මාෆියාවෙන් ගලවාගෙන සහල මිල පාලනය කරන හැටි – මහාචාර්ය සැම්සන් ඒකනායක

සහල් සඳහා වූ පාලන මිල අහෝසි කිරීමට රජය ගත් තීරණය පරාජයක් ලෙස, පාරිභෝගිකයන් පාවා දීමක් ලෙස, වී මෝල් හිමියන්ට දණ නැමීමක් ලෙස, අනුවණ ක‍්‍රියාවක් ලෙස, යථාර්ථය අවබෝධ කරගැනීමක් ලෙස, නුවණක්කාර තීරණයක් ලෙස, යනාදී වශයෙන් හඳුන්වාදීමට නොයෙකුත් පාර්ශ්වයන් පසුගිය දිනවල උත්සාහ ගෙන ඇති බව පෙනේ. ඉහත සඳහන් කළ සමහර හඳුන්වාදීම් පූර්ව නිශ්චයන් මත, සමහරක් පක්ෂග‍්‍රාහී ලෙස සහ තවත් සමහරක් නොදැනුවත්කම නිසාද කර ඇති බැව් පෙනේ. මෙම ලිපියේ අරමුණ වන්නේ රජය ගත් තීරණය ස්වාධීන ඇසකින් විශ්ලේෂණය කිරීමයි.

රට සහ රජය පත්ව සිටි තත්ත්වය

මෙම ගැටලූව ආරම්භයේදී රජය ගනු ලැබූ අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණයන් නිසා පාරිභෝගිකයන්ද, ගොවීන්ද, ආර්ථිකය මෙන්ම රජයද ඉතා අසීරු තත්ත්වයකට පත්වූ බව කවුරුත් හොඳින් දන්නා කරුණකි. පාරිභෝගිකයන් ගත්විට ඔවුන්ට සහල් මිලදී ගැනීමේදී පාලන මිලටත් වඩා ඉහළ මිලක් ගෙවීමට සිදුවූ අතර එම මිල, මිල පාලනය හඳුන්වා දීමට පෙර පැවති මිලටත් වඩා ඉහළ මිලක් විය. විශේෂයෙන් පොහොර නොමැතිකම හේතුවෙන් අඩු අස්වැන්නක් ලබා සිටි ගොවීන්ට රජය විසින් නියම කළ උපරිම මිලට වී විකුණා තම නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට ප‍්‍රමාණවත් ආදායමක් ලබා ගැනීමට නොහැකි විය. එමෙන්ම, ඔවුන්ට තිබෙන වී අස්වැන්නවත් විකුණා ගැනීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් ඉදිරි කන්නවල වී වගාව අතහැරීමට පවා සිදුවෙන තත්ත්වයකට පත්ව තිබුණි. මෝල් හිමියන් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීමට කැමති වුවත් සහල්වලට පනවා තිබූ උපරිම මිල නිසා අලාභ ලැබීමකින් තොරව එසේ කිරීමට ඔවුන්ට නොහැකි විය. සමහර මෝල් හිමියන් අධික ලාභ ලැබීමේ අරමුණෙන් තමන් සතු සහල් තොග සැඟවීමටද යුහුසුළු විය. මෝල් හිමියන්ට තම ඇඹරුම් යන්ත‍්‍රවල සම්පූර්ණ ධාරිතාව භාවිත කිරීමටද නොහැකි විය. සලාක ක‍්‍රමයට සහල් බෙදා හැරීමේ යුගයක් කරා යන ලකුණු ද පෙනෙන්නට තිබුණි. ආහාර සුරක්ෂිතතාව පිණිස අධික පිරිවැයක් දරා සහල් ආනයනය කිරීම සඳහා රජය සතු ඉතාමත් හිඟ විදේශ විනිමය යෙදවීමටද තීරණය විය. රජයද තම ජනප‍්‍රියත්වය සහ විශ්වාසනීයත්වය බිඳ වැටීමෙන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

සහල් පාලන මිල ඉවත් කිරීමෙන් ලැබෙන වාසි සහ අවාසි

න්‍යායාත්මක වශයෙන් බලන කල, වෙළඳපොළේ ඉල්ලූම සැපයුම මත සහල්වලට තරගකාරී මිලක් තීරණය වීමට දැන් අවකාශයක් ලැබෙනු ඇත. වෙළෙඳපොළ සැබවින්ම තරගකාරීනම් මෙලෙස නියාමනය වන මිල හොඳ සමතුලිත මිලකි. එහිදී පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් යන දෙපාර්ශ්වයම තුලනයකට (සෑහීමකට) පත්වනු ඇත. ඉහත ඡේදයේ සඳහන් කළ සියලූ අවාසි සහ අනර්ථයන් මගහැරෙනු ඇත. මෙම තත්ත්වය ගොවියන්ටත්, මෝල් හිමියන්ටත්, පාරිභෝගිකයන්ටත්, රජයටත්, රටටත් වඩා හොඳ තත්ත්වයක් නොවේද?

පාලන මිල ඉවත් කිරීමෙන් අත් වන අවාසි ලෙස ඔබට කරුණු දෙකක් පෙනී යනු ඇත. ඉන් පළමුවැන්න නම් පාරිභෝගිකයන්ට පැවති පාලන මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවීමය. සත්‍ය වශයෙන්ම ඔබට පාලන මිලට අවශ්‍ය ප‍්‍රමාණයට සහල් ලැබුනේද? ලැබුණු ප‍්‍රමාණය ලැබුනෙත් සතොස පෝලිමේ ඉඳ නොවේද? අමතර අවශ්‍යතාව මිලදී ගැනීමට සිදු වූයේ කළු කඩයෙන්ම නොවේද? කළුකඩයට ගෙවූ මිල, පාලන මිල දැමීමට පෙර තිබූ මිලටත් වඩා වැඩි මිලක් නොවේද? ඔබම සිතා බලන්න. මෙවැනි තත්ත්වයක් තුළ නව වෙළඳපොළ මිලට සහල් ලබාගත නොහැකි අඩු ආදායම් ලාභී ජනතාවට මුදල් ආධාරයක් ලබාදීම රජයේ යුතුකමය. රජයට සත්‍ය ලෙස මෙසේ කිරීමට අවශ්‍ය නම් භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට එය ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රමවේදයක් මාගේ පෙර ලිපිවලින් මා යෝජනා කර ඇත. (^https($$www.timesonline. lk$features$FEATURE-The-Rice-Debacle$5-1134932 https($$www’ft’lk$columns$A-solution-to-the-rice-debacle$4-723496&

දෙවෙනි අවාසිය ලෙස ඔබ දකිනු ඇත්තේ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරී ග‍්‍රහණයට හසුවීමෙන් ඔබට සහල්වලට අසාධාරණ මිලක් ගෙවීමට සිදුවිය හැකිය යන්නයි. ඒකාධිකාරී (එක් මෝල් හිමියෙක්) හෝ කතිපයාධිකාරී (ලංකාවේ මෙන් මෝල් හිමියන් කිහිපදෙනෙක්) සහල් නිෂ්පාදනය හා සැපයුම පාලනය කරනවිට මෙය සිදුවිය හැක්කකි. ලංකාවේද එය සිදුවන බව පැහැදිලිවම පෙනේ. මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා රජයට (මිල පාලනයකින් තොරව) ගත හැකි ක‍්‍රියාමාර්ග කිහිපයක් ඇත. ඒවායින් ප‍්‍රධාන ඒවා වනුයේ:

1. සහල් මෝල් තව තවත් ලියාපදිංචි කිරීම සහ ඒවා ස්ථාපිත කිරීමට පහසුකම් සපයා දීම.

2. සහල් මෝල් හිමියන් කිහිපදෙනෙක් හෝ සියලූ දෙනාම එකතුවී සම්මුතියකින් සැපයුම සහ මිල නියම කිරීම (collusion” price-fixing) නීතියෙන් තහනම් කිරීම. මෙයට සරිලන නීති ලංකාවේ දැනට නොමැතිනම් අලූත් නීති වහාම පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගැනීම. වෙළෙඳපළ න්‍යායට පටහැනිව මෙසේ ප‍්‍රධාන මෝල් හිමියන් විසින් මිල තීරණය කිරීම නීති විරෝධී කටයුත්තක් වනු ඇත. නීතියට අනුව, මෝල් හිමියන් තරගකාරී ලෙස, එකිනෙකාගේ අනුමැතියක් නොමැතිව (without any collusion) වෙළඳපොලේ මිල නියම වීමට ඉඩ හැරිය යුතුය. උදාහරණයක් වශයෙන් ඔස්ටේ‍්‍රලියාවේ ”තරග කාරිත්වය සහ පාරිභෝගිකයා” නමැති පනතේ (Competition and Consumer Act) 45 වෙනි ඡේදයට අනුව, වෙළෙඳපොළේ තරගකාරීත්වය අඩු කෙරෙන ගිවිසුම්, අවබෝධතා, ක‍්‍රියාකාරකම් නීති විරෝධී වේ. (බලන්න ය www.accc.gov.au$business$anti-competitive-behaviour) මෙම පනත යටතේ ව්‍යාපාරිකයන්ට විරුද්ධව රජය විසින් සාර්ථකව නඩු පවරා ඇත. එම නඩු ගැන දැනගනීමට ” legal cases” යන යෙදුම යොදා ඉහත වෙබ් අඩවිය search කරන්න.

3. රටේ සහල් මිල ගොවියන් ආරක්ෂා කරන එහෙත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන මට්ටමක පවත්වා ගැනීමට සහාය දෙන අයුරින් අවශ්‍ය සහල් අවශ්‍ය වෙලාවට පිට රටින් ගෙන්වීමට  ඕනෑම කෙනෙකුට, රටට අවශ්‍ය මුළු ප‍්‍රමාණය තුළ, (quota) බලපත‍්‍ර නිකුත් කිරීම. මේ සඳහා ඉදිරි කන්නයේ/වර්ෂයේ අස්වැන්න අනුමාන කිරීමත් (estimation) දූෂණ වලින් තොරව බලපත‍්‍ර නිකුත් කිරීමත් අත්‍යවශ්‍ය වේ. (ජපානයේ දැනට අනුගමනය කරන ක‍්‍රමය උදාහරණයක් ලෙස ගත හැකිය). රට තුළ ප‍්‍රමාණවත් පරිදි සහල් නිෂ්පාදනය සහ සැපයුම ඇත්නම්, එම කන්නයේදී/වර්ෂයේදී මෙවැනි බලපත‍්‍ර නිකුත් කිරීම අවශ්‍ය නොවේ. මෙය නිලධාරීන් විසින් ක‍්‍රමානුකූලව කළ යුතු කර්තව්‍යයකි.

4. වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය දූෂණ වලින් තොරව, කාර්යක්ෂමව සිදුකිරීම. වී සඳහා අවම මිලක් ඇත්තේ ගොවියන් ආරක්ෂා කිරීමටය. ඊට වඩා වැඩි මිලකට මෝල් හිමියන් වී මිලදී ගන්නේ නම් එය හොඳ තත්ත්වයකි. පාලන මිලක් දැමීම වෙනුවට, මෝල් හිමියන් විසින් සහල් මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීම නැවැත්වීමට ඉහත 1, 2, 3 ක‍්‍රියාමාර්ගයන් වැදගත් වේ.

ලංකාවේ බොහෝ දෙනා සහල් මිල පාලනයත්, කිරිපිටි, පරිප්පු, ගැස්, මිල පාලනයත් එක සමාන දෙයක් ලෙස සලකන බව පෙනේ. එහෙත් ඒවායේ ප‍්‍රතිඵල එක සමාන නොවේ. ලංකාව කිරිපිටි, පරිප්පු, ගෑස් සම්පූර්ණයෙන්ම වාගේ ආනයනය කරනු ලැබේ. ඒ නිසා ඒවා නිපදවීමේ ආදායම ගලා යන්නේ පිටරට වලටය. සහල් නිපදවීමේ ආදායම හිමි වන්නේ රටේම ගොවියන්ටය. ඒ නිසා සහල් සඳහා පාලන මිල ඉවත්කිරීම තවත් අතකින් බොහෝ සේ සාධාරණය. රටේ ආර්ථිකයට ඉතාමත්ම හිතකරය.

ඉහත කරුණු සැලකිල්ලට ගත්විට, රජය විසින් සහල් සඳහා පාලන මිල ඉවත්කිරීම ඥානාන්විත තීරණයක් බවට සනාථ කළ හැකිය. රජය අනුගමනය කළ දරදඬු ප‍්‍රතිපත්තියෙන් ඉවත්වීම සතුටට කරුණකි. එහෙත් මෙය පළමු පියවර පමණි. මීළඟ පියවර ලෙස සහල් මෝල් හිමියන් කිහිපදෙනෙක් හෝ සියලූ දෙනාම එකතුවී මිල නියම කිරීම (collusion” price-fixing) නීතියෙන් තහනම් කිරීමට හැකිවන නීති ලංකාවේ දැනට නැතිනම් අලූත් නීති වහාම පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ගැනීම කළ යුතුය. මේ සඳහා දියුණු, විවෘත වෙළෙඳපළ ක‍්‍රමය ක‍්‍රියාත්මක කෙරෙන, ප‍්‍රජාතාන්ත‍්‍රික රටවල නීති රීති අධ්‍යයනය කළ යුතුය. මෙයට අමතරව ඉහතින් සඳහන් කළ ක‍්‍රියාමාර්ග 1, 3 සහ 4 ද සත්භාවයෙන් යුතුව ක‍්‍රියාවට නැඟිය යුතුය. දැනට ලංකාවේ ඇති වතාවරණය අනුව මෙම යෝජනා ක‍්‍රියාත්මක කළ නොහැකි යැයි යමෙකුට සිතෙනු ඇත. සහල් ප‍්‍රශ්නයට සරල විසඳුම් නැත. එමෙන්ම එය අර්ධ විසඳුම් දීමෙන්ද වැඩි ප‍්‍රයෝජනයක් නැත. මන්ද, අර්ධ විසඳුම් තාවකාලික වීමත්, රජයට එවැනි අර්ධ වීසඳුම් පවත්වාගෙන යෑම සඳහා නිරතුරුවම මැදිහත්වීමටත් සිදුවන බැවිණි.

(මහාචාර්ය සැම්සන් ඒකනායක ඔස්ටේ‍්‍රලියාවේ ඞීකින් විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා මූල්‍ය සැලසුම්කරණ අංශයේ හිටපු අංශ ප‍්‍රධානියෙකි. ඔහු වසර 40 ක් පුරා උසස් අධ්‍යාපන, වාණිජ හා කාර්මික ක්ෂේත‍්‍රවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයක්ම හොබවා ඇත).

You might like

About the Author: Editor