ආසියාවේ ලෙබනනය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), හා ලෝක බැංකුව සමග සාකච්ඡාවලට විරුද්ධවන ඇමතිවරුන් දැන් නැත

• ආසනයට යන්නට නොහැකිව සිටි ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ගමට යන්න සල්ලි බෙදන සහන මල්ලක් ලැබිණ

• බඩු මිලට විරුද්ධව පාරට එන අය මාස කිහිපයක් වෙළඳපලේ රස්තියාදුවේ අරින වැටුප් වැඩි කිරීමේ දීමනාවක් මේ මාසයේ සිට ලබා දෙනු ඇත

• ලෙබනනයේ නව අගමැති නජිබ් මිකාටිගේ කාර්ය මෙහි බැසිල්ගේ වගකීම වී ඇත

බැසිල් (ජනවාරි 03 වන දා) ඇමති මණ්ඩලයේ අනුමැතිය ඇතිව යෝධ සහන මල්ලක් දුන්නේය. පොඩි පහේ මල්ලක් නොව, එය රුපියල් බිලියන 229 ක් වටිනා මල්ලකි. අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ සඳහා බදු අය කිරීම් ඉවත් කෙරෙන්නේයැයි කියුවේය. මිලියන 1.7 ක් යැයි කියන රජයේ සේවකයින්ට සහ 06 ලක්ෂයක් වන රජයේ විශ්‍රාමිකයින්ට රු.5,000 ක මාසික දීමනාවක් ලබා දෙන්නේය. (අවශ්‍ය වුවහොත් සතියකින් හමාරකින් රජයේ වැටුප් ලබන්නවුන් වශයෙන් මන්ත්‍රීවරුන් 225 ටද එය ලබා දිය හැකිය.) සමෘද්ධි සේවකයින්ගේ සමෘද්ධිය අන් අයට වඩා වැඩිය. ඔවුන්ට අමතර රුපියල් දහක් ලැබෙන්නේය.

මෙය හරියට කියවා ගතහොත් වී කිලෝවක් සඳහා වැඩි කළ රුපියල් 25 ක සහතික මිළ ලැබෙන්නේ පොහොර ප්‍රමාදය හේතුවෙන් මෙවර මහ කන්නයේ අස්වැන්න සියයට 50 කින් අඩු වූවන්ට පමණි. සාමාන්‍ය බාසාවෙන් කියන්නේ නම්, එය ලැබෙන්නේ වී අස්වැන්න අක්කරයකට බුසල් 50 ට වඩා අඩු වුවහොත් පමණි. එනිසා ඒ සඳහා ප්‍රාදේශීය ලැයිස්තු හදන නිලධාරීන්ටද අමතර වාසි තිබිය හැකිය. පළාත් පාලන ආයතනවල විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද එවැනිම අමතර වාසි තිබිය හැකි අනෙක් සහනාධාරය වන්නේ පලතුරු හා එළවළු ගෙවතු වගා වෙනුවෙන් පර්චස් 20 ට අඩු ඉඩම් සඳහා රුපියල් 5,000 ක් සහ පර්චස් 20 ට වඩා වැඩි ඉඩම් සඳහා රුපියල් 10,000 ක එකවර ගෙවීමක් කිරීමේ සහන තීන්දුවෙහිය. වැවිලිකරයේ ජනතාවට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 80 බැගින් මාසයකට කිලෝ 15 ක සහනාධාරයක් ප්‍රකාශ කෙරින.

මේ සහන මල්ලෙන් එනිසා වාසි නොලබන කිසිවකු ඉතිරිව නැත. එවගේම බැසිල් හදිසියේ කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී කියා තිබුණේ මේ වෙනුවෙන් අලුතෙන් මුදල් වෙන් කිරීමක් කෙරෙන්නේ නැතැයි ද පසුගිය දෙසැම්බරයේ සම්මත කළ 2022 අයවැය ඇතුළත සියලු තීන්දු ක්‍රියාත්මක කෙරෙන්නේ යැයිද කියා ය.

මේ තීන්දු කළ සහන දිය හැක්කේ මුදල් මුද්‍රණය කිරීමේ යන්ත්‍රයක් මහ බැංකුවේ සවිකර ගැනීමෙන් යැයි කතාවට කිව හැක. එහෙත් බැසිල් තේරුම් ගෙන ඇති අයුරු මේ ජනවාරි මාසයේ ඔහුට අමතරව අවශ්‍ය  වන්නේ ප්‍රධාන වශයෙන් රජයේ සේවක දීමනාව හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් සහන මල්ලේ සමස්ථ වටිනාකමින් බිලියන 19 ටත් වඩා අඩු මුදලකි. වී අස්වනු සහන වැය එකතු වන්නේ පෙබරවාරි මාසයේ සිටය. අනෙක් සහන මුදල්ද එකවර අවශ්‍ය වන්නේ නැත.

ඒ අතරතුර ඔහු යෝජනා කළ සහනාධාර මල්ල පෙන්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් සමග සාකච්ඡා කිරීමට ඇමතිවරුන්ගේ අනුමැතිය ලබා ගෙන ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකහෙළා විරුද්ධ වූ, සාකච්ඡා කළහොත් ගෙදර යනවා යැයි කියූ ඇමතිවරුන් දැන් නැත. ඔහු ඒ සමග ආසියානු සංවර්ධන බැංකුව සහ චීනය, ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුලු සියලු බලවතුන් හා සාකච්ඡා කිරීමටද යෝජනාකර ඇත. ඔහු මාධ්‍යයට කියා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කෙරෙන්නේ ඔවුන්ගේ උදව්වෙන් ගොඩ යෑමට නොවේ යැයි කියාය. කෙටියෙන් කියන්නේ නම්, බැසිල්ට මෙහි පැවරී ඇත්තේ ලෙබනනයේ නව අගමැති නජිබ් මිකාටිගේ වගකීම හා කාර්ය භාරය වන්නේය.

මේ සහනාධාර මල්ල පිළිබඳව එනිසා ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ බැසිල් සහ රාජපක්ෂ ආණ්ඩුව මේ සහන මල්ලෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය. පැහැදිලිවම මෙය කාරණා දෙකක් ඉටු කර ගැනීමට මාන බලන්නකි. එක කාරණාවක් නම්, ඉදිරි මාස කිහිපයේ ජීවන වියදම ඔරොත්තු නොදෙන, වගාවෙන් පාඩු ලබන, වෙළඳපලෙහි අතරමංවන බහුතර ජනතාවට යම් බලාපොරොත්තුවක් ඇතිකර මාස කිහිපයක නිසළ සහන කාලයක් ආණ්ඩුව ලබා ගැනීමය. අතමිට මුදල් ගැවසෙන විට ආණ්ඩුවට විරුද්ධව පාරට බසින්නට ජනතාව ඉදිරිපත් වන්නේ නැත. භාණ්ඩ හිඟවීම ගැන මැසිවිලි නගනවාට වඩා යමකට ඔවුන් වහා පෙළඹෙන්නේද නැත.

ඒ කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග විදේශ විනිමය අර්බූදය සමනය කර ගැනීමට හැකි සහන මල්ලක් ලබා ගැනීමේ සාකච්ඡා අවසන්කර ගැනීමට ආණ්ඩුව ඉක්මන් වනු ඇත. එතෙක් ආණ්ඩුවේ සහායට බැසිල් ඉන්දියානු ණයකර කිහිපයක් පිළිබඳව එකඟත්වයකට පැමිණියේ පසුගිය නව දිල්ලි ගමනෙහිදී ය. නව දිල්ලි සම්මුතියෙහි එක පොරොන්දුවක් වූ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන ඊයේ කැබිනට් අනුමැතිය ලැබුණු බව ගම්මන්පිලගේ කතාවෙන් පැහැදිලි වන්නකි.

තවත් කාරණාවක් ඇත. ආණ්ඩුවට 2019 ජනාධිපතිවරණයේ දී ලැබුණු 69 ලක්ෂයකගේ “ජනවරම” දැන් මුළුමනින් මෙන් අහෝසිවී ඇත. ඒ වෙනුවෙන් බර කර ගැසූ මෙරට ආචාර්ය මහාචාර්ය වියතුන් සහ සක්වල ගල ප්‍රකම්පිත කළ දේශප්‍රේමි සීතාවියන් ගැන දැන් අසන්නටද නැත. එනිසා ඉදිරියේ මෝදු විය හැකි ජනතා විරෝධයකට මුහුණ දෙන්නට රාජපක්ෂ ආණ්ඩුවට යළි ජනවරමක් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් නව දිල්ලි ආණ්ඩුවද ඉල්ලා සිටින පළාත් සභා ශක්තිමත් කිරීමේ පොරොන්දුව සමග යහපාලන ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය හවුල්වී කල් තැබූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිසානිතියක් මේ සහනාධාර මල්ලෙන් දැක්වේ. පළාත් සභා සඳහා ඔවුන්ට අභියෝග කරන්නට හැකි දේශපාලන විපක්ෂයක් හෝ විපක්ෂ හවුලක් නොමැතිවීමේ වාසියද ඔවුන්ට තවමත් ඉතිරිව ඇත.

එබැවින් බැලූ බැල්මට රටේ ජනතාවට යම් සහනයක් දැකිය හැකි මේ සහනාධාර මල්ලද ඊට ගැට ගැසූ පසු යළි ජනවරමක් ලබා ගත හැකි යැයි ගණන් බැලීමක්ද එහි ඇතැයි සිතිය හැක. විශේෂයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ඖෂධ සඳහා බදු ඉවත් කිරීම කවරක්දැයි විස්තර නොකීවාට, සමාජය එය වහා තේරුම් ගන්නේ සෘජු වාසියක් ලෙසිනි. වැටුප් හා විශ්‍රාම දීමනා සමග තවත් මිලියන 02 ට වැඩි පිරිසට හා ඔවුන්ගෙන් යැපෙන්නන්ටද අත මිට තරමක් සරු වන්නේය. සාමාන්‍ය ජනතාවට වෙළඳපලෙහි භාණ්ඩ මිලට ගැනීමට ඇති හැකියාව ඉහළ යන්නේය. මේ සමාජ මානසිතත්වය හමුවේ මැතිවරණයක් පැවැත්විය හැකි වූවත් එයට එතරම් ආයු කාලයක් ඇත්තේ නැත.

මුදල් බෙදා දී හදන ඉල්ලුමට ගැලපෙන නිෂ්පාදනයක් නොමැති රටක ඒ සමග සිදුවන මිල වැඩිවීම් පාලනය කළ නොහැක. එබැවින් මේ ජනවාරි මාසයේ අවසාන සතියේ සිට ඉදිරි මාස දෙක තුනෙහි සිදුවන්නේ අතමිට මුදල් ටිකක් තබා ගෙන භාණ්ඩ මිලට ගැනීමට වෙළඳපල හැම තැන රස්තියාදුවන පාරිභෝගිකයින් විශාල පිරිසක් හැදීම පමණය.

බදු ඉවත් කළද අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොතිබීමේ ගැටළුවට මෙහි උත්තර නැත. මෙය හුදෙක් සහනාධාර මල්ලක්ම වන හෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග එකගතාවකට පැමිණෙන තෙක් විදේශ විනිමය සංචිතයට වැදගත් කිසිවක් එකතු නොවනු ඇත. වෙළඳපල භාණ්ඩ හිඟය පියවා ගැනිමට ආනයනය කිරීමද එබැවින් ලෙහෙසි පහසු කාර්යක් නොවනු ඇත. එවැනි කිසිදු විසඳුමක් නොවීමෙන් ජනතාව අත රුපියල් තිබුණත් ඒවායේ වටිනාකමක් ඉතිරි නොවනු ඇත.

ආණ්ඩුවේ පළාත් සභා මැතිවරණ උත්සාහයට ලබා ගත හැකි කාලය එබැවින් අතිශය සීමා සහිතය. එය බොහෝ විට සිංහල-දෙමළ අළුත් අවුරුද්දට කලියෙන්ම අහෝසිවන කාලයක් විය හැක. එබැවින් ඔවුන්ට ඉතිරිවන්නේ මාර්තු පළමු භාගය අවසන් වන්නට පෙර පළාත් සභා මැතිවරණයකට යාම ය. ඒ සඳහා ආණ්ඩු හවුලේ එතරම් කැමැත්තක් පෙනෙන්නට නැත. මැතිවරණයකට යාමේ තීන්දුව ගැනීම ප්‍රමාද වුවහොත් ඔවුන්ට ඉතිරි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග ඇතිකර ගන්නා ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ආධාර වැඩපිළිවෙල වෙනුවෙන් මේ සහනාධාර මල්ලේ ආකර්ශනය සමග දැඩි අධිකාරවාදී පාලනයක් තහවුරුකර ගැනීමේ ගමන ඉක්මන් කිරීමය.

කාර්යක්ෂමව හා සැළසුම්ගතව කිසිදු තීන්දුවක් ක්‍රියාවට නගන්නට හැකි ආකාරයෙන් රාජ්‍ය පාලනය නඩත්තු කරගැනීමට නොහැකිව, රාජ්‍ය ආයතන සියල්ලට අයාලේ යන්නට ඉඩ හැර ඇති ආණ්ඩු පාලනයකට අවසානයේ ඉතිරිවන එකම තේරීම බලහත්කාර අධිකාරවාදී පාලනයකි. ඒ වෙනුවට මැතිවරණයකට ගොස් ආණ්ඩුවට ජනවරමක් නැතැයි ඔප්පු කිරීමේ වගකීම විපක්ෂය බාර ගන්නේ නම් යෙහෙකි. ජනතාවගේ අවාසනාව, එවැන්නක් සඳහා ජනතා විශ්වාසය දිනාගත හැකි විපක්ෂයක් නොවීමය. අපි, ආසියාවේ ලෙබනනය වන්නෙමු.

කුසල් පෙරේරා / 2022 ජනවාරි 04 වන දින

(උපුටා ගැනීම මුහුණ පොතෙනි)

You might like

About the Author: Editor