නායකයින්ගේ පාවාදීම් මෝඩකම් සමග අතරමං වුනු ගුරුවරු

‘‘ගුරු සටන’’ ගැන දැන් අපමණ කතා ඇත. ගුරු සංගම් නායකයින් ‘‘සටන’’ පාවා දුන්නේ යැයි ගුරුවරුම කියති. සටන පාවා දුන්නේ ජ.වි.පෙ ගුරු සංගම් නායකයා සහ පෙරටුගාමී දේශපාලනයට හේත්තු වූ ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින් යැයි තවත් අය කියති. ගුරුවරුන්ට ඉතිරිව තිබුණු ගෞරවයත් විනාශකර ගත්තේ යැයි සාමාන්‍ය ජනතාව අතර පමණක් නොව, ගුරුවරු අතරද ඇසෙන කතාවකි. 

සාමාන්‍ය කතා බහ එසේවන අතර, ‘‘ගුරු සටනට’’ දැනට දින සියයක් යැයි ජ.වි.පෙ ගුරු සංගම් නායක මහින්ද ජයසිංහ ඉකුත් බදාදා පොහෝ දින සමාජ මාධ්‍ය ජාලයට ආලවට්ටං එකතු කරමින් කියා තිබුණි. ඊට පෙර දිනයේද ඔහු ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම වෙනුවෙන් ‘‘ගල් කටස්’’ පැත්තකින් තබා ‘‘බැර අවි’’ ගැනීමේ සටනකට ලබන 25 වන සඳුදා සිට තීන්දුකර ඇති බවත් කීවේය. මේ දිනවල ෆේස් බුක් අරක්ගෙන ඉන්නා ජයසිංහ ‘‘ගුරු සටන’’ ඉදිරියට ගෙන යාමට ගුරුවරුන් දෙමාපියන් සමග පාරට පැමිණෙන බව කීවේ, ඔවුන් ගුරු සටන පාවා දුන්නේ යැයි චෝදනා කරනවුන්ට පිළිතුරු වශයෙනි.

ඔහු කියන අයුරු, ‘‘මාර්ග ගත ඉගැන්වීම්’’ වර්ජනය ගුරුවරුන් අත හැරියද, 25 වන සඳුදා සිට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවා වාර්තා කිරීම ආරම්භ කෙරුවද, ‘‘ගුරු සටන’’ අවසන් නැත. එහෙත් ඉකුත් 12 වන දින ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ තැබූ විසඳුම් බාර නොගෙන ‘‘මාර්ග ගත ඉගැන්වීම්’’ වර්ජනය අත හැර, දිගු විරාමයකට පසු සති අන්තයට පෙර දෙදින පමණක් වර්ජනයකර 25 වන සඳුදා සිට සේවය වාර්තා කිරීමට තීන්දු කිරීමේ අරුත කුමක්ද යන්නට පිළිගත හැකි තාර්කික උත්තරයක් ඔහුගෙන් හෝ ජෝස්ෆ් ස්ටාලින්ගෙන් තවම ලැබී නැත.

නැවත සේවයට යෑමේ තීන්දුව ගැන ඔහු කියන ‘‘ආණ්ඩුවේ මර්දනය’’ ජ.වි.පෙ දේශපාලනයෙහි සුපුරුදු හේතු දැක්වීමකි. ආණ්ඩුව කුඩා පාසල් විවෘතකර ගුරුවරුන් හුදකලා කරමින් මර්දනයක් සැළසුම් කරන්නේ යැයි ඔහු දැවැන්ත තර්ජනයක් මවා පාන්නේය. ඒ මර්දනයට මුහුණ දෙන්නට ගල් කටස් වෙනුවට ‘‘බැර අවි’’ ගත යුතු යැයි ඔහු පැහැදිලි කෙරුවේ ගුරුවරුන් පාරට කැඳවීම ලෙසින්ය. ප‍්‍රාදේශීයව බලහත්කාර පෙළපාලි කැඳවු 88-90 කාලයේ ජ.වි.පෙ ඔවුන්ගේ තුච්ඡ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයේ මිනීමැරීම් තවමත් සාධාරණය කරන්නේ ‘‘රාජ්‍ය මර්දනය’’ ගැන කීමෙනි. රාජ්‍ය මර්දනයට මුහුණ දීමට අතට ගත් ආයුද වලින් ප‍්‍රාදේශීය ජනතා නායකයින් ඝාතනය කිරීම ආණ්ඩුව මට්ටු කිරීමක් වන්නේ කෙසේදැයි කිසිවකුට තේරුම්ගත නොහැක. ‘‘ආණ්ඩුවේ මර්දනය’’ ගැන කීවත් ඔවුන් අතට ගත් ගල් කටස් වලින් කෙරුවේ ඔවුන්ගේ ම්ලේච්ඡු දේශපාලනයට විරුද්ධ වූ ගමේ නායකයින් මෘග ලෙස ඝාතනය කිරීමය. එනිසා මර්දනය ගැන ජයසිංහලාගේ කතා තුට්ටුවක වටිනාකමක් නැති කතා ය.

රජයේ පාසල් හා ගුරුවරුන් ගැනද මොවුන්ට හරියාකාර අවබෝධයක් නොමැත. පසුගිය සතියේ 21 වන බ‍්‍රහස්පතින්දා දින කුඩා පාසල් විවෘත කිරීම හා අගමැති යෝජනා කළ විසඳුම ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන් ‘‘ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය’’ ලෙසින් ඉකුත් 18 වන දින නිකුත් කළ නිවේදනයෙහි ළමුන් 200 ට අඩු පාසල් සංඛ්‍යාව 3,000 ක් පමණ යැයි සඳහන්කර තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘‘2020 වසරේ පාසල් සංගණන වාර්තාවට’’ අනුව රජයේ පාසල් 10,155 කින් ළමුන් 200 ට අඩු පාසල් යනු සියයට 50.1 ක් වන පාසල් 5,131 කි. එම පාසල්වල සමස්ථ ළමුන්ගෙන් සියයට 40 ක් වන 16 ලක්ෂ 40 දාහක් 05 වසර දක්වා ඉගෙන ගනිති. එම පාසල් සියල්ල 05 වසර දක්වා පමණක් පංති පැවැත්වෙන පාසල් නොවේ. ඒවා අතුරින් පාසල් 115 ක 08 වන වසර දක්වාද පංති ඇති අතර, එම පාසල් 5,131 හි සේවයේ නියුතු ගුරු සංඛ්‍යාව 54,977 කි. එනම් සමස්ථ රජයේ ගුරු සංඛ්‍යාවෙන් සියයට 22 කි. එබැවින් ආණ්ඩුවේ තීන්දුවට අනුව පාසල් වලින් හරි අඩක්, ළමුන්ගෙන් සියයට 40 ක් සහ ගුරුවරුන්ගෙන් පහෙන් පංගුවකට වැඩි සංඛ්‍යාවක් 21 වන දින පාසල් යළි විවෘත කිරීමේ පළමු අදියරෙන් ආවරණය කෙරුණි.

මේ පළමු අදියර පාසල් ආරම්භයත් සමග තැනක දෙපළක හුදකලා ප‍්‍රාදේශීය දේශපාලන මැදිහත්වීම් තිබුණද ගුරු සංගම් නායකයින්ට හා කි‍්‍රයාකාරීන්ට හදිස්සියේ සටන අත හැර සේවයට යාමට තරම් ආණ්ඩුවේ මර්දනයක් නොවුනි, ආණ්ඩු මර්දනය දියත් කෙරෙන හැටි තේරුම් ගැනීමට ‘80 ජූලි වර්ජනයෙහි පසුබිම සළකා බැලිය යුතු නමුත් එයට ජ.වි.පෙ නායකයින්ට සදාචාරාත්මක අයිතියක් නැත. මාස ගණනාවක සංවිධාන සූදානමක් සමගින් ‘80 ජූලි වර්ජන තීන්දුව ගනු ලැබූයේ ජුනි 05 වන දින සෝමපාල සහෝදරයා ඝාතනය වූ කම්කරු විරෝධතාවන්ට ජයවර්ධනගේ එ.ජා.ප. ආණ්ඩුවේ මැරයින් විවෘතව යොදවා පහර දුන් හා බෝම්බ ගැසූ, රැස්වීම් තහනම් කළ, වෘත්තීය සමිති සතු බැංකු ගිණුම් තහනම් කළ, නායකයින් අත් අඩංගුවට ගනු ලැබූ සහ ජ.වි.පෙ නායකත්වය ජයවර්ධන ආණ්ඩුව වෙනුවෙන් වර්ජනයට විරුද්ධව සියලූ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් සිදු කළ වටපිටාවකය (ජ.වි.පෙ පාවාදීම් විස්තර සඳහා ලංකා ගුරු සංගමයේ සභාපති එච්.එන්. ප‍්‍රනාන්දුගේ සහ ප‍්‍රධාන ලේකම් චිත‍්‍රාල් පෙරේරාගේ අත්සනින් යුතුව 1980 අගෝස්තු 03 වන දිනැති අත් පති‍්‍රකාව බලනු මැනවි).

මේ ආණ්ඩුව 21 වන දින පාසල් විවෘත කිරීමට එවැනි මර්දනකාරී පියවර කිසිවක් ගෙන නොතිබුණි.  ආණ්ඩුව ගෙන තිබූයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල යොදවා සිටි ‘‘සංවර්ධන නිලධාරීන්’’ වැනි උපාධීධාරීන් විදුහල්වලට අන්‍යුක්ත කිරීමේ අඳබාල පියවර පමණි. එය පාසල් විවෘත කිරීමේදී අසාර්ථක අනුවණ තීන්දුවකි. අවිනිශ්චිත දිගු විරාමයකට පසු පාසල් විවෘත කිරීමට සතියේ අවසන් දින දෙක ආණ්ඩුව යොදා ගත් විට, එකවරම ළමුන් පාසල් යවන්නට දෙමාපියන් සූදානම් වන්නේ නැත. ළමුන් පාසල් යවන්නට ප‍්‍රවාහනය, අතුරු ආහාර සැපයීම් වැනි තවත් කාරණා වලට අමතරව වටපිටාව ඒ සඳහා සූදානම්ව තිබිය යුතුය. ඒවා ගැන පැහැදිලි සහතිකයක්ද නැතිව වෙනත් පිරිස් පාසල් වලට ගෙන්වන විට, තම දරුවන් පාසල් එවන්නට දෙමාපියන් බහුතරයක් සූදානම් නොවනු ඇතැයි සිතන්නට තරම් ආණ්ඩුවේ බලධාරීන්ට මොළයක් නොවුනි.

ළමුන් හරියාකාරව පාසල් නොපැමිණෙන බව ස්ථිරව කිව හැකි වූ 21 වන හා 22 වන දෙදින වර්ජනය කරනවා යැයි ඔවුන් කීවේ ආණ්ඩුවේ එවැනි මෝඩ තීන්දුවක වාසිය ගැනීමටය. එහෙත් 25 වන සඳුදා සිට ‘‘මාර්ග ගත ඉගැන්වීම්’’ වර්ජනය අතහැර සේවයට පැමිණීමට තීන්දු කෙරුවේ ලබන සතියේ සිට පාසල් ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්විය හැකි යැයි ඔවුන්ද කල්පනා කළ බැවිනි. පසුගිය දින සියයේ ඔවුන් සමාජ මාධ්‍ය ජාල හා පුවත් පත් සාකච්ඡා මගින් මවා පෑ ආකාරයේ ගුරු සටනක් නොවුනු බැව් ලබන සතියේ සිට ප‍්‍රදර්ශනය වන්නට බෙහෙවින් ඉඩ ඇති හෙයිනි.

ඔවුන් ‘‘ගුරු සටන’’ යැයි කියූවේ ඉකුත් ජූලි මාසයේ 08 වන දින ජෝසෆ් ස්ටාලින් සමග තවත් කි‍්‍රයාකාරීන් පිරිසක් යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැවැත්වූ විරෝධතාවයේදී පොලීසිය විසින් බලහත්කාර නිරෝධායනයක අනීතිකව රඳවා තැබීමට විරුද්ධව ගුරු සංගම් ප‍්‍රකාශයට පත් කළ ‘‘මාර්ග ගත ඉගැන්වීම්’’ වරජනයට ය. ජෝසෆ් ස්ටාලින් සමග අනීතිකව රඳවා සිටි පිරිස් නිදහස්කර ගැනීම වෙනුවෙන් වෙනත් වෘත්තීය සමිති වලද සහාය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් එයට එකතු කරනු ලැබූ අමතර ඉල්ලීම් දෙක වූයේ (1) විරෝධතා මර්දනය නතර කිරීමත් (2) කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීමත් ය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ කිසිදු ඉල්ලීමක් හෝ සුබෝධීනි වාර්තාවක් ගැන කිසිවක් මාර්ග ගත ඉගැන්වීම් වර්ජනය ප‍්‍රකාශයට පත් කෙරුණු ජූලි 09 වන දින ඉදිරිපත් නොවුනි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ සුබෝධිනි වාර්තාව කරළියට ගෙනෙනු ලැබූයේ ආණ්ඩුව ජෝසෆ් ස්ටාලින් ඇතුලූ පිරිස ජුලි 15 වන දින නිදහස් කිරීමෙන් පසුවය. ඒ නිදහස් කිරීම සම්බන්ධයෙන් පසු දින සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනකින් මා කියූවේ, ‘‘ගුරු සංගම් නායකයින් සහ විශේෂයෙන් ගුරුවරුන් තේරුම් ගත යුතු කාරණාවක් ඇත. ආණ්ඩුව පසු බැස්සේ,…,…(1) ගුරු සංගම් හා ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් බලහත්කාර ලෙස අනීතික නිරෝධායනයකට ලක් කිරීම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ඉතා නිර්ලජ්ජී ලෙස විවෘතව මර්දනය කිරීමක් යැයි ඊට එරෙහිව සමාජය හමුවේ ඉතා පුළුල් ආණ්ඩු විරෝධයක් මතු වීමක් සහ (2) එයට විදේශ වෘත්තීය සමිති සම්මේලන හා මානව හිමිකම් සංවිධාන සහාය දෙමින් ආණ්ඩුවට ඒ බැව් දැන්වීමත් නිසාය’’ යනුවෙනි. එළෙසින්ම මෙවැනි මර්දනයක් සඳහා ජාත්‍යන්තර විරෝධයක් ගොනුවීම සමග ලංකාවට 2018 දී නැවත ලැබුණු යුරෝපා ජී.එස්.පී. අධි සහන අහෝසි වන්නට ඉඩ තිබේ යැයි ආණ්ඩුවෙහි තැති ගැන්මක් තිබූ නිසා යැයිද මම කීවෙමි.

එහෙත් පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වයන් නිවැරදිව තක්සේරු කිරීමට තරම් ඉවසීමක් හා පරිනත බවක් නොමැති ආධුනික ගුරු සංගම් නායකයින් සිතුවේ ආණ්ඩුව පසු බැස්සේ ඔවුන් ප‍්‍රකාශයට පත් කළ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයේ ශක්තිය හමුවේ යැයි කියා ය. එවැනි උද්දච්ච මානසිකත්වයකින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳා ගැනීමට සුබෝධිනි වාර්තාවේ යෝජනා මේ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට එල්ලා එය දිගටම ගෙන යාමට ගුරු සංගම් කිහිපයක් ඉක්මන් වූහ. කලක් වෘත්තීය සමිති කි‍්‍රයාකාරිත්වයකට වඩා දේශපාලන කි‍්‍රයාකාරිත්වයකට බර තබා සිටි ජෝසෆ් ස්ටාලින්ට හා ජ.වි.පෙ ජයසිංහට ඒ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි වූයෙන් ඔවුන්ද සුබෝධිනි වාර්තාවේ යෝජනා වෙනුවෙන් සිට ගත්හ.

මේ දෙගොල්ලන් අතර ආරම්භයේ සිටම බරපතල බෙදීමක් තිබුණි. සුබෝධිනි වාර්තාවේ යෝජනා මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට ගැට ගැසූ සහ දැනටත් දීර්ග වර්ජන තීන්දුවක් ගත්තේ යැයි දැනුම් දෙන අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය ඇතුළත් ගුරු විදුහල්පති ජාතික සන්ධානය විසින් සංවිධානය කළ මහනුවර-කොළඹ පා ගමනට හරස්ව ජෝසෆ් ස්ටාලින් සහ ජයසිංහ ජ.වි.පෙ සහාය ඇතිව කොළඹට පැමිණි රථ පෙළපාලිය වහා සංවිධානය කළහ. එය ඔවුන්ගේ බෙදීම ප‍්‍රසිද්ධියට පත් කෙරුවකි. ඒ බෙදුම අගමැතිතුමාගේ විසඳුම් යෝජනා සමග චෝදනා, ඇණ කොටා ගැනීම්, මඩ ගසා ගැනීම් සමග දෙපැත්තකට ගමන් අරඹා ඇත. ඔවුන්ට තිබුණේ ‘‘අපි තමයි සටන දිනුවෙ’’ යැයි කීමේ තරගයක් මිස සටන දිනීම සඳහා නිවැරදි උපාය උපාමාර්ග සඳහා රටේ වර්ධනය වන ආර්ථික-දේශපාලන තත්ත්වයන් හා ආණ්ඩුව යන ගමන ගැන පැහැදිලි තක්සේරුවක් හා ඉදිරි දැක්මක් නොවේ.

කිසිදු ගණන් හැදීමකින් තොරව සටන් කිරීමේ ඔවුන්ගේ අසාර්ථකත්වය ගැන ඉකුත් ජූලි මස 27 වන දින මා සමාජ මාධ්‍ය ජාලයන්හි තැබූ සටහනක් අවසන් කෙරුවේ, පසුගිය අවුරුදු 24 පුරා ගුරු ඉල්ලීම් සඳහා කිසිදු සාධාරණ විසඳුමක් කේවල් කර ලබා ගැනීමට තරම් හැකියාවක් ගුරු සංගම් නායකයින්ට නොතිබුණු බවත් එය යළිත් ඔප්පු වන්නේ ‘‘……යෝධ ආර්ථික අර්බූදයකට කර ගසා සිටින මේ ආණ්ඩුවෙන් ගෙඩි පිටින් සියලූ ඉල්ලීම් ලබ ගත හැකි යැයි විශ්වාසය මත මාර්ග ගත ඉගැන්වීම් වර්ජනය දිගු ඇදීමෙනි. මේ ආණ්ඩුවෙන් ලැබිය හැකි උපරිම පිළිතුර වන්නේ ලබන අය වැය යෝජනා මගින් කොටස් වශයෙන් විසඳුම් ලබා දීමේ පොරොන්දුවක් පමණි. එහෙත් එය ක‍්‍රියාවට නැගීම ගැන කිසිදු සහතිකයක් නැති බව ගුරුවරුන් තේරුම් ගත යුතුව ඇත’’ යැයි මාස 03 ට කලින් ලියා තැබීමෙනි.

මේ ආකාරයේ ඛේදවාචකයකට ගුරුවරුන් හසු වූයේ කිසිවකු සැබෑ වර්ජනයක හවුල්කරුවන් නොවුනු, සහ නිවසේ සිට ඉල්ලීම් දිනා ගැනීමට ගුරු සංගම් නායකයින් දුන් පොරොන්දු නිසාවෙනි. සැබෑව නම් ප‍්‍රායෝගිකව ‘‘වැඩ වර්ජනය’’ කළ හැක්කේ සේවාවන් හෝ නිෂ්පාදනයක් පවත්වා ගෙන යන්නේ නම් පමණි. පාසල් වසා තිබියදී ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වැඩ වර්ජනය කළ නොහැක. ඔවුන් ‘‘ගුරු සටන’’ යැයි කියුවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හා ප‍්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය විසින් පුම්බා තැබූ ගුරුවරුන් සියයට 50 ක් වත් දැනුවත්ව හවුල් නොවුනු, මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයකට ය.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පාසල් වසා දමන්නට ආණ්ඩුව පියවර ගත්තද අධ්‍යාපනය සැලසුම් කිරීමේ කිසිදු සැළැස්මක් නොවූයෙන් විශේෂයෙන් නාගරික මැදපංතිකයින් වසර ගණනාවක සිට කතා කළ මාර්ග ගත ඉගැන්වීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොකු ලොක්කන්ද මාර්ග ගත ඉගැන්වීම් පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිව එය ලංකාවේ සියලූ පාසල් සඳහා යෝජනා කෙරුවකි.

නැවතත් මගේ කෙරුවාවක් ගැන කිවහොත් පසුගිය වසරේ දෙසැම්බර 13 වන දින ‘‘අධ්‍යාපන ලොක්කන් නොදන්නා ‘ඔන්ලයින් අධ්‍යාපනය’ යැයි මා මගේ බ්ලොග් අඩවියට ලියු ලිපියක සඳහන්කර තැබුවේ ‘‘ප‍්‍රශ්නය පටන් ගන්නේ මේ රටේ තවමත් පිළිගත හැකි මට්ටමේ අන්තර්ජාල සංස්කෘතියක් (IT Culture ) නගරයේද නොමැතිවීමෙහිය. ටැබ් හෝ ‘සුපිරි දුරකතන’ (Smart phones)  අත තිබුණාට අති බහුතරයක් ඒවා යොදා ගන්නේ කතා බහ කිරීමට අමතරව ‘සෙල්ෆි’ ගැසීමටත් කෙටි පණිවුඩ හුවමාරුවටත් ෆෙස්බුක්හි හැමකටම ‘ලයික්’ කරන්නට හා ‘ෂෙයා’ කරන්නටත් පමණි’’ යනුවෙන් ය.

එවැනි පසුබිමක, මාර්ග ගත ඉගැන්වීම් සඳහා හවුල් වූ ගුරු සංඛ්‍යාවද සියයට 50 ට වඩා අඩු යැයි මගේ අනුමානය වන්නේය. සහභාගී වූ පාසල් ළමුන් සංඛ්‍යාව සියයට 40 ටත් අඩු යැයි දැන් පොදු මතය වන්නේය. ඉගැන්වීමට හවුල් වූ ගුරුවරුන්ගෙන් වර්ජනයට සහභාගි වූ ගුරු පිරිස ඊටත් වඩා අඩු විය යුතුය. මාසයක් පමණ කල් ගත වන විට බස්නාහිර ඇතුළු බොහෝ ප‍්‍රධාන නගරවල ගුරු පිරිස් මාර්ග ගත ‘‘ටියුෂන් පංති’’ ආරම්භ කර තිබුණි. එවැනි අසාර්ථක ඉගැන්වීමක් වර්ජනය කිරීමට ගන්නා තීන්දුවකින් සටන් දිනිය හැකි යැයි ගුරු සංගම් නායකයින් ගණන් බලා තිබීමම ඛේදවාචකයකි.

එබැවින් මේ මොහොතේ තවත් අනාවැකියක් කිව යුතුය. ඉදිරි සතියේද විශේෂයෙන් කොළඹ ජනපි‍්‍රය පාසල්වල ළමුන්ගේ පැමිණීම සියයට 50 ක් හෝ නොවනු ඇත. අවුරුදු 30 – 40 ක සිට නිවසේ සිට පාසලට ඇති දුර ප‍්‍රමාණය නීතිමය වශයෙන් කි.මී. 02 සිට මීටර 500 ක පමණ දුරකට අඩු විය යුතුව තිබිය දී කි.මී 50 ක 100 ක පමණ දුර සිට ආණ්ඩුවේම නිර්ණායක මත කි‍්‍රයාත්මක වන පාසල් වෑන් රථ හා බස් මගින් ප‍්‍රවාහනය කෙරෙන ළමුන්ට පළාත් අතර සංචරණ සීමා අමතක කිරීමකින් තොරව පාසල් පැමිණිය නොහැක. එය දැනටමත් බොහෝ දෙනෙකුට අමතක වූවකි.

කෝවිඩ්-19 වසංගත පාලනය හමුවේ අදියර කිහිපයකින් විවෘත කෙරෙන පාසල් සහ දෙමාපියනට මුහුණ දෙන්නට සිදුවන ප‍්‍රායෝගික දුෂ්කරතා සමග, ගුරු සංගම් නායකයින් කතා කරන දිගටම සටන් ගෙන යාම තව සතියකින් දෙකකින් සියල්ලන්ට අමතක වන මාතෘකාවක් වනු ඇත. මාධ්‍යයටද එය එසේම වනු ඇත. ඉතිරි වනු ඇත්තේ කාරණා දෙකකි. පාසල් අධ්‍යාපනය පැත්තෙන් වසරකට වැඩි කාලයක් අත හැරුණු විෂය මාලා උගන්වා සම්පූර්ණ කිරීමේ බරපතල ගැටළුවක් ඇත. එයට ආණ්ඩුව පැත්තෙන් අමතර පංති පැවැත්වීම වැනි සිල්ලර උත්තර දෙනු ඇත. ගුරුවරුන්ගේ පැත්තෙන් එවැනි බරපතල ගැටළු සාකච්ඡාකර විසඳා ගැනීමට හැකි පරිනත ගුරු නායකත්වයක් නොමැති වීමේ ගැටළුව ඉතිරිව ඇත. දිගටම කෙරෙන සටනක් නොවුනත් අධ්‍යාපනයේ මේ අර්බූද ලබන සතියේ සිට අප සාකච්ඡාවට ගත යුතුව ඇතැයි අවසන් වශයෙන් කිව යුතුය.  

කුසල් පෙරේරා (අරුණ)

You might like

About the Author: Editor