ඉස්කෝල වහලා, සූම් නෑ වට්ස් ඇප් නෑ: මේ අළුත් මගකට මුල පුරන්න අවස්ථාවයි

මේ වසරේ ජූලි 8 වැනිදා සිට ගුරුවරු වැඩ වර්ජනයකය. වසංගත කාලයේ එම වර්ජයන යනු ඔවුන් විසින් ලබා දුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් වැළකීමය. ගුරුවරුන් යම් හෝ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දෙන විට ඔවුනට සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ ශිෂ්‍ය ජනගහනයෙන් හරි අඩක් පමණි. දැන් ඔවුන් වැඩ වර්ජනයක යෙදී සිටින හෙයින්, සියළුම ළමුන්ගේ අධ්‍යාපනයට අගුලු‍ වැටී ඇත. පෞද්ගලික පාසැල් යන දරුවන් දුරස්ථ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යන අතර උපකාරක පන්ති ගුරුවරු වෙනදා මෙන්ම ක්‍රියාකාරී වන බව ඇත්ත. නමුත් ගුරු-ශිෂ්‍ය සම්බන්ධය පදනම් කරගත් රාජ්‍ය අධ්‍යාපනය මුලු‍මනින්ම ක්‍රියාවිරහිතව ඇත.

මේ දුෂ්කර සමයේ දෙමාපියන් කුමක් කළ යුතුද? ගුරුවරුන් කුමක් කළ යුතුද? අප සැම කුමක් කළ යුතුද?

මම නම් යෝජනා කරන්නේ අප විසින් මේ අන්තර්මානය හෝ ‘නොනගතය’ අධ්‍යාපනය ගැන අළුතින් හිතන්න අවස්ථාවක් කර ගත යුතු බවයි.

මේ රටේ අධ්‍යාපනය යනු අප සැවොම අකමැත්තෙන් වුවත් එකට ගමනේ යෙදෙන නැවක් වගෙයි. නමුත් නැවෙහි ළමයින් සිටින නිසා හා සෑම ළමයෙක්ටම පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය (G5SE), සාමාන්‍ය අධ්‍යාපන සාමාන්‍ය සහතිකය (අ.පො.ස සා/පෙළ) හෝ උසස් පෙළ සාමාන්‍ය අධ්‍යාපන උසස් සහතිකය (අ.පො.ස. උ/පෙළ) ලෙස යම් ගමනාන්තයක් තිබෙන නිසාත් ඔවුන්ට හෝ ඔවුන්ගේ දෙමපියාන්ට එම ගමනේ ප්‍රමාදයක් දැරීමට බැහැ. මොහොතක් නැවතී මේ යන්නේ කොහෙද විමසීමට අවස්ථාවක් නැහැ. එම නිසාම වසර ගණනාවක් පුරාවට මෙම ජාතික විභාගයන ක්‍රමක් ක්‍රමයෙන් ඩයිනෝසෝරයන් බවට පත් වී ඇතත්, ඒ ගැන ප්‍රශ්න කිරීමට දෙමව්පියන් ට හැකියාවක් නැහැ. උදාහරණ ලෙස, මගේ දරුවාට වයස අවුරුදු දහසයයි, අනිත් දරුවාට දොළහයි, මේ පද්ධතියේ සාර්ථක වෙන්න අවශ්‍ය ක්‍රම සහ විධි අපි හොයාගෙන තියෙනවා, අපට මේ ගමන යන්නේ දෙන්න. මේ සාමාන්‍ය දෙමාපියකුගේ සාධාරණ ආකල්පයයි.

නමුත් දැන් කොවිඩ් කුණාටුව විසින් නැව බලහත්කාරයෙන් ගොඩ බස්වා ඇති නිසා අපට මේ කසි කබල් යාත්‍රාව දිහා බලන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ අවස්ථාවේ ඊටත් වඩා ප්‍රයෝජනයි අපි මේ 2023 වර්ෂයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ලෙස නැව්ගත කිරීමට සූදානම්ය කියන අලු‍ත් නැවේ ආකෘතිය ගැන හොයා බැලීම.

මේ අළුත් නැවේ නැව් තටාකය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වන අතර එහි ප්‍රධාන ඉංජිනේරුවරයා වන්නේ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ය. ඇත්තෙන්ම 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපන පරිච්ඡේදයේ නිර්මාණ ශිල්පියාද ආචාර්ය උපාලි සේදර ය. එම පරිච්ඡේදය යම් යම් අතිශයෝක්ති ඉලක්ක සහගත වූවත් එය මමමෙතෙක් දුටු හොදම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවද මෙහිදී සඳහන් කල යුතුයි.

බැලූ බැල්මට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් හැදෙමින් පවතින අළුත් නැව ගැන බලාපොරොත්තු තිබිය හැක. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රකාශිත දැක්ම නම්:

අධ්‍යාපනයේ අවධානය ඉගෙන ගත යුතු (WHAT) යන්නෙන් ඉගෙන ගත යුතු ආකාරය (HOW) ලෙසට වෙනස් කිරීම; කටපාඩම් ඉගෙනීමට වඩා නිර්මාණාත්මක සහ ගැඹුරු ඉගෙනීමකට පහසුකම් සැලසීම; සිසුන් තුල ගවේශනාත්මක ආකල්ප හා ස්වයං අධ්‍යනයෙන් ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම; ජීවිතයෙන් ඉගෙනීම් අවස්ථා ලබා දීම හා ජීවිතය පුරා ඉගෙනීමට පුරුදු කිරීම; තරඟ විභාග වලින් නොව තක්සේරුව සහ ඇගයීම් වෙතට අවධානය යොමු කිරීම [MoE, 2020 නොවැම්බර්] ”

නමුත් මේ සංකල්ප ක්‍රියාත්මක වෙයිද? – 1992 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උත්සාහ

මෙවැනි නැවුම් අදහස් ඉදිරිපත් වුනු පළමු අවස්ථාව මෙය නොවේ. 1992 දී අලු‍තින් පිහිටුවන ලද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මංගල වාර්තාවෙන් ජාතික අරමුණු අටක් හා ඊට ලඟා වීමට අවශ්‍ය මූලික නිපුනතා පහක් – එනම් සන්නිවේදනය; පෞරුෂ සංවර්ධනය; ජීව විද්‍යාත්මක, භෞතික හා සමාජ පරිසරය හා සම්බන්ධ; ආචාර ධර්ම සහ ආගම; සහ විවේකය සහ ක්‍රීඩාව ට අදාළ නිපුනතා; සහ ඉගෙනීමට ඉගෙනීම- හඳුන්වා දුනි.

එදා සිට අද දක්වා මෙම ජාතික අරමුණු හා පොදු නිපුණතාවන් පුන පුනා පෙළපොත් සහ ගුරු මාර්ගෝපදේශක වල පල කරන මුත් නමුත් ඒවා හුදෙක් වචන වලට සීමා වී ඇත. 1997 ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ඇතුළත් වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය. එම ලේඛනයෙන් අදහස් කෙරෙණු ප්‍රවේශය මෙසේ සාරාංශ ගත කර ඇත.

අධ්‍යාපනයේ අරමුණු හා භාවිතාවන්හි විශාල වෙනසක අවශ්‍යතාවය සඳහා ප්‍රබල තර්ක ඉදිරිපත් වී ඇත. මෙම වෙනසේ ප්‍රධාන අංග නම්: (1) ස්වයං අවබෝධය; (2) ඉගෙනීමට ඉගෙනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ජීවිත කාලය පුරාම ඉගෙනීම; (3) මානුෂීය වටිනාකම් වර්ධනය කිරීම කිරීම සහ (4) සමබර මානසික හා ශාරීරික වර්‍ධනයක් උත්තේජනය කිරීම (Presidential Task Force, 1997)

1997 ඉදිරිපත් වුනු මේ වැදගත් යෝජනා මුල් බැස නොගත්තේ ඇයි? 1997 සහ 2021 අතර සිදු වූයේ කුමක්ද? 2023 දී වත් මෙවනි අදහස ක්‍රියාත්මක වෙයිද?

1997 ලේඛනයේ අධ්‍යාපනික අරමුණු සහ 2002 අරමුණු බොහෝ දුරට සමානය. වෙනසකට ඇත්තේ 2020 අනුවාදයේ විභාග ප්‍රතිසංස්කරණ අවධාරණය කර තිබීමය. ඇත්තෙන්ම එතෙක් මෙතෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක නොවීමට ප්‍රධාන බාධාව වූයේ ලංකාවේ ජාතික විභාග ක්‍රමයයි.

ජාතික විභාග ක්‍රමය ප්‍රගතියට බාධාවක්

පස්වන වසර ශියත්ව විභාගය, අපොස සා/පෙ හා අපොස උ/පෙ යන ජාතික විභාග තුනේ විකාශනය ලංකාවේ අධ්‍යාපනයේ පරිහානිය හා බැදී පවතින්නකි.

අධ්‍යාපනය දූපතක් නොවේ. ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් රටක සමාජ-සංස්කෘතික භූ දර්ශනයේ කොටසක් ම වේ. යමෙක් කැලෑව එළිපෙහෙළි කර තැනින් තැන වගා කළත්, එම වගාව දිවා රෑ රැකබලා නොගන්නේ නම් කැලෑව විසින් එළිපෙහෙළිය ආක්‍රමණය කරනු ඇත. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය වලටද සිදු වූයේ මෙයයි. ප්‍රභූ පාසල් ලෙස දිස්ත්‍රික්කයකට දෙක බැගින් තරාතිරමක් නැතිව දක්ෂ සිසුන්ට හොඳම අවස්ථා ලබා දීමේ අරමුණෙන් පිහිටුවන ලද මේ පාසැල් පද්ධතිය පිරිහීමට දේශපාලනඥයින්ගේ ඕනෑ එපා කම්වලට අනුව සරිලන සම්පත් නොමැති නාම පුවරුවලට සීමාවූ පාසැල් එක් කිරීම ප්‍රධාන හේතුවකි.

මේ තත්වයන් යටතේ දිස්ත්‍රික්ක පදනමේ තිබූ ආකර්ශනීය මධ්‍ය විද්‍යාල පාසැල ගරා වැටෙද්දී ඒ තැන ගැනීමට අද පවතින ඊනියා ජනප්‍රිය පාසැල් කරලියට ආවේය. අධ්‍යාපනයේ සැබෑ දියුණුවක් සඳහා දිගටම බලයට පත් වූ රජයන්ගෙන් අව්‍යාජ ප්‍රයත්නයක් නැති තැන හැකි පුළුවන් දෙමාපියන් තම තමන්ගේ දරුවන් සිටින පාසැල් වැඩි දියුණු කර ගැනීමට පාසැල් සංවර්ධන සමිති හරහා උත්සාහ කර ඇත. මෙම දෙමව්පියන්ට ස්තූතිවන්නට මෙම පාසල්වලට වැඩි ආකර්ෂණයක් ලැබී ඒවා ජනප්‍රිය පාසැල බවට පත් වී ඇත. ‘වැඩියෙන් ඇති තැනට තවත් වැඩියෙන් ලබනවා” යන න්‍යාය අනුව හැකි පුළුවන් මධ්‍යම පාන්තිකයින් විසින් සොයා යන මෙවැනි ආකර්ශනීය පාසල් 100 ක පමණ දැන් පවතී. මෙම ජනප්‍රිය පාසල් නමට පමණක් රජයේ පාසල් වේ. ගුරුවරුන්ගේ වැටුප් සහ නඩත්තු කිරීම සඳහා නාමික මුදලක් සඳහා රජය ගෙවන අතර පාසල් සංවර්ධන සමිති මඟින් එයට වඩා දස, සිය, හෝ දහස් වාරයක් වැඩියෙන් වැය කෙරේ. වාර්ශිකව මිලියන 100-200 අතර අයවැයක් සහිත රාජකීය විද්‍යාලය ඒ සඳහා උදාහරණයකි.

මෙම පාසැල් ඒවායේ සිසුන්ට වඩා හොඳ පහසුකම් මෙන්ම හා වඩා හොඳ සමාජ සම්බන්ධතා ලබා දෙයි. එම නිසාම මෙම පාසැල් රට පුරා සිටින සාමාන්‍ය දෙමාපියන්ගේද අධි ආකර්ෂණ චුම්බක බවට පත් ව ඇත. නමුත් මෙම පාසල් වල ඉඩ කඩ වලින් 90% ක්ම ඒවා නඩත්තු කරන දෙමාපියන්ගේ හා තමන්ගේ ධනය බලය නිසා ඒවායේ ඉඩ කඩ ලබා ගන්න අයට හිමිවේ. මේ පාසැල් හුදී ජනතාවගේ ඉල්ලු‍මෙන් රජය බේරා ගන්නේ කවුරුත් නොව අපේ ජාතික විභාග තුනයි. මෙම පාසල් වලට ඇතුලත් කර ගැනීම කුසලතා පදනම් කරගත් ක්‍රමයක් යන මිත්‍යාවට යන ආවරණය සපයන්නේ විභාග ක්‍රමයයි. ඔබ ශිෂ්‍යත්ව විභාගයට හොදින් ඉගෙන ගන්නේ නම් ඔබට මෙවැනි මෙම ජනප්‍රිය පාසලකට යාමට අවස්ථාව ලැබේ. බැරි වූයේ නම් ඔබට අවස්ථාවක් නැත. අපොස සා.පෙ. හා අපොස උ.පෙ විභාග වල අරමුණද මෙසේ ඉල්ලු‍ම පාලනයක් කිරීමට මිස අධ්‍යාපනය මුල් කර ගත් විභාග නොවේ. මෙම විභාග වලට අනවශ්‍ය ලෙස කරුණු පටවමින් කඩ ඉම ඉහල නැංවීම නිසා මෙම ජාතික විභාග රටේ දරුවන් හිංසාවට පත් කරන උපක්‍රම වී ඇත. මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ සඳහනක් කල යුතුමය.

පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය (G5SE)

1997 දී ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණවල ප්‍රධාන ප්‍රතිඵලයක් වූයේ ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රාථමික විෂය මාලාවක් වන නමුත් අද වන විට ප්‍රාථමික අධ්‍යාපනය ව්‍යසනයකි. ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකසන ලද විෂය මාලාව වෙනුවට G5SE විභාගයේ පසු ගිය පශ්න පත්‍ර කට්ටලය අදෘශ්‍යමාන විෂය මාලාවක ලෙස පැවතෙමින් මුළු මහත් ප්‍රාථමික අධ්‍යාපනයම විනාශ කර ඇත. මෙම විභාගය දෙස සවිස්තරව බලන විට පෙනී යන්නේ එය ප්‍රාථමික විෂය මාලාවේ සම්මතයන් හෝ ජාතික විභාගයකින් යමෙක් බලාපොරොත්තු වන සමානාත්මතාවය සහ ඵලදායිතාවයට සම්පූර්ණයෙන් පටහැනි විභාගයක් බවයි. මෙම විභාගය ඇත්තෙන්ම ළමා අපයෝජනයක් බව බොහෝ දෙනෙක් සටහන් කර ඇතත් කිසිවෙකුට මේ ජනප්‍රිය පාසැල් ප්‍රෝඩාව හා බැදී ඇති මේ ඔරුව හෙළවීමට අවශ්‍ය බවක් නොපෙනේ. මෙම විභාගය සඳහා ප්‍රතිඵල පෙන්වීමට ඇති පීඩනය යටතේ, ගුරුවරුන් විසින් අවුරුදු 20 ක් හෝ ඊට වැඩි අතීත විභාග ප්‍රශ්න පත වලින් සමන්විත ඉගෙනුම් ‘කට්ටල’ භාවිතයෙන් විභාගය සඳහා ළමයින් පුහුණු කිරීමට යොමු වන අතර ළමයින්ද කුඩා ගිරවුන් මෙන් ඉගෙන ගනී.

මෙම සංසිද්ධිය පිළිබඳ මම මුලින්ම අත් දැක ගත්තේ අම්පාර අධ්‍යාපන කලාපයේ ප්‍රථමික දරුවන්ට දැනට පවතින ප්‍රාථමික විෂය මාලාවතුලින්ම නැවත සාකල්‍ය (Holistic) අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳ ක්‍රියාකාරී පර්යේෂණයකට නායකත්වය දීම තුලිනි. 2012-2014 සිට වසර දෙක දක්වා මෙම පර්යේෂණ කටයුතු අප විසින් සිදු කෙලේ නැගෙනහිර පළාතේ එවකට අධ්‍යාපන ඇමතිව සිටි විමලවීර දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ය. තම ඉගැන්වීම සහ ඉගෙනීම ක්‍රියාවලිය වෙනස් කිරීමට ගුරුවරුන් සතුටු වූ නමුත් තම දරුවන් සහ ඔවුන් තුලින් තම පවුල යම් දියුණුවකට ගෙන යෑමට ඇති එකම මග ශිෂ්‍යත්ව විභාගය ලෙස සලකන දෙමාපියන්ගේ පීඩනය නිසා එම ව්‍යාපෘතිය බලාපොරත්තු වූ අවසානයට ගෙන යාමට අපට නොහැකි විය. නමුත් මෑතකදී එම ව්‍යාපෘතිය පිළිබඳ එක් නිලධාරිනියකු විසින් කියා සිටියේ ඇත්තෙන්ම එම ව්‍යාපෘතිය නිසා සමස්තයක් ලෙස ළමයින්ගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලද දියුණු වූ බවයි. විචාරශීලීව නිර්මාණශීලීව හිතන්න පුරුදු වන ළමයෙකුට අවශ්‍ය නම විභාග පාස් වෙන්න පාඩම කිරීම මහා ලොකු දෙයක් නොවන යන අපේ මතයට එය උදාහරණයකි.

විභාග කිසිවක් ක්ෂිතිජයේ නැති මේ මොහොතේ

වසංගතය නිසා ජාතික විභාග නියමිත වේලාවට පැවැත්වීමට නොහැකි වී ඇත. මගේ අදහස අනුව මෙය වෙස්වලාගත් ආශීර්වාදයකි. ඇත්තෙන්ම විභාග ප්‍රමාද වීම බොහෝ සිසුන්ගේ, විශේෂයෙන් රජයේ විශ්ව විද්‍යාලයක නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන අයගේ අධ්‍යාපන සැලසුම් අනතුරේ හෙළන බව සත්‍යයකි. නමුත් මෙම කණ්ඩායම රටේ තරුණ කණ්ඩායමෙන් 10% කටත් වඩා අඩුය. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සාධාරණත්වය මවා පාමින්, සෑම වසරකම 119-24 වයස් කාණ්ඩයේ තරුණයින්ගෙන් 10% ක් අඩු ගණනක් නොමිලේ උපාධියාකට ඉඩ සලසා අනිත් 90% අමතක කර හැරීම ජාතික ඛේදවාචකයකි. මම කලින් කීවාක් මෙන්, ජාතික විභාග ක්‍රමයට පින් සිදු වෙන්න මෙවැනි තත්වයක් යටතේ රාජ්‍යයට නිදහස් අධ්‍යාපනය බොරුව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබී ඇත.

අපේ රටේ පාසැල් මට්ටමේ අධ්‍යාපනය වුවද නිදහස් නොවන බවට සංඛ්‍යා ලේඛන කෙසේ වෙතත් උදාහරණ හෙළිවෙමින් පවතී. එක් පරිත්‍යාගශීලියෙකු අපට දන්වා සිටියේ තමන් විසින් පෝෂණය සඳහා මසකට 10,000 ක් පවුලකට ලබා තිබියදී එම පවුලේ දැරිවියක් මන්දපෝෂණයෙන් පෙළෙන බව දැනගත් බවත් ඒගැන සොයා බැලීමේදී පෙනී ගියේ එම මුදල් සියල්ල එම දැරිවියගේ අ.පො.ස උසස් පෙළ විභාගයට අවශ්‍ය උපකාරක පන්ති සඳහා භාවිතා කර ඇති බවත්ය. 2018 ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රකාශිත ‘සන්ධර්භ’ පුවත් හසුනේ ලිපියකට අනුව රජයේ පාසැල් වල 13 වසරේ සිසුන්ගෙන් 72% දෙවන වාරය සඳහා පාසැලට නොපැමිණෙයි. මෙම සිසුන් විභාගයට සූදානම් වීම සඳහා උපකාරක පන්ති ගුරුවරුන් මත විශ්වාසය තබන බවට සාක්ෂි ඇත.

ඇත්තටම පොරොන්දු පරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් විභාග ප්‍රතිසංස්කරණ, සිදු කෙරේ නම් මේ ප්‍රශ්න වලට විසදුමක් ලැබෙනු ඇත. . නමුත් එම පොරොන්දු අහස සිහින බවට පත් විය හැක. ඇරත් මේ වර්තමාන විභාග රහිත අන්තරකාලය තුල දරුවන්ට වෙනස් ආකාරයේ අධ්‍යපනයක් ඔබ දරුවාට ලබා දීම තුලින් විය හැකි හානියක් නැත.

වෙනස් ආකාරයේ අධ්‍යාපනයක් සඳහා අදහස් කිහිපයක්

ඔබ මෙය කියවන දෙමාපියෙක් නම් සහ ඔබේ දරුවාගේ ගුරුවරුන් වර්ජනයේ යෙදී සිටින්නේ නම්, ඔබ වාසනාවන්තයින් ලෙස සලකන්න. මෙතෙක් ඔබ දරුවාට බොහෝ දුරට ලැබුනේ ඔන්ලයින් ක්‍රමය ලෙස සීමා කෙරුණු දුරස්තා අධ්යප්පන්යකි. ඇත්තෙන්ම රජය විසින් විෂය මාලාව හදිසි අවස්ථා විෂය මාලාවක් ලෙස සංක්ෂිප්ත කිරීම, ළමයින් ස්වයං ඉගෙනුමට පෙළඹවීම හා කුඩා කණ්ඩායම්හෝ තනි තනි ලෙස ඔවුනට ගුරුවරුන්ගේ සුළු හෝ අවධානයක් දීම වැනි විකල්ප ක්‍රියා මාර්ගන් නොගැනීම ඉතා කණගාටුදායකය. නොකඩවා කෙරුණු ඔන්ලයින් අධ්‍යාපනය නිසා සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් වෙහෙසට පත්ව සිටියත් ඔවුනට ඔන්ලයින් ට්‍රඩේමිල් එකෙන් එළියට යාමට නොහැකි විය. ඔබත් එවැනි දෙමාපියෙක් නම් විරාමයක් ගන්න මොහොත උදා වී වී ඇත. පොඩ්ඩක් නැවතී පහත සඳහන් ක්‍රම වේදය වැන්නක් ඔබට ගෙදරදීම ක්‍රියාත්මක කිරීමට නොහැකිද කල්පනා කරන්න.

  1. දරුවාට සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් සම්පූර්ණ විවේකයක් ලබා දෙන්න. ඇය ඔන්ලයින් අධ්‍යාපනය ලබමින් සිටියා නම් අන්තර්ජාලයට විරාමයක් දෙන්න.
  2. දරුවාට තනිවම වැඩක යෙදීම සඳහා පුංචි වුවත් කලබල නැති තැනක් සොයාදෙන්න.
  3. දරුවාට මෙන්ටර් (mentor) කෙනෙක් ලෙස උපදෙසක් ලබා ගත හැකි තුන්වැනි වැඩිහිටියෙක් සොයා ගන්න. දුර කථනයෙන් සම්බන්ධ කර ගත හැකි වැඩිමහල් ඥාති සහෝදරයෙක් හෝ පවුලේ මිතුරෙකු විය හැකිය. දරුවාගේ ගුරුවරයාට අවශ්‍ය නම් ඇමතුමක් දෙන්න. ඇය/ඔහු වර්ජනයේ යෙදිය හැකි නමුත් ගුරුවරු සැමවිටම රාජකාරිය ඉක්මවා ගොස් දරුවන්ට සවන් දෙති.
  4. සටහන් තබා ගැනීමට පොතක් ලබාදී ඇයටම එය නම් කිරීමට ඉඩ දෙන්න (උදාහරණ ලෙස: මගේ ලොක්ඩවුන් දින පොත). මේ පොත ඇයගේ ස්වයං ඉගෙනුම ගැන ස්වයං සටහන් තබා ගැනීමටයි. ඇය ලෙස මෙහි දැක්වෙන්නේ ඔහු /ඇය යන දෙකම බව සලකන්න.
  5. ඉගෙනුම යන්න පොතට සීමා නොවන බවත් එය (i) අධ්‍යයන (ii) ශාරීරික (iii) සෞන්දර්ය (iv) නිර්මාණාත්මක (v) මනෝ-සමාජීය හා (vi) අධ්‍යාත්මික වැනි අංග වලින් යුක්ත බවත් සාකච්ඡා කරන්න. එදිනෙදා වගකීම් සහ විවේකය හා විනෝදයද අධ්‍යාපනයේ කොටසක් බව මතක් කරගන්න.
  6. අතීතයේදී ඇය කළ දේ, ඉදිරියේදී ඇය කිරීමට කැමති දේවල් මොනවාද මෙනෙහි කර ඇගේම සතිපතා කාලසටහනක් සකස් කර ගන්නැයි ඇයට කියන්න. මෙම කාලය තුල තමාගේ ඉගෙනුමේ වගකීම තමා භාර ගත යුතු බව මතක් කරන්න
  7. අධ්‍යයන කටයුතු සදහා ඕනෑම විෂයයක ඕනෑම පෙළ පොතකින් සතියකට මාතෘකා දෙක තුනක් තෝරා ගන්නා ලෙස ඇයට කියන්න. ඇයට අමාරු නම් ඇයට උදව් කළ හැකි අයෙකු සොයා ගන්න. එය උපකාරක පන්ති ගුරුවරයෙකු විය හැකිය.
  8. ශාරීරික, සෞන්දර්ය හා නිර්මාණාත්මක යන තුනම ගැන ඉගෙනුම උදාහරණ ලෙස නැටුම් ගැන උනන්දුවක් ඇති දරුවෙකුට නැටුම් තුලින්ම ලබා ගත හැක. ඔඪ හෝ යූටියුබ් මගින් අලු‍ත් නැටුම් ඉගෙන ගන්න උනන්දු කරන්න.
  9. මනෝ-සමාජීය ඉගෙනුමේ මුල වෙනත් පුද්ගලයින් හා සමාජය සමග අන්තර් සම්බන්ධතාවයන්ය. ක්‍රියාකාරකම් කෙනෙකු පවුලක් ලෙස කරන දේ හෝ මිතුරන් සමඟ දුරකථනයෙන් නිතිපතා කතාබස් කිරීම විය හැකිය.
  10. ඉගෙනුම් වර්ග (i) – (vi) සඳහා නිශ්චිත යමක් කිරීමට ඇයට හෝ ඔහුට අවශ්‍ය නැතිනම් කලබල නොවන්න.
  11. නිවසේතම වගකීම් ඉටු කිරීම සඳහා දෙමාපියන් විසින් හොඳ ව්‍යුහයක් ලබා දේ නම් හා ඒ අතරතුර විනෝදයෙන් සහ විවේකයෙන් සිටීමට ඉඩ සලසන්නේ නම්, එම ක්‍රියාකාරකම් තුලින්ම දරුවා ඉගෙනුමක් ලබනු ඇත.
  12. විචාරශීලීව නිර්මාණශීලීව හිතන්න පුලු‍වන් දරුවෙක්ට විභාග ජය ගැනීමට අවශ්‍ය කරුණු සුළු කලකින් එක් රාශී කරගැනීම අමාරු දෙයක් නොවේ. ඒ නිසා විභාග ගැන මේ අන්තර් කාලයේ කරදර වෙන්න එපා. මෙම අන්තර් කාලය තුළ ඔබට හැකි පමණින් විකල්ප ඉගෙනුම් ක්‍රම අත්හදා බලන්න.

ඇත්තෙන්ම හොඳම තත්වය නම් ගුරුවන්ගෙන්ම මෙවැනි උපදෙස් ලැබීමයි.

ඔබ ගුරුවරයෙක් නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එන තෙක් බලා නොසිට විභාග සූදානමට අධ්‍යාපනය ලඝු කිරීම කිරීම ගැන මදක් සිතන්න.

(ආචාර්ය සුජාතා ගමගේ – අනිද්දා)

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *