අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ගේ හැත්තෑ දෙවන ජන්ම දිනය අදයි

ජපානයේ ප්‍රධාන සංඝනායක ජපානයේ සවාරා හි ලංකාජී විහාරයේ නිර්මාතෘ, දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති හා කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති, සපුගස්කන්ද අබේසේකරාමාධිපති මෙන්ම ශ්‍රී ලංකා  මහාබෝධි සංගමයේ  සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ගේ හැත්තෑ දෙවන ජන්ම දිනය(5) අදයි.

ලක්දිව දකුණු පළාතේ අතිදුෂ්කර ගම්මානයක් වන  බානගල ගම්මානයේ 1950 ජනවාරි 05 දින උපත ලද උන්වහන්සේ බානගල සීලරතන හිමියන් හා හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමි වෙතින් පැවිදි බව ලබා පසුව හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන්ගේ ඇරයුමෙන් දඹදිවට වැඩම කොට සාංචි විදිසා සහ වරනාසි මහබෝධි ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා  බරණැස් විශ්වවිද්‍යාලයෙන් සහ ඉංදියාවේ විශ්ව විද්‍යාලයන් උසස් අධ්‍යාපනය ලැබූහ.

පසුව භාරතයේ ප්‍රධාන සංඝනායක හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන්ගේ මගපෙන්වීම යටතේ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන  නගාසිටුවීමේ ලා ඉමහත් කාර්යභාරයක් ඉටු කළ උන්වහන්සේ සාංචි චේතියගිරි විහාරය හා විශේෂයෙන් ඉන්දීය, ලංකා හා ජාත්‍යන්තර බෞද්ධ වන්දනාකරුවන්ට ඉමහත් සේවාවක් අද සලසන සාංචි වන්දනා නිකේතනය  ඉදිකිරීමට ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බව සත්‍යයකි.එසේම සාංචි පුරවරයේ සාමාන්‍ය මහජනතාව කියා සිටින්නේ බානගල උපතිස්ස නාහිමියන් නිසා නිසා සාංචියට විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් හිමි වූ බවය.

අද සාංචි නගරය ලබා ඇති දියුණුවේ සැබෑ ශක්තිය වන්නේ උන්වහන්සේ බව සාංචි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ඉමහත් ගෞරව පූර්වකව පවසති. එසේම වසර දශක හයකට ආසන්න කාලයක් ඉන්දීය මධ්‍යම රජය සහ මධ්‍ය ප්‍රදේශ්  රජය සමග  එක්ව   සෑම වසරකම නොවැම්බර් මාසයේ සාංචි අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ මහාබෝධි මහෝත්සවය පැවැත්වීම උන්වහන්සේගේ කැපවීමේ ප්‍රතිඵලයකි.

ඉන්දියාවේ ථේරවාදි බුදු දහම ඉගැන්වීම සඳහා සාංචි බෞද්ධ විශ්ව විද්‍යාලය සාංචි හි ස්ථාපිත කිරීමද බානගල නා හිමියන්ගේ යුග මෙහෙවර අතර කැපි පෙනෙන සංධිස්ථානයකි. උන්වහන්සේ   මහාබෝධි සමාගමේ සභාපති ධූරයට පත්වීමත් සමඟම  නිසි ගෞරව සම්ප්‍රයුක්ත භාවයන් අත්හැරී  තිබූ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක  මහා විහාරය පිළිසකර කොට,  අතිපූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ සමග එක්ව  අග්‍රශාවක ධාතූ වන්දනාව සහ තේවා පූජාව නැවතත් ආරම්භ කළහ. ජපානයේ මහා දානපති තකිකෝ යොෂිඩා මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් යොෂිඩා ජාත්‍යන්තර පුර්ව ළමාවිය  සංවර්ධන පෙර පාසල  මෙරට ආරම්භ කරමින්,මෙරටට ජපන්  පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදීමට උන්වහන්සේ සමත් වූහ.ඒ අනුව ජපානයේ  දානපතීන් ගේ ආධාර ඇතුව ලංකාවේ ජපාන සම්ප්‍රදායේ  පෙරපාසල් දාහතරක් (14) ලංකාවේ විවිධ ප්‍රදේශවල ආරම්භ කිරීමට උන්වහන්සේ සමත්වූහ.

ජපානයේ දානපතියන්ගේ ආධාර උපකාර ඇතිව දොම්පේ සහ බානගල අංගසම්පූර්ණ   උදාකළ ගම්මාන දෙකක් ද උන්වහන්සේගේ නායකත්වයෙන් ඉදිවූහ. සුනාමි විපතට පසු  අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් පැරෑලිය ගමේ ඉදි කිරීමට ද මුල් වූයේ බානගල ස්වාමීන් වහන්සේ ය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ බලවත් සිහිනයක් ප්‍රාර්ථනාවක් වූ ජපානයේ  ථේරවාදී බුදු දහම ස්ථාපිත කිරීම සහ ථේරවාදී විහාරස්ථානයක් ඇරඹීමේ  සිහිනය ඉෂ්ට සිද්ධ කළේ බානගල නායක හාමුදුරුවෝය .

ජපානයේ සවාරා  හි ලංකා ජී විහාරය ඉදි වුයේ ද ජපානයේ  ප්‍රථම ථෙරවාදී සම්ප්‍රදායේ චෛත්‍ය ඉදි වුයේ ද උන්වහන්සේගේ කැපවීමෙනි. ජපානය සහ ඉන්දියාව ඇතුළු  බෞද්ධ රටවල ඉතා  ඉතාමත්ම ගෞරවනීය චරිතයක් ලෙස පිළිගැනෙන බානගල උපතිස්ස නා හිමියන්ට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

උපුල් ජනක ජයසිංහ, සභාපති, ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA)

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *