මියැදෙන ආර්ථිකයට හුස්ම පිඹින සංක්‍රමණික කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු

 “ඩොලර් නෑ!”.

රටේ මහ තැන්වල ඉඳලා පොඩි ම තැනට යනකන් හැමෝ ම මේ දවස්වල පුරුද්දට වගේ කියන කතාවක්. කොවිඩ් 19ත් එක්ක සංචාරක කර්මාන්තය කඩා වැටිලා අපේ ප්‍රධාන ම විදේශ විනිමය අහිමි වුණා. නමුත් රටේ දෙවන ප්‍රධාන ම විදේශ විනිමය මාර්ගය වන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඉපැයුම් වලට පින් සිද්ද වෙන්න රටේ ආර්ථිකය තවමත් පණ ඇද-ඇද හරි හුස්ම ගන්නව. නමුත් එහෙව් රටේ ආර්ථිකය ජීවත් කරන සංක්‍රමණික ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් වලට මෙරට දී වටිනාකමක් එක් කරන්න රජය කටයුතු කරන බවත් පෙනෙන්නට නැහැ. නමුත් ඒ වෙනුවට රජය ඔවුන්ගේ RFC ගිණුම් වල තිබුණු මුදල් කිසිදු දැනුම්දීමකින් තොරව රුපියල් වලට හරවලා තිබුණා කියලත් පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පල වෙලා තිබුණා.

මෙවැනි තත්ත්වයක් උඩ පසුගිය දෙසැම්බරයේ මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4ක් දක්වා පහළ වැටී තිබෙන බව වාර්තා වෙනවා. සමස්තයක් විදිහට මේ තත්ත්වය තුළ 2020 වසරේ පළමු මාස 11 තුළ වූ ප්‍රේෂණවල වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 ක මුදල 2021 වසරේ මුල් මාස 11 තුළ වන විට  ඩොලර් මිලියන 5,166.3 ක් දක්වා 17.9% ක ප්‍රමාණයකින් පහළ වැටී තිබෙනවා. මේක ආර්ථිකමය වශයෙනුත් අහිතකර හැසිරීමක්.

මේ වගේ තත්ත්වයක් තුළ සංක්‍රමණික ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලරයකට රුපියල් 10ක අමතර ගෙවීමක් කරන බව මහ බැංකුව ප්‍රකාශ කළත්, බැංකු නොවන අවිධිමත් විදේශ මුදල් හුවමාරු වලින් ඩොලරයට රුපියල් 240ක පමණ මුදලක් ගෙවීමට කටයුතු කරනු පෙනෙන්නට තියෙනවා. එය බැංකුවලින් ඩොලරයකට ගෙවන මුදලට වඩා රුපියල් තිහකටත් වැඩි වටිනාකමක්. ඒ වගේ ම විදේශ රටවල මුදල් හුවමාරු මධ්‍යස්ථානවල ගෙවන්නේ ද මෙරට බැංකු ගෙවන මුදලට වඩා වැඩි මුදලක්. ඒ අනුව පෙනී යන්නේ, ආණ්ඩුව කරමින් සිටින්නේ ස්ංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ඉපැයුම් හෑල්ලුවට ලක් කිරීමක් නොවේ ද?

මැතිවරණවල දී රට විරු මාලය කරෙහි එල්ලා සිය ඡන්ද මල්ල පුරවාගත් වත්මන් ආණ්ඩුව, විදේශයන්වල අනන්ත පීඩා හිරිහැරයන්ට ලක් වෙමින්, තමන්ගේ පවුලේ ආර්ථිකය ගොඩනගනු පිණිස එවන ලේ දහඩිය ගෑවුණු ඩොලරය ඔවුන්ටත් නොදන්වා රුපියල්වලට පෙරලීමේ තත්ත්වයකට කඩා වැටුණු ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ඛේදවාචකයට වග කිව යුතුය. මන්ද එක් එක් ආණ්ඩු විසින් මාරුවෙන් මාරුවට අභාවයට ගෙන ගිය, විදේශ විනිමය ඌණතාවයෙන් නීරක්තියට හැරුණු ආර්ථිකයට ජීවය පොවන්නේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ඉපැයුම් වලින් බව හිතා මතා අමතක කරමිනි.

අප එය දකින්නේ, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ගැන වගේ වගක් නැති ආණ්ඩුවේ වැඩපිළිවෙලෙහි දිගුවක් වශයෙනි. මන්ද සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට එරෙහිව රජයේ මැදිහත්වීම කෙසේ විය යුතු ද? යන්න දක්වමින් 2018 සහ 2021 යන වසර වල දී වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව බාර දුන් ජාතික ප්‍රතිපත්තිය ආණ්ඩු ද්විත්වය විසින් ම හමස් පෙට්ටියෙහි ලා තබන පසුබිමක් තුළය.

මේ සියල්ල අතරේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දෛනිකව ගොඩ ගැසෙන පෝලිම් වලින් කියන්නේ ඉදිරියේ දී තවත් සංක්‍රමණික කම්කරු ප්‍රජාව පුළුල්වන ලකුණු නොවේ ද? එවිට ඔවුන්ට ද මේ ඉරණම අත් කිරීම ආණ්ඩුවල න්‍යාපත්‍රය දැයි විමසීමට කැමැත්තෙමු. එබැවින් තව දුරටත් ආණ්ඩුව සංක්‍රමණික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරීම අපි තරයේ හෙළා දකින අතර ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන ලෙස ද, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සිවිල් සංවිධාන වලට ඒ සඳහා නෛතිකමය අයිතිවාසිකමක් තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ද රජයට බල කර සිටිමු.

ප්‍රොටෙක්ට් සංගමය

You might like

About the Author: Editor