බදු සමාව ක්‍රියාත්මක කිරීමේදී එය දැඩි අධීක්ෂණයකට භාජනය කරන්නැයි TISL ආයතනය නිර්දේශ කරයි

  • මූදල්  විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ පියවරයන් ඵලදායී ලෙස භාවිතය.
  • දේශීය බලයලත් ආයතන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය තහවුරු කිරීම.
  • නීතිවිරෝධී මුදල් ප්‍රවාහයන් හඳුනාගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාවය ලබා ගැනීම. 

හෙළි නොකරන ලද අදායම් සහ වත්කම් පිළිබඳ ස්වේච්ඡාවෙන් හෙළි කරන පුද්ගලයින් සඳහා බදු සමාවක් පැනවීම අරමුණු කර ගනිමින් 2021 සැප්තැම්බර් මස 7 වන දින සම්මත කර ගනු ලැබූ නව මුදල් පනත, TISL ආයතනයේ දැඩි අවධානයට යොමුව ඇත.

TISL ආයතනය ඉස්මතු කර සිටින්නේ මෙම බදු සමා පටිපාටිය  මුදල් විශුද්ධිකරණ අරමුණු සඳහා අවභාවිතා කිරීමේ හැකියාවක් පවතින බවත්, අදාළ නියාමන අධිකාරීන්  එවැනි ප්‍රයත්නයන් වැළක්වීමට නිසි අතිරේක පියවරයන් ගත යුතු බවත්ය.

2012 වර්ශයේදී, මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) ස්වේච්ඡා බදු අනුකූලතා වැඩසටහන් අතරතුරදී මුදල් විශුද්ධිකරණය වැළක්වීම (AML) සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළක්වීම කළමනාකරණය කිරීම සඳහා පහත සඳහන් යහ භාවිතයන් 3 හඳුනා ගන්නා ලදී. මෙම නීතිය  ක්‍රියාවට නැංවීමේදී, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ අවදානම් වලට මුහුණ දීමට නම් මෙම යහ භාවිතයන් සමඟින් අනුකූලභාවය සහතික වීම ඉතාමත් වැදගත් වන බව TISL ආයතනයේ අදහසයි.

මුදල්  විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමේ පියවරයන් ඵලදායී ලෙස භාවිතය – මෙම පනත මගින් හෙළි නොකළ බදු වටිනාකමට සමාන මුදලක්, සමාගමක් විසින් නිකුත් කරන ලද කොටස් වල, මහ බැංකුව මගින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් වල,ශ්‍රී ලංකාවේ සමාගමක් මගින් නිකුත් කරනු ලැබූ ණය සුරැකුම්පත් සහ චංචල හෝ නිශ්චලදේපළ වල ආයෝජනය කිරීමට අවස්ථාවක් ලැබේ. එබැවින්,ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ  අනෙකුත් බැඳී ඇති ආයතන, එසේ ගලා එන  වත්කම් වල මූලාරම්භය ප්‍රශ්න කිරීම, ව්‍යාපාර හා සමාගම් හි සැබෑ හිමිකරුවන්  හඳුනාගැනීම සහ පාරිභෝගිකයා හඳුනාගැනීම යන කරුණු වලට දැඩි අවධානයක් යොමු කරමින් අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදී මුල්‍යකරණය වැළැක්වීම සඳහා පවතින නීති සහ මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වීම සහතික කළ යුතුයි. එවැනි ක්‍රියා පටිපාටි පිළිපැදීමෙන් නීත්‍යානුකූල මුදල් ප්‍රභවයන් ඇති පුද්ගලයින්ට බාධාවකින් තොරව එය මෙරටට ගෙන ඒමට හැකි වන අතර එමගින් නීති විරෝධී ආකාරයෙන් උපයන මුදල් රටට ඇතුළුවීම වඩ වඩාත් දුෂ්කර කරයි.

දේශීය වශයෙන් සම්බන්ධීකරණය සහ සහයෝගීතාවය – ඕනෑම මුදල්

විශුද්ධිකරණ  / ත්‍රස්තවාදී මූල්‍යකරණ අපයෝජනයක් හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා අදාළ සියළුම දේශීය  බලයලත් ආයතනයන් සම්බන්ධීකරණය කිරීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය බුද්ධි ඒකකය විසින් සහතික විය යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය බුද්ධි ඒකකය, මෙම ආයෝජන තුළින් ඇති විය හැකි මුදල් විශුද්ධිකරණ  අවදානම පිළිබඳව බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන දැනුවත්කළ යුතුවේ. පනතේ ඇති රහස්‍යභාවය පිළිබඳ වගන්තිය එවැනි අන්තර් ආයතන සහයෝගීතාවයන්ට බාධාවක් නොවන බව සහතික කිරීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නිසි පරිශ්‍රමයන් දැරිය යුතුයි. 

අන්තර්ජාතික සහයෝගීතාවය – බලධාරී ආයතන විසින්  ජාත්‍යන්තර සහයෝගිතාවය ඵලදායී ලෙස  තහවුරු කිරීම සහ කළු සල්ලි මෙරටට ගෙන එන බවට සැක කෙරෙන පුද්ගලයින් පිළිබඳව විමසිලිමත් වීමට බලධාරීන් සවිබල ගැන්වීම ඉතා වැදගත් වේ. FATF නිර්දේශ ඵලදායීව ක්‍රියාත්මක නොකරන රටවලින් පැමිණෙන  ආදායම් සහ වත්කම් හොඳින් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වේ. 

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නදීශානි පෙරේරා මහත්මිය නව නීතිය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. 

“රටේ වත්මන්  මූල්‍ය තත්ත්වය සහ රටට විදේශ මුදල් ගලා ඒම අවශ්‍ය බව අපිට වැටහෙනවා. එනමුත්, මෙවැනි පුළුල් පරාසයක බදු සමාවක් ලබා දීමෙන්, කළු සල්ලි රට තුළට ඇතුළු වීමට ඉඩ සැලසෙන අතර, ශ්‍රී  ලංකාව අවසානයේ අයථා ලෙස උපයාගත්  මුදල් සඳහා  තෝතැන්නක් බවට පත් විය හැකිය.”

ඉහත සඳහන් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් සහ එවැනි අවභාවිතයන් වළක්වා ගැනීමට ගන්නා ආරක්‍ෂිත පියවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන්, රටට හානිදායක විය හැකි පිරිස් මෙම බදු සමාව අවභාවිතා නොකරන බවට වගබලා ගන්නා මෙන් TISL ආයතනය නීති ක්‍රියාත්මක කරන සියලු ආයතනයන්ගෙන් සහ නියාමන අධිකාරීන්ගෙන් ඉල්ලා සිටී.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *