රාජපක්‍ෂ සන්නාමයේ පතුරු ගැලවීයාම හෙවත් අප්පච්චිගේ අටුවන් බැසීම

විවිධ පාර්ශව නානාවිධ සභා ඇමතීම උදෙසා මාහට කෙරෙන ඇරයුම් ප්‍රමාණය විශාලයි. එකම සතියක මොණරාගල තරුණ පිරිසක් හමුවී නිවසට පැමිණි වහා කොළඹ තරු පංතියේ හෝටලයක ආබාධ සහිත පුද්ගල ප්‍රජාවේ නියෝජිතයන් අමතා, එයත් අවසන් වූ විගස මාර්ගගත තාක්‍ෂණයෙන් සරසවි සිසු මානවක මානවිකාවන් ඇමතීම තමයි මේ ඇමතීමේ විචිත්‍රවත් පැත්ත. ඒ අතරේ අථත්‍ය වේදිකාව තුළින් කලින්කලට ජාත්‍යන්තර සහභාගිකයන් ඇමතීමත් මීටම ඈඳුණු අංගයක්.

මේ කිසිදු සභා මණ්ඩපයකදී දේශපාලනය ගැන මගේ දැක්ම සමබරව දක්වනවා විනා කිසිදු දේශපාලකයෙක් අගතියට හෝ ප්‍රගතියට ලක්කිරීම කිසිදු දිනෙක චේතනාන්විතව කරන්නෙ නැහැ. සතියකට මෙලෙස පැවැත්වෙන එක දෙකක් සාකච්ජා හැර (ඒවා මගේ ස්වේච්ජා දායකත්වයෙන් ක්‍රියාත්මක වන්නේ) අනෙක් සියලු සාකච්ජා සඳහා බරපැණ දරන පාර්ශව එවන් පක්ෂපාති විවරණයක් අපේක්‍ෂාවෙන් නොවෙයි අප කැඳවන්නේ. අනෙක මැතිවරණ නිරික්ෂකයෙක් ලෙස ලබාගත් ඉහළම පරිචය තමයි දේශපාලකයන් ගැන යමක් කියන්නේ නම් එවුන් එකෙක් ගැන නොව යටත් පිරිසෙන් පාර්ශව තුනක, තිදෙනෙක් ගැන හෝ සඳහන් කිරීම. මේ පාඩම වරෙක හඬ නඟා සහ තවත් වරෙක ළඟට කැඳවා කියාදුන්නේ මහින්ද දේශප්‍රිය මහත්මා. අදටත් අප අපක්ෂපාති යැයි යම් ගෞරවයක් ලබන්නේ නම් එහි ගෞරවය ලැබිය යුත්තේ ඔන්න ඔය දේශප්‍රිය තියරියට.

ඊට සමාන්තරව තවත් අනර්ඝ කියුමක් ඇසුණේ අපගේද අදුරුතුමෙක්ව අදත් ජවසම්පන්නව සභා මණ්ඩප හැඩකරන ධම්ම දිසානායක මහත්මාගෙන්. ඒ පැෆ්රල් ‘වෙනසට මඟක්’ දැවැන්ත වැඩසටහන් මාලාවේ සැළසුම් අදියර සඳහා අපි සියලු දෙනා ෆේරියල් අශ්රොෆ් මැතිනියගේ නිවසට රැස්වූ කාර්යබහුල සැන්දෑවක එතුමිය අප වෙත පිරිනැමූ තේපැන් කෝප්පයක රස බලන අතරේ. ඔහු මෙහෙම කීවා. ”අපි හැමෝටම දේශපාලනයක් තියෙනව. ඒත් මම පංති කාමරය ඇතුළෙදි මගේ දේශපාලන පැහැය මොකක්ද කියල ප්‍රදර්ශනය කරන්නෙ නැහැ. දේශන කරන්න වැටුපක් ගන්න අපි, අපි නොකැමැති දේශපාලකයන් පතුරු ගහල පැය දෙකක් නාස්ති කරන එක මහ අපරාධයක්”.

කාරණය පැහැදිලියි නේද? පොදු සමාජ කාර්යයක හෝ දේශපාලනික හමුවක අපි පළකරන අදහස් සහ වෘත්තීමය කාර්යයකදී අපි පවසන දේ අතර වෙනස හඳුනා නොගැනීම බරපතල විසංවාද ජනිත කරන්නක් විය හැකියි.

එහෙත් මම ලියන ලේඛන තුළ සමහර විටෙක එවන් ඒකමානීය විවේචන නැතැයි මම කියන්නෙ නැහැ. නිදසුනක් ලෙස ළමා අපයෝජන වැලක වගඋත්තර කරුවෙක් වෙච්ච සාරුව සුනිල් ගැන කතා කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අගතියක් විය හැකියි. එහෙත් එහෙමයි කියල ඒ වගේම අපයෝජකයෙක් එක්සත් ජාතික පක්‍ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා කියල ලියන්න බැහැනෙ. මොකද රට්ටු කියන හැටියට ළමයින් සියයක් බිලිගන්න තරම් නරුම රස්පුටින්ලා සමහර විට බිහිවෙන්නේ සියවසකට එකෙක් පමණක් වියහැකියි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජපක්ෂවාදය

මඳක් දිග ප්‍රවේශයකින් ලිවීම ඇරඹුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජපක්ෂවාදය ගැන කතා කරන්න. ඉහත බොහෝ ඇරයුම් ලැබෙන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න. එවැනි අවස්ථාවලදී මම නිතර සිහිකරණ කරුණක් තමයි සෞඛ්‍යසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලකයෙක් වෙසක් පෝය පහකට වඩා සිටිය යුතු නැති බව. දේශපලන පක්‍ෂ නායකයෙක් වුණත් වෙසක් පෝය දහයකට වඩා ඉන්නවනම් ඒක ලොකු අවුලක්. හැබැයි ලංකාව, ඉන්දියාව සහ අප්‍රිකානු මහද්වීපයේ නොමේරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල වෙන්නෙම මේකෙ අනෙක් පැත්ත. අපේ ජේ. ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ වගේම මහින්ද රාජපක්‍ෂ වැනි අය, අපි ජිවිත කාලෙම දැකපු වෙසක් සඳ ඒ ගොල්ල බලයේ ඉන්න ගමන් දැක්ක. ඒ අනුව ලංකාවේ මෙහෙමවත් ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් ඉතිරි වෙලා තියෙන එකත් ඓශ්චර්යාත්මකයි.

ඉහත ප්‍රකාශිත නම්ගොත් ත්‍රිත්වයෙන් දැනට පාලනය හොබවන්නේ ශ්‍රී ලංකා දෙවන ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහත්මා. ඔහු ගැන මගේ සත දෙක මේ.

මෙරටේ කවර හෝ දේශපාලන කඳවුරක් වෙත කිසිදු දෘෂ්‍යවාදීමය බැඳීමක් නැති ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වන මා ඔබෙන් මෙසේ අසමි. පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ තවදුරටත් මෙරටේ අග්‍රාමාත්‍යවරයාව අරලියගහ මැදුරේ ඔබමොබ යා යුත්තේ මන්ද?

වසර 1945 නොවැම්බර් මස 18 වැනිදාවක උපන් ඔහු මෙදිනට දිවියේ පසුකරනුයේ 76 වැනි වසර. සැබවින්ම ඔහු දිවමන්ව සිටින දින ගණන 27,812 ක්. ඔහුගේ දේශපාලන ආගමනය සිදුවන්නේ වසර 1967 දී. ඒ පියාගේ මරණයත් සමඟ. ඒ අනුව ඔහු දේශපාලනයට ප්‍රවිෂ්ඨව මේ ගතවන්නේ 55 වැනි වසර. 24 වියැති සෙල්ලක්කාර තරුණයෙක්ව පාර්ලිමේන්තුවට ආ ඔහු මන්ත්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් මතුනොව අගමැති හෝ විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවේ හෝ අරලියගහ මැදුරේ මෙන්ම ජනාධිපති මැදුරේ අසුන්ගෙන මේ ගෙවී යන්නේ 40 වැනි වසර. වසර 40 ක් යනු ඕනෑම මිනිසෙකු ප්‍රබෝධමත්ව ගෙවා දමන දිවියේ උපරිම කාලය. අපේ රටේ පරම ආයුෂ ලෙස සලකන්නේ වසර 76.8ක්. ඒ අනුව අපේ කතානායක මහින්ද රාජපක්‍ෂ ඕනෑම පරමායුෂ ගෙවන ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ ජීවිතයක් හා සාපේක්ෂව ගත්කල ඔහුගේ දිවියෙන් හරි අඩක් රජසැප විඳ තිබෙනවා වගේම තවත් කලක් විඳින්න බලාගෙන ඉන්නවා. ඒ අනුව දේශපාලකයෙක් ලෙස ඔහු දැක ඇති වෙසක් සඳවල් ගණන 55 ක්.

මහින්ද අසුන රටට බරක්

ඔබ පොහොට්ටුවාදීමය සාංදෘශ්ටිකත්වයක් නොමැතිව සිතන්න කැමතිනම් මම කැමතියි මේ ප්‍රශ්ණය ඔබෙන් අසන්න. මහින්ද රාජපක්‍ෂ තව එක් දිනක් හෝ බලයේ රැඳී සිටීම තුළ ශ්‍රී ලංකා මාතාවට ලද හැකි ජයග්‍රහණ කවරේද? මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මගේ අත්දැකීම නම් රනිල් වික්‍රමසිංහ වසර 2015 න් පසු පළකළ ළදරු පන්නයේ අවිචාරවත් දේශපාලන භාවිතාවට සමගාමීව මහින්ද රාජපක්‍ෂත් තම අසුනේ ගෙවන සෑම නිමේශයක් ම රටට බරක් මිසක් රාජ්‍යතාන්ත්‍රිකමය උන්නතියක් අත්කරන්නේ නැහැ.

ඔහු පැරණි මහින්ද නම් ඔහුගේ අණසක යටතේ සිදුවිය හැකිව තිබූ වෙනස්කම් අපමණයි. එසේනම් පොහොට්ටුව හා මෛත්‍රී පාර්ශ්වය මෙතරම් පරසතුරු ආස්ථානයක් වෙත යන්නෙ නැහැ. සුසිල් ප්‍රේම්ජයන්ත දෙල්කඳ පොලේ නොයා යන්නේ ඔහු විවේකීව සිටින විජේරාම මාවතේ නිවසට. ලිත්‍රෝ ගෑස් සභාපති තවදුරටත් අපබ්‍රංශ කතා කියන්නෙ නැහැ. මහින්දට පන තිබ්බනම් සභාපතිගේ කන පළල මෙලහකටත්. කිසිවක් නොහැකිනම් ඔහු සුපුරුදු සැලුන් දොර ඇරලා සජබේ විප්ලවකාරී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් දැනටමත් පොහොට්ටුවේ මල් රේණු ගණිනවා. අඩුතරමේ මනුෂ සහ හේෂවත් අප්පච්චිගේ දෑත් ශක්තිමත් කරනවා දැනටමත්. සමහරවිට එතැනිනුත් එහාට ගොස් ඩොලර් නැති වුණත් ගරිල්ලා ක්‍රමයට ණයවර ලිපි නිකුත් කිරීම ඇරඹිලා. මේ කිසිවක් නොහැකි මහින්ද විජේරාම නිවසේ ප්‍රාණ ඇපකරුවෙක් මිසක් අපි පෙරදී කැට තබා කියූ කැරිස්මාවෙන් බැබලෙන අනුහස් නායකයෙක් නොවෙයි. සැබවින්ම ඔහු ලංකාවේ පවතිනවා යැයි අපට හැඟෙන්නේ මුරුත්තෙට්ටුවේ සඟුන් වරින්වර රාජපක්‍ෂවාදය පාරට්ටු කරන නිසා සහ රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට අගමැතිතුමා මෙසේ කියන්නේ යැයි කියන නිසා මිසක් වෙන අන් යමක් නිසා නොවෙයි.

මෙහෙම ලියා දැක්වුවාම ඔහු රාජ්‍යත්වයට උස් කොට මහරජාණෙනි යැයි ප්‍රශස්ති ගැයූ ඇත්තන් මුසප්පු විය යුතු නැහැ. මගේ අත්දැකීම නම් සේනානායකලාගේ ගල්ඔය ව්‍යාපාරය සහ මැතිනියගේ නොබැඳි පිළිවෙත වැනි අසහාය දේශජ පුනරුද කිහිපයක් හැර වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා කල ආර්ථික හෝ දේශපාලන උන්නතියක් මෙරටේ නැති බවයි. සියල්ල ලෝක බැංකුවේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුශාසනා විනා විප්ලවකාරී වෙනස්කම් නොවේ.

මීට හොඳම නිදසුන මහින්ද චින්තනය. ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ මහින්ද චින්තනය යනු මහින්ද රාජපක්‍ෂ තම අනුගාමික දේශපාලන සහකරුවන් එකත්පසෙක තබා ඔහු තම ශ්‍රී මුඛයෙන් වදාළ ධර්මයක් කියල. අම්මෝ ඒක එහෙම නැහැ. මහින්ද චින්තනය කියන්නේ පාඨලී චම්පික, ආචාර්ය රංජිත් බණ්ඩාර, කථිකාචාර්ය ජගත් වැල්ලවත් වගේ දේශපාලන නායකයන්ගේ ඉව හඳුනාගත් අය වෙනවෙනම ලියා එකට එක්කොට එළිදැක්වූ කඩදාසියක් පමණයි. මහින්ද හැසිරීම සමීපව නිරික්ෂණය කළහොත් පෙනී යා හැකි එක් කරුණක් තමයි ඔහු පවා මහින්ද චින්තනය අවසන් වනතෙක් කියවා නැතුව ඇති. ඒ ලියවිල්ල ලියු හාදයන් නම් ඒකෙන් ප්‍රතිලාභ ලබා ගත්ත ඇති පදම්. පාඨලී ඇමතිකමක් ගත්ත. රංජිත් බණ්ඩාර පදනම් ආයතනයේ පාලකයා වෙලා පසුකාලීනව ජාතික ලැයිස්තුවට ගියා. ජගත් වැල්ලවත්ත ඉතාලියට පැනගත්ත. තවත් අසුකෙළක් මහින්දවාදීන් මහින්ද චින්තනය නිසා ගොඩගියා. එක එකා කෑලි මුට්ටු කොට මැසූ ඇඳුමක් මහින්දට අන්දලා ඒකට මහින්ද චින්තනය කියන බරසාර නමක් දීපු මනුස්සයා හොයලා බුකර් සම්මානය දියයුතු නැද්ද?

බලය අතහැරීම

මිනිහෙකුට කරන්න අමාරුම දේ තමන් සතු බලය අතහරින එක. ඒක මහින්දලාට පමණක් නොවෙයි NGO කාරයන් ඇතුළු සිවිල් සමාජේටත් තියෙන උණක්. මහින්දට ගෙදර යන්න කියන සිවිල් සමාජ නායකයන් සදාකාලිකවම තමන් හදපු සංවිධානවල අනුත්තර නායකයන්. මෙය මහින්ද විවේචනයක් යැයි කවුරුන් හෝ චෝදනා කිරීමට සුදානම් නම් කරුණාකර E. F. Schumacher ලියන ලද” Small is Beautiful: A Study of Economic As If People Mattered” රචනාව කියවන්න. දේවල් ග්‍රහණය කරගැනීම අපේ ජිවිත අපායේ දොරටුව අභියසට රැගෙන යනවා. ”තණ්හාය ජායති සෝකෝ’ කියා වදාළේ ඒ නිසයි. ෂුමාකර් කියන්නේ සරලත්වය කෙතරම් ලස්සනද යන්න. ඉතිං මටනම් හිතෙන්නේ මහින්ද බෞද්ධයෙක් නොවෙයි. ශ්‍රී රෝහණ ජනරංජන සම්මානය දකුණේ රෝහණ පාර්ශවයෙන් ගත්ත කෙනෙක් වුණත් දශක හයක් බලය අභ්‍යාස කරලත් ගෙදර යන්න බැරි නායකයා කවුද?

මහින්ද රාජපක්‍ෂ මෙරටේ බිහිවූ අසහාය ප්‍රායෝගික දේශපාලකයා මිසක් දුරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවෙයි. එලෙස ඔහු සකල ශ්‍රී ලාංකේය හදවත් තුළ සංකේතවත් කොට වර්ණ ගන්වා ඇති රාජපක්‍ෂ නාමය මෙලෙස අටුවන් බැසීම තුළ සිදුවන්නේ දුර්වර්ණවිම. ඒ නිසා කරුණාවෙන් කියන්නෙ. අප්පච්චි , ඔයා දැන් විවේක ගන්න.

| මංජුල ගජනායක

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *