වැව යනු සිංහල අපගේ උරුමයක් පමණද? තුලනාත්මක රචනයක් – ආචාර්ය ලියනගේ අමරකීර්ති

වැව යනු අපට ඇති වටිනා සංස්කෘතික උරුමයකි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් වැව යනු සිංහලයාගේ අද්විතීය උරුමයක් යැයිද කියවේ. අන් කිසි රටක වැව් නැතැයි කියවේ. ඉන්දියාවේද වැව් නැතැයි කියනු ලැබේ. මෑතකදී සුමනා විජයරත්න මහත්මියගේ කතා කරන වැව නම් පොත දොරට වැඩුමේදීද මෙවැනි කියමන් මට ඇසිණි. දැන් පරාක්‍රම සමුද්‍රය කේන්ද්‍ර කරගෙන වැව පිළිබඳ කතිකාව නැවත මතු වී තිබේ.

‍| (13 වෙනි සියවසේදී නිර්මිත පඛාල් වැව හෙවත් පඛාල් සමුද්‍රම්- Pakhal Lake, Warangal District, Telangana)

වැව අපේ සංස්කෘතික අනන්‍යතාවේ කේන්ද්‍රීය කාරණයක් හැටියට අලංකාරික බසින් වර්ණනා කෙරෙන නිසා මම කාලයක් ඉන්දියාවේ වැව හා සම්බන්ධ පොතපත එකතු කළෙමි. ඒ මා වාරිමාර්ග විශේෂඥයෙකු නිසා නොව තුලනාත්මක සංස්කෘතික අධ්‍යයනය මා උගන්වන විෂයයක් නිසාය. මා මෙහි ලියන කරුණු වැව ගැන අපේ ඥානය වර්ධනය කරන්නට හේතු වේවායි පතමි. මේ වූකලි මා මගේ පශ්චාත් උපාධි ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ අවධානය යොමු කරන්නට කලෙක සිට තැත් කරන මාතෘකාවක් නමුත් කාගේවත් මහ ලොකු අවධානයක් ඊට යොමු වී නැත.

මුලින්ම කිවයුතු දෙයක් ඇත. මම වැව්වලට ආදරය කරන්නෙක්මි. ගැලපෙන අවස්ථාවක වැවක් මුණ ගැසුණොත් අනිවාර්යෙන්ම පීනන්නට බසින වැව් පිස්සෙක්ද වෙමි.

අපේ ජනප්‍රිය කතාවල වැව නිරූපණය වන්නේ වැව යනු සිංහල අපගේ අතිවිශේෂ උරුමයක් ලෙසය; ලොව අන් කිසි තැනක, කිසිවෙකුට එවන් උරුමයක් නැති බවද කියවේ.

ඉන්දියාවේ වැව්

යෝගේශ් ශර්මා වැනි අයගේ අධ්‍යයනවලින් පෙනෙන දෙයක් තිබේ. ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ එක එක ප්‍රමාණයේ වැව් තිබේ. ඉන්දියාවේ ජලය ආරක්ෂා කර ගැනීමේ ක්‍රම අපට වඩා විවිධය. විවිධ ස්වරූපයේ ළිං, විවිධ ස්වරූපයේ පොකුණු ඉන්දියාවේ තිබේ. ඒ අතින් ජලයෙන් එතරම් කරදරයක් නැති අපේ රටේ ජල ආරක්ෂක විධිවල විවිධත්වය අඩුය. ඒ නිසා ප්‍රධානම ජල ආරක්ෂක විධියක් වන වැව සුවිශේෂ අනන්‍යතාකාරකයක් සේ ගැනීම පුදුමයක් නොවේ. එහෙත් “ඉන්දියාවෙ වත් වැව් නෑ. අපිට විතරයි වැව් තියෙන්නෙ” වැනි කියමන් සරල වැඩිය.

| (Shanthi Sagar)

රජවරුන් හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන් හෝ ඒ ඒ කුලයට අයත් නායකයින් හෝ වර්ෂා ජලය එක් රැස් කර ගැනීමට වැව සෑදීම සහ ඒ වැව් වඩා කෘෂිකර්මය සහ ජනපද ඇති කිරීම ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකට පාහේ සිදු වී තිබේ. අපේ රජවරුන්ගේ ප්‍රධාන කෘෂිකාර්මික වැව් සෑදීම් 12-13 වෙනි සියවස පමණ වන විට නතර වනු පෙනේ. ඉන් පසු වාර්තාවන ප්‍රධාන වැව වන මහනුවර වැව කෘෂිකාර්මික වැවක් නොවේ. එය සමාන වන්නේ ගුජරාටයේ සුරාට් නරගය මැද ඇති රවුම් ජලාශයටය. එය අද බෙහෙවින් නූතන ස්වරූපයක් දී තිබුණද ඉස්සර තිබුණේ අපේ කුඩා වැවක් ලෙසටමය. අපේ රජවරුන්ගේ වැව් සෑදීම ටික ටික අඩු වුවද ඉන්දියාවේ 17 වන 18 වන සියවස් වනතුරුව එවැනි වැව් සෑදීම් සිදු වී තිබෙන බවද පෙනේ. පසුගිය ශත වර්ෂ පහක පමණ කාලය තුළ ඉන්දියාවේ සංචාරය කළ යුරෝපීයයන්ද පුරාණ ඉන්දීය වැව් ගැන රසවත් වාර්තාද ලියා තිබේ.

බොහෝ අර්ථවලින් ගත් කල ඉන්දියාවේ වැව් අපේ වැව්වලට වඩා පුද පූජා චාරිත්‍ර විධිමය වැදගත්කම අතින් වැඩිය. හින්දු දහමේ සහ ඒ හා ඈඳුණු කුල ක්‍රමයෙහි පවිත්‍ර-අපවිත්‍රතාව පිළිබඳ සංකීර්ණ ඇදිහිලි ඇති නිසා වැවෙහි ජලය භාවිත කිරීම පිළිබඳ සංකීර්ණ සිරිත්විරිත් තිබේ. ඒවාට සාපේක්ෂව අපේ වැව් ඉතා නිදහස් ලෞකික ස්ථාන වේ. රජවරුන් විසින් සාදවන ලද්දේ වුවද වැව ලෞකික මහජන උරුමයක් සේ ජනයා වෙත ප්‍රදානය කිරීම අපේ සංස්කෘතියෙහි වැව ආශ්‍රිතව පවත්නා වැදගත් ගුණයකි. මෙම සංස්කෘතික ලක්ෂණය පවා ඉන්දියාවේ පැවති බව 15 වෙනි සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ ලුඩොවිකෝ දී වර්තෙමා ගුජරාටයේ වැව් ගැන කර ඇති සඳහන්වලින් පෙනේ. “ගංගාව හෝ විශාල කෘත්‍රිම ජලාශය ඕනෑම ආකාරයක නගර සැලැස්මක කොටසක් ” බව ඔහු ලිව්වේය.

අපේ රටේ එතරම් සුලභ නැති දෙයක්ද ඉන්දියාවේ තිබිණි. ඒ නම් ඉතා ධනවත් අය පෞද්ගලික ජලාශ සාදා ගැනීමය. අපේ ගම් පළාත වන කුරුණෑගල ඇතැම් විශාල පොල් වතු ඇතුළේ කුඩා ප්‍රමාණයේ වැව් තිබෙන්නාක් මෙනි.

ඉන්දියාව පුරා එක් එක් නගරවල එක් එක් ප්‍රමාණයේ ජලාශ ඉඳි කිරීමත් ගමන් මාර්ග පද්ධතියත් අතර සම්බන්ධයක් තිබේ. පුරාණයේ සිට වෙළඳ සහ වන්දනා ගමන්මාර්ග වැටී ඇත්තේ මේ ජලාශ යා කරමිනි. එය පුදුමයට කරුණක්ද නොවේ. විශාල කාන්තාරවලින්ද යුතු අතිවිශාල රටක් හරහා දිගු ගමන්මාර්ග වැටෙන විට ජලාශ සම්බන්ධ කරමින් ඒවා වැටීම වටහා ගත හැක්කකි. ඒ සමහර ජලාශ ස්වරූපයෙන්ද ගොඩනගා ඇති තාක්ෂණයෙන්ද අපේ වැව්වලට බෙහෙවින් සමාන බව පෙනේ. ලංකාවේ වැව් සහ ගමන් මාර්ග අතර සම්බන්ධය ගැන අධ්‍යයන ඇතිදැයි මම නොදනිමි.

වයඹදිග, මධ්‍යම සහ ඊසාණ දිග ඉන්දීය ප්‍රාන්තවල විසිර ඇති නොයෙක් කෘත්‍රිම ජලාශ ගැන අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් මට සොයාගත හැකි විය. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් කියවමිනි. ඉන්දීය භාෂාවලින් තවත් බොහෝ පොතපත ලියවී තිබෙන්නට පුළුවන.

අපට වඩා කිට්ටු දකුණු ඉන්දියාවට වහා යමු

දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල “ජනාවාසය යනු කෝවිලයි, ජලාශයයි, ජලය ගෙන යන ඇළ පද්ධතියයි අනිවාර්ය ලක්ෂණ වී සැදුණක්” බව Trade and Statecraft in the Age of the Cholas යන පොතේදී කෙනත් ආර්. හෝල්(1980) ලිව්වේය. එය අපේ වැවයි, දාගැබයි, කෙතයි යන්නට සමානය. හෝල් එම පොතෙහි විස්තර කරන ජලාශ අපේ වැව්වලට බෙහෙවින් සමාන බව මට සොයාගත හැකි විය.

සැබෑ තුලනාත්මක අධ්‍යාපන සංස්කෘතියක් අපට තිබුණේ නම් මේවා අධ්‍යයන කරන්නට අපේ ශිෂ්‍යයන් ඉන්දියාවට යවන්නට තිබිණි. එවැනි ක්ෂේත්‍ර චාරිකා සහිත මානව ශාස්ත්‍ර අධ්‍යාපනයක් ගැන මා මීට කලින්ද මේ බ්ලොග් අඩවියේ ලිපියක ලිව්වෙමි.

| (රාමප්පා සමුද්‍රම්)

වැවක එකතු වන ජලය මත රඳා පවතින ආන්ද්‍රා ප්‍රදේශ කෘෂිකාර්මික සම්ප්‍රදාය ඉතා පැරණි එකක් බව හෝල්ගේ පොතේ එයි. එසේම 17 වෙනි සියවසේදී ආන්ද්‍රා ප්‍රාන්තය හරහා සංචාරය කල ප්‍රංශ ජාතිකයෙකු වූ අබ් කරේද කෝවිලයි, ජලාශයයි, ඇල පද්ධතියයි නිරීක්ෂණය කළේය. ආන්ද්‍රා පාන්ත ඉතිහාසය පුරාම කෘෂිකර්මය සඳහා ජලය සපයන ජලාශ ඉඳිකිරීම සහ ඒවා පවත්වාගෙන යාම සමාජ-දේශපාලන ප්‍රභූන්ගේ ප්‍රධාන කාර්යයක් විණියි යෝගේශ් ශර්මා ලියයි. මේ ගැන ලියන බර්ට්න් ස්ටයින් බැම්බ සහිත ජලාශය (Embanked reservoir) යනුවෙන් හඳුන්වන්නේ අපේ වැවට බොහෝ සමාන ජලාශයකි. ඒවා සෑදීම සහ නඩත්තුව දකුණු ඉන්දීය පාලකයන්ගේ රාජ්‍ය පාලනයෙහි වැදගත් කොටසක් වී තිබේ.

තමිල්නාඩුවේ තිරුච්චිරපල්ලි ඇනිකට් බැම්ම වාරි තාක්ෂණ විස්මයක් සේ සැලකෙන අතර එය චෝල යුගයටත් පෙර සාදන ලද්දක් යැයි සැලකේ. (බලන්න: Peasant State and Society in Medieval South India) විස්මකර්ම වැව් දැක ඇති අප පවා පුදුම කරන්නට හැකි එය මුලින්ම නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී යැයි කියවේ.

සුවිශාල පස් බැමිවලින් සාදන ලද වෑ බැම්මෙන් යුත් සුවිශාල වැව් වන භොංගීර්, පකාල්, රාමප්පා, සහ ලක්නාවරම් යන ජලාශ කෙතරම් විශාලද යත් ඒවා හැඳින්වීමට “සමුද්‍රම්” යන නම භාවිත කෙරේ. ඒ නිසා අපේ පරාක්‍රම සමුද්‍රය අද්විතීය වන අතරම එය ලොව ඇති එකම එවැනි වස්තුව නොවන බවද වටහා ගත යුතුය. විජයනගර් යුගයේ දක්ෂිණ ඉන්දියාවේ නිර්මිත විශාල ජලාශ අපේ වැව්වලටත්, ඒවා ආශ්‍රිත කෘෂි කටයුතු අපේ කෘෂිකටයුතුවලටත් සමානකම් දක්වයි. (බලන්න: කේ. සත්‍යනාරායනන්ගේ: A Study of the History and Culture of the Andhras)

1636 වර්ෂයේ විජයනගර් ප්‍රදේශයේ සංචාරය කළ ෆෙර්නාවෝ නුනිස් නම් පෘතුගීසි සංචාරකයා වැව් ඉඳිකිරීම ආශ්‍රිත බිහිසුණු චාරිත්‍රයක් ගැන කියයි: වැව් ඉඳි කෙරෙන වේගය ගැන දෙවියන් අසතුටින් සිටින්නේ යැයි සිතූ බ්‍රාහ්මණ පූජකයෝ සිරකරුවන් පිරිසක් වැව අසලට ගෙනැවිත් හිස ගසාදමා දේව පූජාවක් තියන්නට නියම කළහ. ඉන් පසු දෙවියෝ සතුටු වූහ. වැවේ කටයුතු වේගයෙන් කෙරිණි. මේ වැවේ වතුරින් ඒ රජවරු වී ගොවිතැනට ජලය සැපයූ බවත්, ඒ ජලයෙන් නගරද ගෙවතුද බොහෙවින් දියුණු කළ බවත් නුනිස් ලිව්වේය. අර වැනි මිනිස් දීමේ චාරිත්‍රවලින් පෙනෙන්නේ තමන්ගේ දේශපාලන බලය රැකගැනීමටත්, රාජ්‍ය පාලනයටත් වැව කොතරම් තීරණාත්මකවීද යන්නයි.

ලංකාවේ අපට වැව යනු ඉතා වටිනා සම්පතකි. වැව යනු සිංහල ජනයාගේ පමණක් නොව දෙමළ ජනයාගේද උරුමයක් බව ආචාර්ය සුරේන් රාඝවන් අද(අගෝස්තු 28) ෆේස්බුක් සටහනකින් කියා තිබිණි. එය ඇත්තකි. එහෙත් වැව යනු ලංකාවේ අපට පමණක් උරුම අන් කිසිම තැනක නැති දෙයක්ය යන සංස්කෘතික උත්කර්ෂණ නිවැරදි නොවේ. සැබැවින්ම වැව යන අරුමපුදුම මනුෂ්‍ය නිර්මාණය වඩා හොඳින් තේරුම්ගත හැක්කේ තුලනාත්මක ප්‍රවේශයකිනි.

ඉන්දියාවේ කොහෙවත් “වැව් “නැතැයි ඇතැම්හු රූපවාහිනි සාකච්ඡාවල කියති. පත්තරවල ලියති. එය ඇත්තක් වන්නේ “වැව” යනු සිංහල වචනයක් වන බැවිනි.

(මෙම කරුණ ගැන දිග ලිපියක් ලිවීමට අදහස් කරමි. මෙය වචන 1000කට සීමා කළ රචනයකි.)

(මෙම ලිපිය ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ රචනාවක් වන අතර එය https://amarakeerthi.blogspot.com/ උපුටා ගත්තෙකි)

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *