‘ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගය ජය ගැනීමට උපරිම සහාය දෙන බවට’ චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ  ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය  ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය.

ඒ මහතා මේබව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ  දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පසුගියදා පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.

චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්‍ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වීම විශේෂත්වයකි.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට කථානායකවරයාට අමතරව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස්, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝගයන් ජය ගැනීමට කථානායකවරයා විසින් චීන රජයේ සහය මෙහිදී ඉල්ලා සිටි  අතර, ඒ සදහා චීන ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි උපරිම සහයෝගය ලබාදෙන බවට චීන කථානායකවරයා සහතික විය.

1957 වසරේදී ශ්‍රී ලංකා – චීන රාජ්‍ය තාන්ත්‍රික සබදතා විධිමත් ලෙස ආරම්භ වූදා පටන් චීන ශ්‍රී ලංකා මිතුදම වර්ධනය වූ බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ආර්ථික දියුණුවට මෙන්ම නොයෙකුත් අභියෝගාත්මක අවස්ථාවලදී   ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු වශයෙන් චීන රජය ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබදව කථානායකවරයා මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ජනතාව වෙනුවෙන්  සිය කෘතවේදීත්වය චීන රජය වෙත පළ කර සිටියේය. විශේෂයෙන්, පවතින කොවිඩ් තත්ත්වය  ජය ගැනීමට චීන රජය ලබා දෙන සුවිසල් සහය පිළිබද සිය විශේෂ ස්තූතිය පළ කළ කථානායකවරයා පවසා සිටියේ චීනය මිලියන 3ක එන්නත් ප්‍රමාණයක් මෙරටට ප්‍රදානයක් ලෙස ලබා දී ඇති බවත්, මේ අනුව මිලියන 18ක සම්පූර්ණ එන්නත් ප්‍රමාණයක් මෙරටට මේවන විට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

තවද මීට වසර 07කට පෙර චීන ජනාධිපතිරයාගේ ද සහභාගීත්වයෙන් ආරම්භ වූ කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මෙරට ආර්ථික සංවර්ධනයේ නව පර්ච්ඡේදයක ඇරඹුම සනිටුහන් කළ බව කථානායකවරයා පැවසීය.  කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය මෙන්ම  හම්බන්තොට වරාය ආශ්‍රිත අන්තර්ජාතික ආයෝජන තුළින් ශ්‍රී ලංකාව ඉදිරියේදී ලොව ආර්ථික ‍කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට මගපෑදෙනු ඇති බව සදහන් කළ කථානායකවරයා ඒ සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කැපවීමෙන් කටයුතු කරන බවත් පැවසීය. එසේම මෙම ව්‍යාපෘති සදහා චීන ආයෝජකයන් දිරිගන්වන ලෙස චීන රජයෙන් තමා ඉල්ලා සිටින බවද කථානායකවරයා පැවසීය. මෙම ආයෝජන අවස්ථා සදහා ලෝකයේ සෙසු රටවලටද ආරාධනා කරන බව ද කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

දෙරට පාර්ලිමේන්තු අතර අන්තර් සම්බන්ධතාව සහ  සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා වූ අතර, චීන කථානායකවරයා ඇතුළු දූත පිරිසකට මෙරට සංචාරය කරන ලෙසද  කථානායකවරයා ආරාධනා කළේය. මෙරට කථානායකවරයා කළ ඉල්ලීම පිළිගත් චීන කථානායකවරයා  පැවසුවේ කොවිඩ් තත්ත්වය පහවීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බවයි. තවද කොවිඩ් තත්ත්වය පහව යාමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිස් චීන සංචාරයකට එක්වෙතැයි තමා අපේක්ෂා කරන බවද චීන කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී ඇල් පීරිස් මහතා පැවසුවේ මෙරට කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීනය දක්වන සහය ප්‍රශංසනීය බවයි. තවද ජාත්‍යන්තර වේදීකාවේදී චීනය සැම විටම සමීප මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවත් ඉදිරියේදී ද මෙම සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙහිදී පැවසූවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, උපරිමාධිකරණ සංකීර්ණය , අධිවේගී මාර්ග,හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති රැසක් චීන රජයේ මැදිහත් වීමෙන් මෙරටට ලැබුණු බවයි.

එසේම පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට දෙරට මහබැංකු අතර  ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා චීන   කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.  තවද ශ්‍රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇගලුම් ,තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළදපළට ප්‍රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය සූදානම් බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා පැවසීය. තවද මෙරට ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීන ආයෝජන පහසුකම් සලසන බව මෙහිදී චීනයේ මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා පැවසීය. එසේම චීනයේ සමීප මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකට උපරිම සහයෝගය ලබා දෙන බවත් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස  ඉදිරියට ගෙන යාමට කැපවන බවත් චීන කථානායකවරයා මෙහිදී සහතික විය. පවතින කොවිඩ් තත්ත්වය පහවීමත් සමග දෙරට අතර දූත පිරිස්වල සංචාරයන් මගින් අන්‍යෝන්‍ය සහයෝගීතාව  වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට හැකිවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

චීන මහජන කොන්ග්‍රසයේ  ස්ථාවර කමිටුවේ මහලේකම් යැං ෂෙන්වු, මහජන කොන්ග්‍රසයේ  ව්‍යවස්ථාවේ සහ නීති කමිටුවේ සභාපති මෙන්ම මහජන කොන්ග්‍රසයේ  චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති  ලී ෆෙයි , මහජන කොන්ග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති ෂැං යේසුයි,   මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය මහලේකම් හූ ෂියාඕලි , විදේශ කටයුතු සහකාර අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති වූ ජියෑංගාවෝ, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්ෂ සොන්ග් රූයි යන මහත්වරුද චීන දූත පිරිස නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *