වන අලි කළමනාකරණ ප්‍රදේශ ඉල්ලා අරගල කරන වලව වම් ඉවුර ගොවි ජනතාවට සහය පල කරමු !

හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්තයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය නැවතත් තමන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර ඇත. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණත් තවමත් ඊට අදාල නියෝග වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් නොකිරීමෙන් වන අලි ගැටලූව උග‍්‍ර වී ඇති තත්ත්වයක්‌ තුලය.

පසුගිය දෙසැම්බර් 21 වැනි දින ඔවුන් මෙසේ වන අලින්ගේ වාසභූමිය වෙනුවෙන් නැවතත් අඛණඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළෝය. ඒ වන විට ඔවුන් මීට පෙර දින 108ක් පුරා සිදුකරගෙන ගිය අඛණ්ඩ අරගලයේ ප්‍රතිපලයක් ලෙස නිකුත් කෙරණු ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර මාස අටකටත් වැඩි කාලයක් ගෙවී ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්දයෙන් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රවීණයන් සකස්කරන සැලසුම්වලට පසුගිය ඉතිහාසය පුරාම සිදුවූ දේ මේ මොහොතේ ‘අලි කළමනාකරණ රක්ෂිත’ ගසට්ටුවටද සිදුවී ඇති බව පැහැදිළිය. නමුත් එකී පසුගාමීත්වය පරාජය කිරීම සඳහා අප සැම මේ මොහොතේ වලව වම් ඉවුර ගොවි ජනතාව සමග අත්වැල් බැඳගත යුතු කාලය එළැඹ තිබේ.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ජීවත්වෙන වාසභූමි වලින් සියයට හැත්තෑවක් (70%) පමණම ව්‍යාප්තවී ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශ වලින් පිටතය. ඒ සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර මේ මහා අරගලයට විසඳුම් සෙවීමට මෙතෙක් දැරූ සියළු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබේ. අලි- මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුමක් වන්නේ රක්ෂිත ප්‍රදේශ වලින් බැහැර පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීමය. විද්‍යාඥයින් විසින් ‘වන අලි කළමනාකරණ රක්ෂිත’ සංකල්පය යෝජනා කරන්නේ ඒ සඳහාය.

එහි පළමු පියවර ලෙස  හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වුනු අලි ඇතුන් 400 කගේ පමණ වාසභූමි ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසුණි. ඒ අදාළ ප්‍රදේශයේ ජීවත්වූ විශාල වන අලි රංචුව ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කිරීමට දරන ලද ඉතා අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමකය. නමුත් එදා මෙදා තුර දශකයකට වැඩි කාලයක් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ පැවතුණේ බෝඩ් ලෑලි වලට පමණක් සීමාවී ය.

නමුත් එම හස්ති වාසභූමි සුළු ප්‍රමාණයද දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයින් විසින් ආක්‍රමණය කෙරුණේ එළි පිටමය. විවිධ වගා ව්‍යාපෘති, පස් කැනීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා නිසා වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශවූ අතර එහි සෘජු ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්න විය. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දෙන්න සිදුවෙන තැනට තත්ත්වය දරුණු අතට හැරුණි.

එම අඛණ්ඩ මහා ජන අරගලයේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත් විය. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට අදාළ එම ගැසට්ටුවට අත්සන් තබා තිබුණි. ඒ අනුව දකුණු සහ ඌව පළාත් වල හම්බන්තොට සහ මොණරාගල (ගැසට් නිවේදනය අනුව නම් මොණරාගල දිස්ත්‍රික්කය අයත් වෙන්නේ දකුණු පළාතටය) යන පරිපාලන දිස්ත‍්‍රික්කවල පිහිටා තිබෙන හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර සහ තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප‍්‍රමාණයකින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සමන්විතය.

ගසට්ටුවේ එසේ තිබුණද රක්ෂිතය වටා අලි වැට සකස් කිරීම, ගම්මාන වල සිටින වන අලි ඉවත් කිරීම, රක්ෂිතය තුළ සිටින අනවසර වගාකරුවන් ඉවත් කිරීම, වන අලින්ට අවශ්‍ය පහසුකම් රක්ෂිතය තුළ ඇති කිරීම වැනි කාරණා එකක් හෝ ඉෂ්ඨ කිරීමට ආණ්ඩුව මේ වන තුරු කටයුතු කර නොමැත. මේ නිසා දිනෙන් දින වන අලින් ගම් වැදීමත් දේපළ සහ නිවාස වලට වගේම තමන්ගේ ජීවිත වලට හානි කිරීමත් වැඩිවී ඇති බව අරගලයට සම්බන්දවී සිටින ගොවි මහතුන් සාක්ෂි දරයි. එහි ආසන්නම සිදුවීමක් ලෙස සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේ සේවකයින් දෙදෙනකුද වන අලි පහර දීමකින් ජීවිතක්ෂයට පත් වීම හැඳින්විය හැකිය.

නමුත් මේ අලි-මිනිස් අදෝනා කිසිවක් ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ට හෝ ඉහළ වනජීවී බලධාරීන්ට අදාළම නැත. එම නිද්‍රාශීලීත්වයේ ප්‍රතිපලයක් ලෙස රක්ෂිතය ගැසට් කර තිබියදී පවා තව දුරටත් රක්ෂිතයේ ඉඩම් අනවසර මහ පරිමාණ වගා කරුවන් විසින් අල්ලා ගනිමින් සිටිති. දැනට ඇති ගල්කොරි ඉවත් කිරීම වෙනුවට ඒවා තවදුරටත් පවත්වාගෙන යන්න ඉඩ හැරීමෙන් නොනැවතී නව ගල්කොරි වලට බලපත‍්‍ර නිකුත් කිරීමද සිදුකර ඇති බව අසන්නට ලැබේ. රජයේ ව්‍යපෘති වලට බව පවසමින් තවත් රක්ෂිතයේ ඉඩම් ලබා ගැනීමේද නොනැවතී සිදුවේ.

ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට මැතිවරණ සමයන්හිදී පැමිණෙන ජනදුක හඳුනන නායකයින් යැයි පපුවට ගසාගන්නා මෙම තක්කඩියන් පිරිස දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ දිස්ත්‍රික්ක දහ නමයක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක මිනිස්සුන්ගේ හදවත්වල ඇවිලෙන ගින්දර නිවන්නට සකස්කළ ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ හමස්පෙට්ටියේ සඟවාගෙන සිටිති. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතයට අදාල නියෝග නිකුත් නොකිරීමත් ඒ තක්කඩිකමේම දිගුවක් බව අප අවධාරණය කරමු. එබැවින් වලව වම් ඉවුර ගොවි නායකයින් සේම අපේ රටේ අලි-මිනිස් ගැටුමෙන් බැටකන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ තක්කඩිකමට එරෙහිව දැන්වත් ඒකාබද්ධ අරගලයකට උර දීමට කාලය එළැඹ ඇති බව අප අවධාරණය කරමු.

සුපුන් ළහිරු ප්‍රකාශ් – කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය

You might like

About the Author: Editor