අධ්‍යාපනයේ උත්තර නැති අභියෝගය

කොවිඩ් වසංගතයේ බලපෑම ටිකෙන් ටික අඩුවෙන බවක් පෙනෙන්නට ඇත. එන්නත්කරණය නිසි පරිදි සිදුකරන්නට හැකිවීම හේතුවෙන් මේ යහපත් තත්ත්වය නිර්මාණය වූ බව පැහැදිලිය. රජය පැත්තෙන් හොඳටම කළේ එන්නත්කරණ වැඩසටහන යැයි පැවසීම නිවැරදිය. මේ ක්ෂේත්‍රයේ හැමෝටම වගේම කොවිඩ් තුරන් කිරීමේ ප්‍රතිපත්ති තීරණ ගත් දේශපාලන නායකත්වයට රටේ ප්‍රණාමය හිමිවිය යුතුය.

මේ සතියේ කිවිදා දැක්මෙන් මා ලියන්නට යන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව නොව අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳවය. අධ්‍යාපනය යනු මේ දිනවල සාකච්ඡා අවකාශයේ ඉදිරියෙන්ම තිබෙන මාතෘකාවක්ය. එක පැත්තකින් පාසල් අධ්‍යාපනය යළිත් වතාවත් සම්පූර්ණයෙන්ම විවෘත වෙන්නේ ලබන සතියේ සිටය. තවත් පැත්තකින් මේ රජයේ ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් වන ජාතික පාසල් 1000 වැඩසටහන ආරම්භ වෙන්නේ අදය. එනම් ජනවාරි 7 සිකුරාදාය. ඒ පැත්තෙනුත් අධ්‍යාපන විෂය පිළිබඳව කථාබහ ඉදිරියට පැමිණ ඇත.

අධ්‍යාපනයේ මේ මාතෘකා අතරට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව තනතුරින් ඉවත් කිරීමත් එක් වී ඇත. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂයභාරව සිටි අමාත්‍යවරයා එතුමාය. ආණ්ඩුවේ සිටින ශක්තිමත් අධ්‍යාපන පදනමක් ඇති ඇමතිවරයකු ලෙසින් සමාජයේ පිළිගැනීමක් ප්‍රේමජයන්ත මැතිතුමාට තිබෙන නිසා එතුමන්ව තනතුරින් ඉවත් කිරීම මාධ්‍යයේ විශාල අවධානයක් ලබාගෙන ඇති බව පෙනීයන කරුණක්ය.

මා මුලින් කීවාක් මෙන් මේ සතියේ කිවිදා දැක්මෙන් ලියන්නේ අපේ රටේ පාසල් අධ්‍යාපනය පිළිබඳවය. රටක ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් සලකා බලන විට ඉතාමත් වැදගත් ස්ථානයක් හිමිවිය යුත්තේ අධ්‍යාපනයටය. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය රටක අනාගතය සම්බන්ධයෙන් සිදුවිය යුතු ප්‍රධානතම ආයෝජනයක් යැයි පිළිගැනීම නිවැරදිය. මේ පිළිගැනීම අපේ රටේ සමහර ආණ්ඩු ඒ ආකාරයෙන්ම සැලකුවේ නැති බවද පෙනී යන කාරණයක්ය.

අධ්‍යාපනයේ අතීතය

මෙරට සමාජයේ අධ්‍යාපනය මුල් කාලයේ පැවතුනේ ආගමික පදනමක් මතය. අනුරාධපුර, පොලොන්නරු යුගවල තිබූ පිරිවෙන් මුල්කර ගත් අධ්‍යාපනය 15 වැනි සියවස දක්වාම විවිධ බලපෑම් මධ්‍යයේ වුවත් පවත්වාගෙන ගොස් තිබුණි. මේ අධ්‍යාපන ක්‍රමය සමහර කාලපරිච්ඡේදවල පරිහානියට පත් වී තිබුණද යම් අඛණ්ඩතාවක් ඒ තුළ තිබූ බව පැහැදිලිය. එහෙත් අද තිබෙන පාසල් අධ්‍යාපනයේ ආරම්භය සිදු වුණේ 15 වැනි සියවසේ යුරෝපීය ජාතීන්ගේ බලපෑම සමගින් යැයි පැවසීම නිවැරදිය.

17 වැනි සියවසේ සහ 18 වැනි සියවසේ කතෝලික ආගමික ප්‍රචාරය පැත්තෙන් එක ආකාරයක අධ්‍යාපන ධාරාවක් ආරම්භ වූ අතර 19 වැනි සියවසේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර හරහා බෞද්ධ අධ්‍යාපන ධාරාවක් ආරම්භ විය. අදටත් පවතින රටේ ප්‍රධාන පාසල් හෙවත් සුපිරි පාසල් ආරම්භ වූයේ 19 සියවසේ මතු වූ නව තත්ත්වය හේතුවෙන්ය. රාජකීය, ත්‍රිත්ව, ශාන්ත තෝමස් ඇතුළු ආගමික පදනමක් සහිත පාසල් ඇන්ග්ලිකන් සහ අනෙකුත් ක්‍රිස්තියානි හා කතෝලික පදනමකින් ඇති වෙද්දී, ඒවාට ප්‍රතිචාර ලෙසින් ආනන්ද, නාලන්ද, මාතර රාහුල, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව වැනි බෞද්ධ පාසල් ආරම්භ විය.

පාසල් අධ්‍යාපනය ආයතනික මට්ටමින් මේ ආකාරයෙන් නිර්මාණය වෙද්දී, අධ්‍යාපනයේ ස්වභාවය පිළිබඳව ප්‍රතිපත්ති පැත්තෙන් සංවාදයක් ද නිදහස ලැබෙන්නට පෙර සිටම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතු විය. නිදහස් අධ්‍යාපනය පිළිබඳව සංවාදය මතු වුණේ ඒ තුළින්ය. එසේම ස්වභාෂා අධ්‍යාපනය පිළිබඳ සංවාදයද එහිම තවත් දිගුවක් විය. අධ්‍යාපනය නිදහස් හා මුදල් නොගෙවන සුබසාධනමය වරප්‍රසාදයක් බවට පත් වූයේ මේ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසින්ය. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙසින් තවමත් පිළිගනු ලබන්නේ මේ ප්‍රතිපත්ති පදනමය.

නිදහසින් පසු මුල් යුගය (47-77)

මෙරට අධ්‍යාපනය නිදහසින් පසුව ගමන් කළේ එකම ගමන් මාර්ගයකය. නිදහසින් පසු පළමු වසර 30 තුළ ආණ්ඩු 07ක් පමණ බලයට පැමිණි අතර ඒවායේ අධ්‍යාපන ඇමතිවරුන් ගණනාවක්ම සිටියත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ මූලිකාංගවල විශාල වෙනසක් සිදු නොවූ බව පිළිගත හැකි කාරණයකි. පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් යන දෙකම නොමිලේ ලබා දෙන වරප්‍රසාදයක් බවට පත් විය. ස්වභාෂා අධ්‍යාපනය මේ ආණ්ඩු සියල්ලේම පිළිගැනීම විය. උසස් අධ්‍යාපන වරප්‍රසාදය මත රජයේ රැකියාවක් ලැබීම අනිවාර්ය දෙයක් විය. නොමිලේ ලබාදෙන්නේ අධ්‍යාපනය පමණක් නොව උසස් අධ්‍යාපනය ලැබූ සැමටම රජයේ රැකියාවක් ලැබීම අනිවාර්ය වීම යනු උසස් අධ්‍යාපනයෙන් පසු ඒ ඒ ශිෂ්‍යයන්ගේ වගකීමත් රජයේ වගකීමක් බවට පත්වීමකි.

77 පසු අධ්‍යාපනය

මෙරට අධ්‍යාපනයේ නව සන්දර්භයක් මතු වුණේ 1977 සිදුවූ සමාජ ආර්ථික වෙනසත් සමගය. ආර්ථිකය විවෘත වීම පමණක් නොව සමාජයම සම්පූර්ණයෙන්ම විවෘත විය. මේ තත්ත්වය තුළ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් බලාපොරොත්තු වීම අනිවාර්ය දෙයක් විය.

රටේ පාසල් සංඛ්‍යාව සහ ඒවායේ යටිතල පහසුකම් වර්ධනය වීම මේ කාලය තුළ විශේෂයෙන්ම සිදු වූ ඒවාය. එසේම නොමිලේ පාසල් පොත් ලබාදීම මේ කාලය තුළ ගත් එක් වැදගත් පියවරක් විය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යධුරය හෙබවූ කාලයේ එක්කරන ලද ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සහ රට පුරා පිහිටු වූ ගුරු විද්‍යාල ජාලයයි.

මේ ආයතන දෙක මගින් බලාපොරොත්තු වූයේ විෂය මාලා සංවර්ධනය (Curriculum Development) ගුරු පුහුණුව (Teacher Training)  නිසි පරිදි ලබාදීමයි. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට විෂයමාලා සංවර්ධනය නව විෂයයක් බවට පත් වූයේ NIE ආයතනය පිහිටුවීමත් සමගය.

අනෙක් වැදගත්ම තත්ත්වයක් අධ්‍යාපනය පැත්තෙන් සිදු වූයේ 1988 පළාත් සභා ක්‍රමය පැමිණීමත් සමගය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අධ්‍යාපනය යනු සමගාමී ලැයිස්තුවට අදාළ විෂයයකි. ඒ අනුව රටේ පාසල් පද්ධතියෙන් බහුතර කොටස මධ්‍යම ආණ්ඩුවෙන් ගැලවී පළාත් සභාවලට සම්බන්ධ වීම 1989 සිට සිදුවී තිබෙන බරපතළ තත්ත්වයකි.

දැන් තත්ත්වය කුමක්ද?

වර්තමානය වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල අභියෝග ගණනාවක් එක් වී ඇති බව පෙනීයන තරුණියකි. මේ අභියෝග ජය ගනීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදීම රාජ්‍ය සතු බරපතළ වගකීමක් බවට පත් වී ඇත. අද ආරම්භ වන නව ජාතික පාසල් 1000 සංකල්පය මතු වූයේත් මේ සමහර අභියෝගවලට පිළිතුරක් වශයෙනි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පළල් විමසීමත් මගින් එහි ඇති අභියෝගවලට පිළිතුරු සොයාගැනීමට උත්සාහ කළ යුතු බව මගේ අදහසයි.

වර්තමානයෙහි පාසල් අධ්‍යාපනයෙහි ඇති පළමු ගැටලුව වන්නේ 21 වැනි සියවසට අවශ්‍ය විෂයමාලාවක් අපේ අධ්‍යාපනයට හඳුන්වාදීමයි. විෂයමාලා සංවර්ධනය යනු දියුණු හා විද්‍යාත්මක දැනුමක් මිස විශ්‍රාම ගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සිතේ හෝදිසියට සිදුකරන දෙයක් නොවන බව මෙහිදී තේරුම් ගත යුතු වැදගත්ම කාරණයයි.

දෙවැනි වැදගත් අභියෝගය වන්නේ ගුරු පුහුණුව යාවත්කාලීන වැඩසටහනක් ලෙසින් ගොඩනැගීමයි. මෙරට ගුරු ප්‍රජාව සතුව ඇති විෂය දැනුම සහ ඉගැන්වීමේ තාක්ෂණය යන අංශ දෙකම යාවත්කාලීනව විමසා බැලීමක් සිදුවන්නේ නැති බව ඉතාමත් පැහැදිලිය. මෙරට සමස්ත ගුරුවරුන්ගේ ගණන දෙලක්ෂ හතළිස් නමදහස් හාරසිය අනූ හතරකි. (2,49,494) මේ අතරින් එක් ලක්ෂ විසිඑක් දහස් පන්සිය හැට නමයක් (1,21,569) පමණ පිරිස් විෂය දැනුම සඳහා උපාධියක් තිබෙන අය වන අතර ඒ අයට වෙතත් කිසිදු ගුරු පුහුණුවක් ලබා දී නැත. ඒ ඒ විෂයයන් සඳහා උපාධියක් හැරුණු විට වෙනත් පුහුණුවක් නොමැතිව පාසල් අධ්‍යාපනයෙහි මෙතරම් සංඛ්‍යාවක් වෙනත් කිසිදු රටක නොමැතිවා විය හැකිය.

මීට අමතරව විෂය සඳහා උපාධියක් නොමැති නමුත් ගුරු පුහුණුව පමණක් ඇති ගුරුවරුන් එක්ලක්ෂ විසිඑක් දහස් හත්සිය අනූහයක් (1,21,796) පමණ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින බවද මෙහිදී සඳහන් කළ යුතු කාරණයකි. විෂය දැනුම සහ ගුරු පුහුණුව යන දෙඅංශයෙන්ම සුදුසුකම් සහිත ගුරු ප්‍රජාවක් නිර්මාණය කර ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය තත්ත්වයක් බව මගේ අදහසය.

තුන්වෙනුව මෙරට අධ්‍යාපනයේ ඇති වැදගත් ගැටලුවක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහසුකම් බෙදාහැරීමේදී ඇති අසමානතාවයි. ලංකාවේ මේ වන විට ජාතික පාසල් 373 ඇති අතර එයට අලුතින් එක්වෙන ජාතික පාසල් 1000 සමග 1373 බවට පත්වීමට නියමිතය. මේ වන විට පළාත් සභා සතුව ඇති පාසල් සංඛ්‍යාව 9,782 කි. මධ්‍යම රජයේ ජාතික පාසල් සහ පළාත් පාසල් යන මේ සියලු පාසල් අතරින් උසස්පෙළට විද්‍යා විෂය ධාරාව තිබෙන පාසල් ඇත්තේ 957 පමණි. වාණිජ්‍ය විෂය ධාරාව ඇති පාසල් 1871 වන අතර තාක්ෂණවේදය තිබෙන පාසල් ඇත්තේ 512 පමණි.

විශේෂයෙන්ම මෙහිදී අවධානයට ගත යුතු කාරණයක් වන්නේ උසස්පෙළට ජීවවිද්‍යා විෂය ධාරාව ඉගෙන ගැනීමට හැකියාව/ පහසුකම් ඇත්තේ සමත්ත උසස් පෙළ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට නමයකට (9%) පමණක් බවය. ගණිත විෂය ධාරාවට හිමිකම ලැබෙන්නේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට එකොළෙහකට (11%) පමණකි.

මේ තත්ත්වය පිළිබඳව පළල් හා විද්‍යාත්මක විමර්ශනයක් සිදුකිරීම ඉතාමත් වැදගත් වන අතර එම විමර්ශනය මත පදනම්ව තීරණ ගැනීමත් ඉතාමත් අවශ්‍යය.

මෙරට අධ්‍යාපනයේ මුහුණ දෙන අභියෝග අතර තවත් විශේෂ ගැටලුවක් වන්නේ ප්‍රධාන භාෂා මාධ්‍ය දෙක වන සිංහල සහ දෙමළ භාෂා ඉගෙන ගැනීමේ මාධ්‍ය ලෙසින් වෙන වෙනම ඇති පාසල් විශාල වශයෙන් තිබෙන නමුත් මේ මාධ්‍ය දෙකම තිබෙන පාසල් ඉතාමත් අඩු බවයි. සිංහල මාධ්‍ය පමණක් තිබෙන පාසල් 6357 තිබෙන අතර දෙමළ මාධ්‍ය පමණක් ඇති පාසල් 3042 පමණ ඇත. මේ ප්‍රධාන මාධ්‍ය දෙකම ඇති පහසුකම් සහිත පාසල් ඇත්තේ 42 ක් පමණකි. මෙරට ජාතික සහජීවනය හා ඒකාග්‍රතාව පැත්තෙන් බැලුවහොත්, අධ්‍යාපනයේ පවතින මේ බෙදා වෙන්කර ඉගෙන ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බව ඉතාමත් පැහැදිලිය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ පහසුකම් බෙදීයාමේ විෂමතා හේතුවෙන් නගරවල පාසල්වලට ඇදී යාමේ ප්‍රවණතාවයි. මේ හේතුව නිසාම හුදකලා වෙමින් පවතින පාසල් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. ළමයින් 50 වඩා අඩුවෙන් ශිෂ්‍යයන් සිටින පාසල් 1439 පමණ මේ වන විට රටේ පවතින්නේ මේ හේතුව නිසා බව ඉතාමත් පැහැදිලිය.

මේ සියල්ලටම වඩා වැදගත් ගැටලුවක් වන්නේ 21 වැනි සියවසට අවශ්‍ය අධ්‍යාපන පරමාර්ථ (Learning out comes) අපේ දරුවන්ගේ අධ්‍යාපනයට එක්කරන්නේ කවදාද යන කාරණයය. මේ පිළිබඳව වෙනමම ලිපියක් පසුවට කල් තබන්නෙමි.

මහාචාර්ය චරිත හේරත්

(ලංකාදීප – කිවිදා දැක්ම)

You might like

About the Author: Editor