ශ්‍රී ලංකාව බංකොලොත් වීම අභියස ද?

‘විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත්වීම අභියස ද’ යන්න බොහෝ දෙනෙකු මේ වන විට මතුකරන ප්‍රශ්නයක් වී ඇත්තේ ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට කළ අනතුරු ඇඟවීම නිසාවෙනි.

එම ආයතනය එසේ අනතුරු ඇඟවූයේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් (IDR) ශ්‍රේණිගතකිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත හෙළමිනි. විදේශ විනිමය ආපසු ගෙවීම පැහැර හැරීමේ වැඩි ඉඩක් ඇති බව ඉන් අදහස් වෙයි.

ෆිච් ශේණිගත කිරීමේ ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ ආනයන ඉහළ යාම සහ විදේශ මුදල් වෙළඳපොළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත එම ආයතනයේ අවසන් සමාලෝචනයේදී ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් පහත වැටී ඇති බවයි.”විදේශ විනිමය සංචිත අගෝස්තු මාසයේ සිට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 2 කින් පමණ අඩු වී ඇති අතර, නොවැම්බර් අග වන විට එය ඇ.එ.ජ ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටී ඇත, එය ශ්‍රී ලංකාවේ මාසයකට අඩු වත්මන් බාහිර ගෙවීම් වලට සමාන අගයක් වේ. මෙය 2020 අවසානයේ සිට ඩොලර් බිලියන 4 ක පමණ විදේශ මුදල් සංචිතවල පහත වැටීමක්.”

2022 සහ 2023 වසර වලදී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැතිව ශ්‍රී ලංකා රජයට එහි බාහිර ණය බැඳීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි ෆිච් ආයතණය විශ්වාස කරන බවට ඔවුන් ගේ නවතම ශේණිගත කිරීමේ නිවේදනය නිකුත් කරමින් පැවසිය.”මෙම බැඳීම්වලට 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු ඇ.ඒ.ජ. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී ඇ.ඒ.ජ. ඩොලර් බිලියන 1 ක් ඇතුළත් වේ.2021 නොවැම්බර් වන විට නිල දළ ජාත්‍යන්තර සංචිතවලින් 430% කට ආසන්න ප්‍රමාණයකට 2022 දී ඩොලර් බිලියන 6.9 ක ණය වාරිකය (ප්‍රාග්ධනය) සහ පොලී ඇතුළුව විදේශ මුදල් ණය සේවා ගෙවීමට ද රජය මුහුණ දෙයි,” යනුවෙන් එම ආයතනය පවසයි.

ෆිච් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව 2022 සිට 2026 වසර දක්වා පොලී සහ ණය වාරිකය ඇතුළුව සමුච්චිත විදේශ මුදල් ණය සේවාව ඩොලර් බිලියන 26ක් පමණ වන බවයි.

මහ බැංකුව විසින් ඔක්තෝම්බර් මාසයේදී මාස හයක මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මූලාශ්‍ර, සින්ඩිකේටඩ් ණය සහ 2021 පළමු කාර්තුවේදී අඩු උපයෝගි කරගත් වත්කම්වල මුදල් ඉපැයීම ඇතුළු විවිධවූ ආකාර ගණනාවක් හරහා අමතර බාහිර ණය ලබා ගැනීමේ සැලසුම් එම මාර්ග සිතියමේ ගෙනහැර දක්වා තිබුනත් පවතින කාලය සහ බාහිර සම්පත් ලබා ගැනීමේ හැකියාව අපැහැදිලි අතර ණය සේවා සඳහා එසේ පහසුවෙන් ලබා ගත නොහැකි බවට ෆිච් ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටී ඇති මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට ලබන ජනවාරි මාසයේ ගෙවිය යුතු ණය නියමිත පරිදි ගෙවිය හැකි ද යන්න පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම ආර්ථික විද්වතුන් මතුකරණ කාරණයකි.

පවත්නා විනිමය අර්බුදය, ඉන්ධන, බොරතෙල්, ගෑස්, කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන ක්‍රියාවලියට ද දැඩි ලෙස බලපා ඇත.

“අද අපි බංකොලොත්භාවයට ආසන්න වෙලා තියෙන්නේ,” යි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ආර්ථික අර්බුය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය දා පැවසිය.

පවතින තත්ත්වය හමුවේ IMF සහාය ලබා ගනිමින් ලොව පිළිගන්නා ආකාරයකට කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

මූල්‍ය විනයක් නොමැති රටක් හැටියට කටයුතු කිරීම තුළින් මෙවැනි තත්ත්වයකට පත්ව ඇති බව ද ඔහු තවදුරත් පැවසිය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළේ, මෙම විනිමය අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොවන බව යි.

කොවිඩ් වසංගතය හමුවේ බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් මෙවැනි සංචිත අර්බුදයකට මුහුණ පා නැතැ යි ද ඔහු අනාවරණය කළේ ය. පවතින අර්බුදය සරලව විසඳිය හැකි එකක් නොවන බව ඔහු පැවසිය.

“රටේ විදේශ මූල්‍ය අර්බුදය අතිශය දරුණු තත්ත්වයකට මේ වසර අගභාගය වන විට පත්වෙමින්, ලබන වසර ඇත්ත වශයෙන් ශ්‍රී ලංකා ද්වීපයේ ආර්ථිකය අතිශයින්ම තීරණාත්මක, එහි ඉතිහාසයේ තිබ්බ ඉතා බලගතුම මූල්‍ය අගාදයකට වැටෙමින් තිබෙන බව පැහැදිලි යි,” ඔහු පැවසුවේ ය.

“විදේශ විනිමය හිඟය විසින් ඇතිකරලා තිබෙන අර්බුදයත් මහා පරිමාණ අර්බුදයක් බවට, විශාල සුළි කුණාටුවක් බවට පරිවර්ථනය වෙමින් තිබෙනවා.”

එළඹෙන වසර, ඇතැම් විට ජනවාරි මාසය අතිශය තීරණාත්මක මාසයක් බවට පරිවර්ථනය වනු ඇතැ යි රණවක මන්ත්‍රීවරයා අනතුරු අඟවා සිටියේ ය.

2022 වසරේ රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7,000කට අධික බව ද සඳහන් කරන මන්ත්‍රීවරයා, 2022 ජනවාරි මාසයේ දී පමණක් ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 900කට අධික මුදලක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වනු ඇතැ යි ද පැවසීය.

ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර සඳහා ගෙවීම් කිරීමට ඩොලර් මිලියන 500ක්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 242ක්, බහුපාර්ශවික සහ ද්වී පර්ශවීය ණය වාරික ගෙවීමට ඩොලර් මිලියන 200ක් අවශ්‍යවනු ඇතැ යි ද මන්ත්‍රීවරයා අනාවරණය කළේ ය.

මේ අතරේ, ෆිච් ශ්‍රේණිගතකිරීම සම්බන්ධයෙන් රජය සිය විරෝධය ප්‍රකාශකර ඇත.

දෙසැම්බර් 18 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ, “සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්ති කිහිපයක් සමග සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට ෆිච් ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) අසමත් වී ඇතිබව පෙන්නුම් කරමින්, පසුගිය දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගතකිරීම පහත හෙලූ බව” යි.

“මෙම ක්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත්කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

comments on CBSL page
| මහ බැංකුවේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ප්‍රතිචාර

2021 වසරේ දී 4%කට වැඩි වර්ධනයක් ඇතිවීමට ඇති ප්‍රබල හැකියාව යළි තහවුරු කරමින්, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2021 ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ දී 4.4%කින් වර්ධනය වී ඇතැ යි පවසන මහ බැංකුව, 2021 අප්‍රේල් මාසයේ සිට විනිමය අනුපාතිකය ස්ථාවරව පැවති බවත්, ඒ සමග අපනයන ආදායම සහ වෙනත් විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ද මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළගොස් ඇති බවත් පැවසිය.

සංචාරක පැමිණීම්වල වේගවත් වර්ධනයක් මාසිකව දක්නට ලැබුණු අතර, වාර්ෂිකව රටට අහිමි වූ ඩොලර් බිලියන 5ක පමණ විදේශ විනිමය ආදායමක් ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී නැවත ලැබෙමින් පවතින ස්වභාවයක් එමඟින් පෙන්නුම් කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් ය.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ රට වෙත ලැබීම් පිළිබඳ වන අපේක්ෂා ඉතා යහපත් බව ද මහ බැංකුව පවසයි.

කොළඹ වරාය නගරයේ සහ කාර්මික කලාපවල හඳුනාගත් ව්‍යාපෘති සඳහා සෘජු ආයෝජන හරහා මූල්‍ය ගිණුම වෙත හිමිකම් ප්‍රාග්ධනය ලබා ගැනීමට ඉඩ සැලසීමට අපේක්ෂා කරන බව මහ බැංකුව ප්‍රකාශකර ඇත.

2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මඟින් හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය අසමත් වී ඇතැ යි ද මහා බැංකු ප්‍රකාශයේ දැක්වේ.

නව බදු ක්‍රියාමාර්ග හඳුන්වාදීමත්, බදු පරිපාලනය පද්ධතියේ වැඩිදියුණු කිරීමත් සමග ආර්ථිකයේ පුනර්ජීවනය ද තුළින් 2022 වසරේ දී රජයේ ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බවට ඔවුන් පැවසිය.

මහා බැංකුව පවසන පරිදි, ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා, රාජ්‍ය ණය තිරසාර මට්ටමකින් පවත්වා ගැනීමට දායක වන අන්දමින් රාජ්‍ය මූල්‍ය හිඟය සහ රජයේ මූල්‍ය අවශ්‍යතා අඩු කිරීමට මඟ පෑදෙනු ඇත.

ඉදිරි මාසවල දී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇතැ යි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද “පදනම් විරහිත ප්‍රකාශවලට” පටහැනිව, රජය සහ මහ බැංකුව විසින් මිත්‍ර ජාතීන්ගෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායි වෙමින් පවතින අතර, එමඟින් ඉදිරි කාලය තුළ දී ගෙවුම් ශේෂය මත පීඩනය සමනය කිරීමට හැකිවන බව මහා බැංකුව කියයි.

දළ නිල සංචිත ඩොලර් බිලියන 3කට වඩා ඉහළින්?

රජය සහ මහ බැංකුව විශ්වාස කරන්නේ 2021 වසර අවසානය වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළින් පවතිනු ඇති බව යි.

ෆිච් ශ්‍රේණිගතකිරීමේ ආයතනය විසින් චීන මහජන බැංකුව සමග ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් පහසුකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවත්, එම පහසුකම ප්‍රයෝජනයට ගැනීමට නියමිතව පවතින බවත් ප්‍රකාශයේ සඳහන් ය.

ශ්‍රේණිගතකිරීමේ නිරවද්‍ය බව පරීක්ෂා කළ හැකි ප්‍රථම දිනය වන 2021 වසරේ දෙසැම්බර් 31 දින තෙක් නොසිට, ශ්‍රී ලංකා ශ්‍රේණිගතකිරීම පහත හෙළීමට ෆිච් ආයතනය තීරණය කිරීම මඟින් අන් කිසිවක් නොව ඔවුන්ගේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරන අතර, මෙම පහත හෙළීම මත පදනම්ව තීරණ ගැනීමෙන් ආයෝජකයින්ට සිදු විය හැක්කේ හානියක් පමණක් බව ද මහ බැංකුව සඳහන් කළේ ය.

ඉදිරි කාලය තුළ දී ශ්‍රී ලංකාව සියලු ණය සේවාකරණ ගෙවීම් සිදු කරන බවට රජය පැහැදිලි සහතිකයක් ලබා දී ඇතැ යි ද, පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික පීඩන තත්ත්ව යටතේ පවා ශ්‍රී ලංකාව එකදු ගෙවීමක්වත් ප්‍රමාදකර නොමැති බව ද මහ බැංකුව අවධාරණයකර සිටියි.

මේ වන විටත් ශ්‍රී ලංකා රජය ඉනිදියාවෙන් ආර්ථික සනහ පැකේජයක් ලබාගැනීමේ සැලසුමක් ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇති අතර. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ඩොලර් බිලියන 2ක පමණ ආයෝජනයක් සඳහා ඉන්දියාව සැරසෙන බවට මේ වන විට මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය දා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැදපෙරදිග රටවල සංචාරයක නිරත වෙමින් මෙරටට ද්විපාර්ශවික ණය ලබාගැනීමේ හැකියාව උරගාබලා බවට මහ බැංකු ආරංචි මාර්ග බීබීසී සිංහල වෙත පැවසිය.

(bbc/sandeshya)

You might like

About the Author: Editor