් අපේ රටේ සිටිනවා. ඒ අයගේ පළපුරුද්දත් ‍එකතු කරගෙන පාසල් මට්ටමින් අලුතින් දරුවන් ක්‍රීඩාවට සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා අපි පහුගිය කාලේ Talent Search එකත් කළා. මම හිතන්නේ ඒවාත් සමග ඉදිරියේදී හොඳ ජයග්‍රහණ කරා යා හැකියි.

පාසල්වල අන්තර් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුම්වත් කර තිබෙනවා. සමහර පාසල් ඒවා සංවිධානය කර තිබෙනවා. සමහර පාසල්වල තවමත් නැහැ. අධ්‍යාපන අමාත්‍යතුමා සමග විශේෂ සාකච්ඡාවකින් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමත් ඒ සඳහා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

පවතින තත්ත්වය මත තරග පැවැත්වීම විදුහල්පතිවරුන්ගේ හැකියාව මත තීරණය වේවි. අපි මලල ක්‍රීඩාවල තේරීම් තරග පැවැත්වූයේ සුගතදාස ක්‍රීඩාංගණයේ කණ්ඩායම් වශයෙන්. දැන් ලෝකේ යන විදිය එයයි. කෙසේ නමුත් අපිට ක්‍රීඩාව සම්පූර්ණයෙන් අතහරින්න බැහැ. ඒ නිසා එක් එක් පාසල්වල සිටින දරුවෝ සංඛ්‍යාව හා ක්‍රීඩාව අනුව කාණ්ඩ කර ඒ ඒ තරගාවලි පැවැත්විය හැකියි.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් සහ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

You might like

About the Author: Editor