“වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පංචවිධ ක්‍රියාමාර්ගයකට සැවොම එක්වන්න”

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් විෂයභාර අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නිවේදනය

කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමඟ ලොව පුරා කැලඹීමක් මතුව ඇති යුගයක, වසංගත රෝගය පැතිරීමේදී වැඩිහිටියන් මුහුණ දෙන ඉහළ අවදානම් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු මොහොතක ජාත්‍යන්තර වැඩිහිටි දිනය යෙදී තිබීම සුවිශේෂී කොට සැලකිය යුතුය.

ලොව පුරා ජනී ජනයා කෝවිඩ් 19 වසංගතයෙන් පීඩා විදින අතර එහි වැඩිම බලපෑම යොමුව ඇත්තේ අපගේ වැඩිහිටි පරපුරට බව නොරහසකි. කෝවිඩ් වසංගතයෙන් මියයන අය අතර වැඩිම පිරිස වැඩිහිටියන්ය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 90%කට වඩා වැඩි ප්‍රතිශතයකි. මේ තාක් කර ඇති පර්යේෂණ අනුව පැහැදිලි වී ඇත්තේ කොවිඩ් -19 රෝගය අසාදනය වීමත්, එමඟින් මරණයට පත්වීමට වැඩිහිටියෙකුට ඇති අවධානම තරුණයෙකුට ඇති අවධානමට වඩා තුන් ගුණයකින් වැඩි බවයි. එබැවින් කෝවිඩ් වසංගතය හමුවේ වැඩිහිටි ජනතාව ඉන් බේරා ගැනීම මේ මොහොතේ අප මුහුණ දෙන අභියෝගයකි. ඒ සදහා රජය විසින් එන්නත්කරණය කඩිනම් කර ඇති අතර 60ට වැඩි ජනගහණය එන්නත්කරණයට ලක්කිරීම වේගවත් කර ඇත. මේවන විට ලංකාවේ වැඩිහිටි නිවාස 349ක සිටින වැඩිහිටියන් 8806ක් එන්නත්කරණයට ලක්කිරීමද සුවිශේෂී තත්වයකි.

එසේම, වැඩිහිටි ප්‍රජාවගේ නිදහස, රැකවරණය, ආත්මාභිමානය ආරක්ෂා කිරීම අප සතු යුතුකමකි. ඔවුන්ගේ  දිවිය තුළ කළ කැපකිරීම් කිසිවිටෙක අපට ගණනය කළ නොහැකි සේම, ඔවුන්ගේ සේවය ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා පාරිසරික ආදී වශයෙන් රටක් ලෙස ලබා ඇති යම් දියුණුවකට හේතුවූ බව අවිවාදිතය. ඒ පිළිබදව කෘතවේදීව සිහිපත් කිරීම ඔවුනට දැක්විය හැකි උසස්ම ගෞරවයයි.

ලෝකය පුරා ජනගහනය වයස්ගතවීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඊට හේතුවී ඇත්තේ සාඵල්‍යතාව අඩුවීම සහ ආයු අපේක්ෂාව ඉහළයාමයි. අප රට තුළද වැඩිහිටි ජනගහනය ඉහළ යමින් තිබේ. 2012 ජනසංගණනයට අනුව ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි එනම් වයස්ගත ජනගහනය ප්‍රතිශතයක් ලෙස ගත්කළ 12.4%කි. එමෙන්ම 2050 වන විට එය මුළු ජනගහනයෙන් වැඩිහිටි ජනගහනය 30%ක් බවට පත්වනු ඇති බවට පුරෝකතනය කර ඇත. 

මෙරට ආයූ අපේක්ෂාව ඉහළ මටටමක පැවතිය ද රටේ වැඩි වෙමින් පවතින වැඩිහිටි ජනගහනයට සෞඛ්‍ය ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුව තිබේ. විශේෂයෙන් බෝ නොවන රෝගයන්ට වැඩිහිටියන් ගොදුරුවීම බහුලව දැකිය හැකිය. හුදකලා බව, ගෞරවනීය තත්වයක් නොමැති වීම, ස්වාධීනව ජීවත්වීමට අපහසුවීම, මූල්‍යමය අස්ථාවර බව, මෙන්ම ප්‍රමාණවත් සමාජ සුරක්ෂිතතාවයක් නොමැති වීම වැනි සමාජමය ගැටළු ද වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතුවී ඇත. එම සෞඛ්‍ය ගැටලූවලට පිළිතුරු ලැබෙන සේ ප්‍රතිපත්තිමය තීරණ කිහිපයකට එලැඹීම කාලෝචිත වී ඇති බැවින් රටක් ලෙස, සමාජයක් ලෙස, පුරවැසියෙකු ලෙස මෙන්ම වැඩිහිටියෙකුගේ ආදරණීයයෙකු ලෙස ඔවුන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පංචවිධ ක්‍රියාවලියකට එක්වන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. එනම්,

01.       ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

02.       වැඩිහිටි නීතිය සවිබල ගැන්වීම

03.       ඩිජිටල් ලෝකය තුළ වැඩිහිටියන්ට සයිබර් ආරක්ෂාව සහ ආචාර ධර්ම සුරක්ෂිත කිරීම

04.       වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාජයක් ලෙස වගවීම

05.       වැඩිහිටියන් පවුල තුළ සංරක්ෂණය වන වැඩපිළිවෙලකට දිරිදීම

ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජාතික අවශ්‍යතාවයකි. සියලුම අංශ ආවරණය කෙරෙන සංයුක්ත වැඩිහිටි සෞඛ්‍ය සේවාවක් සැපයීමට රජයේ කැපවීම ඉන් පිළිඹිබු කරයි. එය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කෙරෙහිද සාධනීය ලෙස බලපානු ඇත.

වැඩිහිටිභාවයට පත්වන විට නොයෙකුත් හිංසාවන්ට ලක්වීම, අනාරක්ෂිතවීම, වෙනස්කොට සැලකීම ආදියට එරෙහි නීතිමය ආරක්ෂාවක් වැඩිහිටියන්ට අවශ්‍යව ඇත. 2000 අංක 9 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබද පනත සහ 2011 අංක 5 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබදව සංශෝධිත පනත මගින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ වැඩිහිටි සභාව ස්ථාපිත කොට සවිබල ගන්වා ඇති අතර එමගින් වැඩිහිටියන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව ඇතත් ඊට එහා ගිය නීතිමය ප්‍රතිපාදන සවිබල ගැන්වීම කාලෝචිත අවශ්‍යතාවයකි.

එක්සත් ජාතීන්ගේ මෙවර වැඩිහිටි දිනයේ තේමාව වන්නේ Digital Equity for All Ages යන්නයි. වේගවත් ඩිජිටල් නවෝත්පාදනයන්ගෙන් සමන්විත හතරවන කාර්මික විප්ලවය තුළ ජීවත්වන අපට වැඩිහිටියන්ගේ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් කල යුතු කාර්යයක් තිබේ. සයිබර් අපරාධ සහ වැරදි තොරතුරු හේතුවෙන් වැඩිහිටියන්ගේ මානව හිමිකම්, පෞද්ගලිකත්‍වය සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ. ඩිජිටල් තාක්‍ෂණය අනුගමනය කිරීමේ වේගය ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටමින් ප්‍රතිපත්ති හා පාලනය ඉක්මවා ගොස් ඇත. ඒවායේ අවදානම් අවම කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් මෙම අභියෝගයන්ට මුහුණ දීමට උත්සාහ කල යුතුය.

වැඩිහිටි ප්‍රජාවගේ අවශ්‍යතා හා ඔවුනගේ අයිතිවාසිකම් සපුරාලන සමාජයක් නිර්මාණය කරලීම මේ මොහොතේ ඔබත් අපත් හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බව මාගේ විශ්වාසයයි. ඒ සදහා සමාජයක් ලෙස එක්ව වගවීම එම අරමුණ සාක්ෂාත් කරගැනීමට ඇති හොදම විසදුම ලෙස හදුනාගත හැකිය.

වැඩිහිටියන් යනු අප හමුවේ ඇති බාධකයක් නොවේ. ඔවුන් අප සතු උරුමයකි. සංකීර්ණ සමාජයක මානව සබදතා නොනැසී පවත්වා ගැනීමට අපහසු වුවද එතුලින් මතුවන සමාජ ප්‍රශ්නයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් අන්දමේ ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීම ජාතික මට්ටමේ අවශ්‍යතාවයකි. සැබවින්ම විය යුත්තේ නිරෝගී වැඩිහිටියන් පිරිසක් පවුල තුළම වැඩෙන පරිසරයක් නිර්මාණය කිරීමයි.

ලෝක වසංගත තත්වය හමුවේ අභියෝගාත්මක කාලයක වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුව ඇති ඛේදනීය තත්වය දෙස බලා කම්පාවීම හෝ සුසුම්ලෑම පසෙක තබා වැඩිහිටියන්ගේ සුබසාධනය, ආරක්ෂාව, අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන පොදු වැඩපිළීවෙලකට ඒකරාශීවීම යුගයේ අවශ්‍යතාවක් බව ලෝක වැඩිහිටි දිනයේදී සිහිපත් කළ යුතුය.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ (පා.ම) – ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

You might like

About the Author: Editor