මංජුල ගජනායක CMEVට සමුදුන්නේ අවශ්‍යම මොහොතකදීයි !

රාජ්‍ය නොවන සංවිධාන (NGO) පිළිබඳව මෙරට සමාජය තුළ පවතින්නේ විශ්වාසයක් නොමැති අවිනිශ්චිත බවකි. එවන් පසුබිමක මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (CMEV) වඩාත් ජනතාව අතරට සමීප වූයේ එම සංවිධානය සිය කාර්යය මැතිවරණ ක‍්‍රියාදාමයට පමණක් සීමා නොකරමින් මෙරට සමාජයෙහි ගිලිහෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානව අයිතීන් සහ දේශපාලන සදාචාරය නැවත සමාජය තුළ ශක්තිමත් කිරීමේ වෙසෙස් උත්සහයක යෙදුන බැවිනි. එහි පෙර ගමන්කරුවා වූයේ දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද ඉමහත් කීර්තියක් ලත් මැතිවරණ නිරික්ෂකයෙක් වන (CMEV) ප‍්‍රධාන මෙහෙයුම්කරු වූ මංජුල ගජනායකය.  මංජුල ගේ භූමිකාව සැබැවින්ම මෙරට පවතින රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් හෙවත් සමාජ භාවිතයේ පවතින NGO  කාරයින්ගේ  කි‍්‍රයාකාරීත්වයට වඩා බොහෝ වෙනස් වූයේ හඬක් අවදිකරන මිනිසෙක් වීම නිසාය. දශක එකහමාරක් පමණ වූ ඔහුගේ  (CMEV) සේවා කාලය දෙසැම්බර් 31 දින අවසන් වීමට නියමිතය. මෙය ඔහුගේ දිවිසැරියේ පෞද්ගලික තීරණයක් වුවද, ඔහුගේ සමාජ මැදිහත්වීම පොදුවේ රටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ විශිෂ්ඨ හා අපරාජිත එකකි. එබැවින් ගජනායක නායකත්වය දුන් සමාජ වෙනස්වීම් කවරේදැයි විමසීම කාලෝචිත මෙන්ම අනාගතවාදී අංකුර සමාජ ක‍්‍රියාකාරීන්ට අගනා ආක්‍යයනයක් වනු ඇත.                                                                                                                              

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙහි  (මැ. ප‍්‍ර, නි. ම.) සමාරම්භය සිදුවන්නේ ඊට අදාළ නිශ්චිත අවශ්‍යතාවක් පැවති සමයේදීය. එනම් වසර 1998 දීය. එකල පවත්වන මැතිවරණ බොහොමයක ආවේනික අංගයක් ව  පැවති පාලනය කල නොහැකි අන්දමින් වරින්වර මතුවන මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයයි.  ඊට ම නමගිය ආසන සංවිධායකවරුන්  සහ ඔවුන්ගේ ප‍්‍රබල  ආධාරකරුවන් සෑම මැතිවරණ කොට්ඨාශයකම විසිරී සිටි අතර ඔවුන් සතු උපායඋපක‍්‍රම අතර පළමු තැන ගත්තේ අහිංසක ජන්දදායකයන් භයට හා සංත‍්‍රාසයට පත්කොට තරඟය ජයගැනීමයි. ඊට ආසන්නතම නිදසුන නම් වසර 1999 ජනවාරි 25 වැනි දින පැවති වයඹ පළාත් සභා ජන්ද විමසීමයි. එහි සිදුවූ හිංසාකාරී ක‍්‍රියා සමුදාය අතර වඩාත් ජුගුප්සාජනක සිදුවීමක්ව පැවතියේ කුලියාපිටිය නගර මධ්‍යයේ මවක් නිරුවතින් ඇවිද්දවීමයි. එය නිල රාජ්‍ය අනුග‍්‍රහය මත මැරයන් විසින් සිදුකරන ලද සාහසික ක‍්‍රියාවන්ගෙන් එකකි. එතැන් පටන් වසර 2015 තෙක්ම මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයේ යම් යම් බියකරු සිද්ධීන් ශේෂගතව පවතිනු අපි දුටුවෙමු.

මංජුලගෙන් NGO කාරයින්ට පාඩමක්                                                  

ඉහත පසුබිම මනාව විග‍්‍රහ කරගනිමින් මෙරටේ ප‍්‍රකට ලිබරල් චින්තනයෙන් සුසැදි සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙක් වූ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමේ අරමුණින්, මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. එහිලා නැසීගිය ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාකාරිනි සුනිලා අබේසේකර මෙන්ම පසුකාලීනව ආචාර්ය අර්ජුන පරාක‍්‍රම ද වෙසෙස් සම්මාදමක් දැක්වීය. එතැන් පටන් මෙරටේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳ විධිමත් දත්ත එකතුවක් යාවත්කාලීන කරමින් මැ.ප‍්‍ර.නි. ම. මෙරටේ ක‍්‍රමයෙන් නැගෙමින් පැවති මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල නවතාලීම උදෙසා ඉමහත් වෙහෙසක් දැරීය. එකී කාර්යයේ වඩාත් ප‍්‍රශස්ත කාර්යය වූයේ මෙරටේ ජන්දදායකයාගේ අයිතිය රැකදීම සඳහා  ආචාර්ය සරවනමුත්තුගේ මැදිහත්වීමෙන් ශේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මහජන සුභසාධක නඩුකර විශාල ප‍්‍රමාණයයි. ඉන් සමහර නඩුකර සඳහා ලැබුණු විනිශ්චයයන් මෙරටේ මැතිවරණ ක‍්‍රියාවලියේ ප‍්‍රගමනයට හේතු විය.

එහෙත් කල්යත්ම මැ.ප‍්‍ර.නි. ම. මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේ පමණක් ක‍්‍රියාත්මක වන අක‍්‍රිය ආයතනයක් බවට පත්වෙමින් පැවතිණි. මැතිවරණ නොපැවැත්වෙන කාල සමයේ අවශ්‍යයෙන්ම සිදුවිය යුතු මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සඳහා සුදුසු වැඩපිළිවෙලක් වෙත සමාජය යොමුකරවීම උදෙසා යම් හැඩගැස්මක් ද 

එහි ඇති බවක් නොපෙනිණි. එකී අර්බුදකාරී සමයේ අභියෝග  ජයගත හැකි තරුණ නායකත්වයක් අවැසිම මොහොතේ පෙරට පැමිණියේ මංජුල ගජනායකයි. ඔහු වසර 2005 දී සෘජුවම මැ.ප‍්‍ර.නි. ම. වෙත සේවය සඳහා පැමිණියේ කොළඹ සරසවියේ ජාත්‍යන්තර සබඳතා  පිලිබඳ වැඩිදුර තම උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුවය. ඉහත කී පසුබිම පුර්ණ කාලීන මැතිවරණ නිරික්ෂකයෙක් ලෙස මතු වීම සඳහා මංජුල ගජනායක වෙත කදිම පසුබිමක් සැපයීය.          

ඔහු පළමුවරට  තම නායකත්වය සැපැයූ මැතිවරණය නම් වසර 2013 අවසන් භාගයේ පැවැත්වූ උතුරු පළාත් සභා මැතිවරණයයි.  එහිදී මංජුල ගජනායක පෙරට පැමිණියේ අදාළ ජන්ද විමසීම සඳහා වන නිරික්ෂණ සැළසුමක් ද සමඟිනි. උතුරේ එවැනි මැතිවරණයක් පැවැත්වූයේ වසර 25 කට අනතුරුවය. යුද්ධයේ ශෝකජනක සෙවනැළි දසත පැතිරුණු අවිනිශ්චිත සමයක  නිරීක්ෂකයන් ලෙස තෝරාගත හැකි තරුණ ප‍්‍රජාවක් පවා දුලබ එසමයේ ජන්ද විමසීම අවසන් වන විට මැ.ප‍්‍ර.නි. ම. ඉතා සාර්ථක වාර්තාවක් තබා තිබිණි. ඒ මැතිවරණය පිළිබඳ නිරවද්‍ය තොරතුරු සමාජගත කිරීම තුළින් දේශීයව හා ජාත්‍යන්තරව ලත් සහතිකයයි. එතැන් පටන් අද දක්වා  ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ සෑම ප‍්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේ මැතිවරණයක් සඳහා ම  මැ.ප‍්‍ර.නි. ම. තම නිරීක්ෂණ කාර්යය ඉතා ඉහළින් සිදුකරන ලද්දේ මංජුල ගජනායක යටතේය. වෙනත් මැතිවරණ නිරික්ෂණ ආයතන හා නිරීක්ෂකයන් සමඟ සසනද බැලීමේදී මංජුල සතුව පැවති වෙනස්කම් රාශියකි. ඉන් පළමුවැන්න වූයේ ඔහු හැමවිටෙකදීම සාමාන්‍ය නිරික්ෂණයෙන් ඔබ්බට ගොස් යම් නවෝත්පාදකම අත්හදා බැලීම් වලට යොමුවීමයි. ඊට සමගාමිව ඔහු මෙරටේ දැනට සිටින කදිම මැතිවරණ විශ්ලේෂකයෙක් ද වන්නේය. එබැව් සනාථ කරන කදිම සාධකය නම් ඔහුගේ සංස්කාරකත්වයෙන් එළිදක්වා ඇති අවසන් මැතිවරණ වාර්තාය. වසර 2019 සහ 2020 යන දෙවර්ෂයේදී පිළිවෙලින් පැවති ජනාධිපතිවරණයේ හා පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වාර්තා පරිශීලනයෙන් එය වටහා ගත හැකිය.    

නායකත්වය සුවිෂේශීයි                            

ඔහු තුළ පැවති අනෙක් සුවිශේෂත්වය වන්නේ තම අදහස නොපැකිලව සමාජගත කිරීම සඳහා ඔහු සතුව පැවති දක්ෂතාව හා කැමැත්තයි. ඔහු මෙතෙක් සහභාගී වී ඇති රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ප‍්‍රමාණය ඉතා විශාල වුවද ඒ සෑම එකක්ම ඉතා ආශාවෙන් බලා සිටිය හැකි සහ අසා සිටිය හැකි අන්තර්ගතයෙන් යුත් ඒවාය. සෑම විටෙකදීම යම් නැවුම් අදහසක් දැක්වීම ඔහු අතනොහැර සිදුකරන චාරිත‍්‍රයක් වැනි පුරුද්දක් වූ අතර මැතිවරණ පිළිබඳව ඔහු විටින් විට ලියා ඇති ලිපි ප‍්‍රමාණයද අති විශාලය. ඔහුගේ සංනිවේදනයේ පවත්නා දක්ෂතාව මෙරටේ වෙනත් කිසිදු දේශපාලන හෝ මැතිවරණ නිරික්ෂකයෙක් සතුව ඇතිදැයි පැවසීම යුක්ති සහගතය. එයින් අනෙකුත් පාර්ෂවයන් හෑල්ලූවට පත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.

ඒ සැමටම වඩා මංජුල මෑත කාලීනව සමාජයේ නමක් දිනාගත්තේ ඔහු සමාජජාල මාධ්‍ය භාවිත කරන ආකාරය අනුවය. ත්‍ඊ අවකාශය ඉතා නිර්මාණාත්මකව මෙන්ම ඵලදායීව උපයෝගී කරගන්නා ඔහුගේ ලිපි මෙරටේ නැවුම් මතවාද නිර්මාණයේ වේදිකාවක් බවට පත්ව ඇති අතර ඔහු සිංහල බස හසුරුවන ආකාරය ද ඔහුටම අනන්‍ය සුවිශේෂී එකක් බවට පත්ව තිබේ. ඔහුගේ සිංහල බසින් රචිත ලිපියක් කියවන කවුරුන් වුවද තමා දත් සිංහල බස පිළිබඳව සතුටට මෙන්ම ආඩම්බරයට පත්වනු නොඅනුමානය. ඊට අමතර වශයෙන් මෙරටේ ප‍්‍රචලිත සිවිල් සමාජ ව්‍යාපාරයක් වන මාර්තු 12 ව්‍යාපාරයේද ඔහු ප‍්‍රබල සාමාජිකයෙකි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම උදෙසා ඔවුන් ගන්නා වෑයමට මංජුල ලබාදෙමින් සිටින්නේ අනගි සහයකි.

මැ.ප‍්‍ර.නි. ම. වසර 2013 න් අනතුරුව මෙරටේ මැතිවරණ ක‍්‍රියාවලියේ ප‍්‍රගමනය උදෙසා දක්වා ඇති දායකත්වයේ මහ මොළකරු වෙන අන් කිසිවෙකු නොව මංජුල ගජනායකයි. ඔහු එයින් නික්ම යාම වෙනුවෙන් තැබු FB සටහනෙහි ද ඒ පිළිබඳ යම් කරුණු ප‍්‍රමාණයක් අන්තර්ගත කොට තිබුණි. ඒ අතර ඔහුගේ තීරණාත්මක මැදිහත්වීම් අපමණය.

කිසිවෙකු මඟ නොහැරෙන මැතිවරණ ක‍්‍රියාවලියක් ලෙසින් හඳුන්වමින් මෙරටේ අන්තර්කරණයෙන් යුත් මැතිවරණ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පළමුවරට ගන්නා ලද සාර්ථක උත්සහය සඳහා පෙළඹවීම් කල කණ්ඩායමෙහි ප‍්‍රබල සාමාජිකයෙක් වූයේ මංජුල ගජනායකයි. ඔහු මෙරටේ ප‍්‍රථම වරට මැතිවරණ පිළිබඳ දැනුවත් කිරීමේ පත‍්‍රිකා සහ අවසන් වාර්තා බ්‍රේල් මුද්‍රණයෙන් එළිදක්වමින් ආබාධ සහිත ප‍්‍රජාවේ මැතිවරණ සාක්ෂරතාව හා මැතිවරණ සහභාගිත්වය ප‍්‍රවර්ධනයට මඟ පෑදීය. අද ද මැ.ප‍්‍ර.නි.ම. ආබාධ සහිත ප‍්‍රජාවේ මැතිවරණ සහභාගිත්වය පිළිබඳව ඉතා දැඩි මැදිහත්වීමක් කරනු ලබන්නේ මංජුල විසින් ආයතනිකව සිදුකල වෙනස්කම් ඔස්සේය.

මහජනයා මැතිවරණ ගැන දැනුවත් කිරීමේ පුරෝගාමිය ඔහුයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ ව්‍යාපාරය සඳහා නායකත්වය ලබාදීම. මෙරටේ මැතිවරණ වියදම් නියාමනය කිරීමෙන් තොරව යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල නොහැකි ය යන සංකල්පය ප‍්‍රබලව ගෙන එමින් ඊට අදාළ දේශීය හා විදේශීයව පවත්නා දැනුම හුවමාරු කරගැනීමේ අපූරු මැදිහත්වීමක් සිදුකළේද මංජුලය. මැතිවරණ සඳහා දේශපාලකයන් රුපියල්  කෝටි ගණන් වැය කරන්නේ යැයි බොහෝ දෙනා පැවසුවද එය සනාථ කිරීමට තරම් කිසිදු නිල සංඛ්‍යා දත්ත ගොණුවක් මෙරටේ නොපැවතුණු සමයක, ඒ පිළිබඳව දීපව්‍යාප්ත නිරීක්ෂණයක් සිදුකල එකම ආයතනය මැ.ප‍්‍ර.නි. ම. වූ අතර එය මුළුමනින්ම මංජුල ගජනායකගේ සංකල්පයක් විය. මැතිවරණ නිරීක්ෂණය වුව නිවැරදිව සිදුකිරීමේදී මුහුණදීමට සිදුවන බාධා අපමණය. එවැනි පසුබිමක දැවැන්ත අවධානමක් හා අභියෝග රැසක් අභිමුව ඔහු ඉතා සාර්ථකව තම මැතිවරණ පිරිවැය නිරීක්ෂණය සමාප්ත කරන ලද අතර අද වනවිට පසුගිය ජනාධිපතිවරණයේ හා පාර්ලිමේන්තු මැතිවරණයේ වක‍්‍ර වියදම් හෙවත් මැතිවරණ ප‍්‍රචාරක වියදම් පිළිබඳව නිල සංඛ්‍යා දත්ත ගොනුවක් ජනගත කොට ඇත.

මංජුල සිදුකල අනෙක් සාර්ථක උද්දේශන කාර්යය නම් මෙරටේ කාන්තා දේශපාලන සහභාගිත්වය ප‍්‍රවර්ධනය සඳහා සිදුකළ අසීමාන්විත කැපවීමයි. කොළඹ වේවා, යාපනයේ හෝ අම්පාරේ වේවා ඒ කවර ස්ථානයක වුව සිටින කාන්තා දේශපාලන ක‍්‍රියාකාරිනියන් දැනුමින් සන්නද්ධ කිරීම පමණක් නොව ඔවුන්ගේ හඬට සවන්දෙන ජාතික මට්ටමේ ප‍්‍රතිපත්ති රාමුවක් සකස්කිරීම සඳහා ද ඔහු දිවා ? දෙකෙහිම වෙහෙස වන්නෙකි.

කාන්තාවන් දේශපාලනය සඳහා බලගැන්වීම

පළාත් පාලන ආයතන මට්ටමේ කාන්තා කෝටාව හඳුන්වා දීමේ කාර්යයේ ද විශාල කාර්යභාරයක් ඔහු සිදුකල අතර අද ද ඔහු තම දැනුම නොමසුරුව කාන්තා ක‍්‍රියාකාරිනියන් අතර බෙදමින් සිටින්නේය. ඊට සමගාමීව මැතිවරණ තුළදී කාන්තාවන් වෙත එල්ල වන ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ මෙරටේ පළමුවරට විධිමත් සමීක්ෂණයක් ඔහු වසර 2018 පෙබරවාරි 10 වැනිදින පැවති පළාත් පාලන ජන්ද විමසීමට සමගාමීව සිදුකළේය. අද ද කාන්තා දේශපාලනය අවතක්සේරු කිරීමේ විධික‍්‍රම ලෙස පවත්නා වෛරී ප‍්‍රකාශ සහ දුස්තොරතුරු පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම ඔහු අතනොහැර සිදුකිරීම ප‍්‍රශස්ත වේ.         

එපමණක් නොව මෙරටේ මැතිවරණ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ නඩුකරයක් වෙනුවෙන්ද ඔහු තමන් සේවය කල  ආයතනයෙන් නික්මෙන මොහොතේ  දායකත්වය ලබාදුන් බවද සිහිකිරීම වටී. එනම් වසර 30 කට පමණ පසුව වසර 1978 හඳුන්වා දුන් නව මැතිවරණ ක‍්‍රමය යටතේ කවර හෝ මට්ටමක මහජන නියෝජිතයෙකුගේ අසුන අහිමි කිරීම සඳහා වන නඩු තීන්දුව මොණරාගල පළාත්බද මහාධිකරණයෙන් ලබාදෙන ලද්දේ අදාළ ප‍්‍රාදේශීය මට්ටමේ පාර්ශ්ව ගොනුකරන ලද මැතිවරණ පෙත්සම හේතුවෙනි.  ඒ සඳහා පැෆ්රල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙහෙසෙන විට ඔහුට සහය දුන් අනෙක් ප‍්‍රබලතම සාමාජිකයා වූයේ මංජුල ගජනායකයි.    

හැමවිටම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියා      

ඒ හැමටම වඩා ඔහුගේ සමස්ත භාවිතාව යොමුව පැවතියේ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත වැඩි වැඩියෙන් යොමුකිරීම උදෙසාය. ඒ වෙනුවෙන් අද ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ හෝරා ගණන් ගත කිරීමටත්, දුරබැහැර ගමන් කොට තරුණ තරුණියන් හමුවීමටත් ඔහු කිසිවිටෙක පසුබට නොවන්නේය. එපමණක් නොව ඔහු මෙරටේ දැනට අත්දැකීම් සපිරි මැතිවරණ පිළිබඳ ප‍්‍රමාණික අවබෝධයක් ලත් ප‍්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂකයෙක් පම්නක් නොව ඇමෙරිකාව ප‍්‍රමුඛ බොහෝ රටවල අත්දැකීම් ලබමින් දේශීයව හා විදේශීයව ශ‍්‍රී ලංකාව සතු සාඩම්බර මැතිවරණ වාර්තාව පිළිබඳ කතාන්දරය ලෝකයට කියමින් සිටින සුභවාදී නිරික්ෂකයෙකි.                    

මංජුල මැ.ප‍්‍ර.නි. ම. යෙන්  ඉවත්වීමත් සමඟ එකී ආයතනය පමණක් නොව ඔහුගේ නික්මයාම තුළ මෙරටේ සමස්ත මැතිවරණ නිරික්ෂණය වෙතම සිදු  වන්නේ බලවත් පාඩුවකි. තම අනාගත සැළසුම් පිළිබඳව ඔහු යමක් හෙළිකර නොමැත්තේ වුවද යම් විධිමත් ආයතනික ව්‍යුහයක් තුළ මැතිවරණ නිරීක්ෂණය පමණක් නොව සමස්ත දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය වෙත දායකත්වයක් දැක්වීමට හැකියාවක් පවතීනම් එය කාලීන අවශ්‍යතාවක් බව නොපැකිලව ප‍්‍රකාශ කොට තැබීම වටී.  හේතුව ඔහු වැන්නෝ මෙරටේ ඉතා දුර්ලභ බැවිණි.   

කුහුඹුවා කුඩා වුවද සිය සමාජයේ පැවැත්ම උදෙසා සිදුකරණ සේවය අති විශාලය. මංජුල ද එවැන්නෙකි. ඔහු සිරුරෙන් කුඩා වුවද මුහුකුරා ගිය මානව දර්ශනයක් ඔහු සතුව පවතී. ඔහු නිතර අභියෝග වෙත යන්නේ ඒ නිසාය. ඔහු CMEV වෙතින් නික්මීම පිළිබඳව දැනට සිමානිර්ණය කොමිෂන් සභාවේ සභාපති මෙන්ම මෙරටේ පළමු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වූ මහින්ද දේශප‍්‍රිය මහතා තැබු සටහනකින් මෙම ලිපිය අවසන් කිරීම හැමතින්ම වැදගත්ය.        

‘‘ජනතාව සමග, පේ‍්‍රමයෙන් හා සේවයෙන් බැඳී සිටිමින් මැතිවරණ නිරීක්ෂණ මෙන්ම යහපත් මැතිවරණ  ක‍්‍රියාවලියක් උදෙසා දශක එකහමාරකටත් වඩා  කටයුතු කළ මංජුල ගජනායක CMEV යට සමුදෙයි. ඔහු  තව දුරටත් සමාජ සාධාරණත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්  පෙනී සිටිනු ඇතැයි නිසැකවම විශ්වාස  කරමි‘‘.

සටහන : අතුල  රංජිත් වේදමේස්ත‍්‍රිගේ

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *