ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 70 වසරක් !

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂී වෙනසක් සිදු කරමින්, දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70 ක් සපිරෙන මෙවැනි අවස්ථාවක, මෙරට දේශපාලනය තුළ ප්‍රධානම පක්ෂයක් ලෙසින්, ආරම්භයේ පටන් සමාජීය, ආර්ථික මෙන්ම සංස්කෘතික වෙනස්කම් රාශියකට දායක වූ, මෙරට ජනතාවගේ බහුතර විශ්වාසය සහිතව ආණ්ඩු බලය ලබා ගනිමින් ජනාධිපතිවරුන් , අගමැතිවරුන් කිහිප දෙනෙක්ම මෙරට දේශපාලනයට දායාද කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව සඳහන් කිරීමට මෙය සුදුසුම මොහොතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය හා ශ්‍රිමත් එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක

1948 ලැබූ ඩොමීනියන් නිදහසෙන් පසුව බිහි වූ ප්‍රථම කැබිනට් මණ්ඩලය තුළ, පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ,සිය ප්‍රතිපත්ති වලට අනුකූලව තවදුරටත් එක්සත් ජාතික පක්ෂය තුළ රැඳී නොසිටිමින්, 1951 සැප්තැම්බර් 2 වනදා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නම් මහා දේශපාලන පක්ෂයේ ආරම්භය සිදුවිය.

ඒ අනුව 1951 වර්ෂයේ සැප්තැම්බර් 2 වන දා වනදා ශ්‍රීමත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට සහාය පළ කරමින්, නව සංවිධානයක් පිහිටුවා ගැනීම සඳහා 44 දෙනෙකුගෙන් යුක්ත වූ කණ්ඩායමක් කොළඹ නගර ශාලාවට එක්ව සිටි අතර ඒ අතර විවිධ ජනවර්ග වලට අයත්, රටේ විවිධ පැතිවලින් පැමිණි පුද්ගලයන් විය. එහි දී ආරම්භ වූ මංගල සැසිවාරයේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එච් ශ්‍රී නිශ්ශංක මහතා විසින් එම නව සංවිධානයට “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් නම් තැබූ අතර ඒ සමඟම මෙරට දේශපාලනය උඩු යටිකුරු කරමින් එහි අනාගත ගමන් මඟ තීරණය කරන ප්‍රධාන සාධකයක ආගමනය සිදුවිය.

ඒ අනුව “සමාජ ප්‍රජාතන්ත්‍රවාදය” ස්වකීය ප්‍රතිපත්තිය කරගනිමින් එතෙක් කාලයක් සමාජයෙහි ඉහළ මට්ටම්වල සිටි ප්‍රභූන්ට පමණක් සීමාව තිබූ දේශපාලන බිම් මට්ටම කරා ගෙන යමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගින් එක්ව මෙරට “පොදු ජන යුගයක්” ඇති කිරීමට එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට හැකිවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට පෙර සිටම බණ්ඩාරනායක මහතා විසින් මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභා සමයේදී එනම් 1934 වර්ෂයේ මැයි මස 19 වනදා “සිංහල මහා සභාව” නමින් සංවිධානයක් පිහිටුවා තිබූ අතර, එය කල් යත්ම සැලකිය යුතු මට්ටමේ දේශපාලන බලවේගයක් බවට පත්ව තිබුණි, ජාතික සමගිය ඇති කිරීමේ අරමුණ සහිතව පිහිටුවා තිබූ එම සංවිධානය , නිදහස් පක්ෂයේ ආරම්භයත් සමග ඒ හා එක්ව මෙරට දේශපාලන දාරාවට එකතු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා වසරක් ගතවීමට මත්තෙන්, එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩී එස් සේනානායක මහතාගේ හදිසි අභාවය හේතූවෙන් 1952 අප්‍රේල් 8 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට කටයුතු කළේය. අනතුරුව 1952 මැයි 24, 26, 28 සහ 30 යන දිනයන් හි පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයන් 48 දෙනාගෙන්, ආසන 9 ක් ජයග්‍රහණය කිරීමට හැකි වූ අතර, ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය තුන් ලක්ෂ තුන් ලක්ෂ හැට එක් දහස් දෙසිය පනහක් (361250) විය .

එහිදී අත්තනගල්ල ආසනයේ ජයග්‍රහණය වැඩි ඡන්ද තිස් දෙදෙහස් පන්සිය හතලිස් හතරකින් (32544) කින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට හිමි වූ අතර , එතුමා විපක්ෂ නායකයා බවට පත් කරමින්, ආරම්භ කර වසරක් ගෙවීමට පෙරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත් විය.

1956 මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රණය

අනතුරුව එළඹි 1956 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ නමින් සන්ධානයක් පිහිටුවා ගත් අතර එහිදී එක්වූ අනෙකුත් පක්ෂයන් වූයේ සිංහල භාෂා පෙරමුණ සහ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂයයි.

මෙහිදී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වශයෙන් පංච මහා බලවේගයන් එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට සිය සහයෝගය පළකළ අතර, එය එම පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයේ දැවැන්තම බලවේගය විය .

සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හා ස්වයං පාලනයක් ලබා ගැනීම මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා විසින් ලබා දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දු වූ අතර, අතිදක්ෂ කථිකයෙකු බණ්ඩාරනායක මහතාගේ මැතිවරණ රැස්වීම් එකළ ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබුණි.

1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට ඩොමීනියන් නිදහස ලැබෙද්දී නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ සභා නායකවරයා ලෙස කතාව කරමින් බණ්ඩාරනායක මහතා විසින් “රටක් දේශපාලන නිදහසින් පමණක් නොව සමාජ හා ආර්ථික නිදහසින් ද පෝෂණය විය යුතුයි” යනුවෙන් සඳහන් කළ අතර මැතිවරණ වේදිකාව මත මෙන්ම, මැතිවරණයෙන් පසුව ප්‍රායෝගික දේශපාලනය තුළ ද ඔහුගේ මෙම ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු විය.

මෙරට දේශපාලනය තුළ මහා පෙරළියක් ඇති කරමින්, 1956 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂය විසින් මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයන් 60 දෙනාගෙන් 51 දෙනෙකුම ජයග්‍රහණය ලබා ගත් අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වශයෙන් අත්තනගල්ල ආසනයෙන් තරග වැදුණු එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා වැඩි ඡන්ද 41957 කින් අත්තනගලු ආසනය ජය ගත්තේ ය.

අති බහුතරයක් වූ ජනතා කැමැත්ත මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානය, 1956 වර්ෂයේ මෙරට ආණ්ඩු බලය ලබා ගනිමින් ශ්‍රීමත් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වූ අතර, ඒ සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුව සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, පුද්ගලික බස් ව්‍යාපාරය ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවීම, වරාය ජනසතු කිරීම කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම, රාජ්‍ය ව්‍යවසායයෙහි ප්‍රමුඛතාවය පිළිගැනීම , ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි 1 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම ,සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද්‍රවිඩ භාෂාව විශේෂ විධිවිධාන පනත මගින් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම, කම්කරු අණ පනත් සංශෝධනය කිරීම, නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීම මෙන්ම අන්තර්ජාතික දේශපාලනය තුළ නොබැඳි හා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව හා බැඳුණු අන්තර්ජාතික සබඳතා පුළුල් කිරීමට ද බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවිය.

1959 වර්ෂයේ සැප්තැම්බර් 25 වනදා කොළඹ රොස්මීඩ් පෙදෙසෙහි සිය නිවස තුළදී ඝාතනය වන තුරු බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා මෙරට සමාජ, ආර්ථික හා දේශපාලනයේ ප්‍රගමනයට වූ දායකත්වය අති මහත් විය. වර්ථමානයේදී මෙරට ජනතාව විසින් භුක්ති විඳින බොහෝ පොදු සේවාවන්, නව රාජ්‍ය ප්‍රතිපත්ති ගෙන එමින් මෙරටට දායාද කළේ එතුමා විසිනි.

මෙරට දේශපාලනයේ ස්වර්ණමය සලකුණ, සිරිමාවෝ මැතිණිය හා දේශීය ආර්ථික ප්‍රතිපත්තිය

මෙරට ධනේශ්වර පාලනයට එරෙහි පොදු ජනතාවගේ නැගී සිටීම ලෙස 1956 මැතිවරණ ජයග්‍රහණය දැකිය හැකි අතර එවකට ජනතාව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බිහිකළ රජය හඳුන්වා දුන්නේ “අපේ ආණ්ඩුව” ලෙසිනුයි.

වාමවාදී ප්‍රගතිශීලී මත වලට ඉඩක් ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව වසර 4 ක කාලයක ආණ්ඩු බලයට සීමා වුවද, නැවත 1960 ජූලි 21 වන දින ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහිකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පාර්ලිමේන්තුවේ බලය තමා සතු කර ගත්තේය.

1960 ජූලි 21 දින ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රමත්‍යවරිය වශයෙන්, සිරිමාවෝ ආර්.ඩී බණ්ඩාරනයක මැතිණිය දිවුරුම් දුන්නේ ලොව පළමු අග්‍රමාත්‍යවරිය වශයෙන් කිසිවෙකුට නොබිඳිය හැකි වාර්තාවක්ද පිහිටුවමිනි.

ඒ සමයේදී ලෝකයේ ඇතැම් රටවල් සමාජවාදී ආර්ථිකය පසුපසද තවත් රටවල් ධනවාදී ආර්ථිකය පසුපස ද දිව යද්දී මැතිණියගේ ප්‍රතිපත්තිය වූයේ ඒ දෙකටම මැද මාවතක ගමන් කිරීමයි. එවකට ශ්‍රී ලංකාවේ අන් කිසිදු දේශපාලනඥයෙකු සතුව නොතිබූ ඉතා විශිෂ්ට ගණයේ ආර්ථික, දේශපාලන හා සමාජ දැක්මක් මැතිණිය සතුව තිබුණි.

1960 වසරේ දී ලැබූ මැතිවරණ ජයග්‍රහණය සමග රාජ්‍ය පාලනය කරගෙන යෑමේ දී මැතිනියට බොහෝ අභියෝග එල්ල වූ අතර, 1962 වර්ෂයේදී මුහුණ දීමට සිදුවූ හමුදා කුමන්ත්‍රණය සාර්ථකව ජය ගත්තද, 1964 වර්ෂයේදී සී. පී. ද සිල්වා හා තවත් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමෙන්, රාජාසන කතාව පරාජය වීම හේතුවෙන් එම වසරේම දෙසැම්බර් මස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව බිඳ වැටුණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය බවට පත් කරමින් බිහිවූ ආණ්ඩුව, කල්යත්ම “හත් හවුලේ ආණ්ඩුවක්” බවට පත්වෙද්දී 1970 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය එක්ව ගොඩනැඟුණු “සමගි පෙරමුණ” නැවත මෙරට ආණ්ඩු බලය ලබා ගත්තේ පාර්ලිමේන්තුවේ ආසන 168 න් 116 ක් හෙවත් තුනෙන් දෙකක (2/3) බහුතර බලය ලබා ගනිමිනි.

1970 දී බලයට පත් වූ මැතිණිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානය හමුවේ අභියෝග රාශියක් විය. ඒ වන විට නිදහස ලැබී දශක දෙකක් පමණ උවත්, තවමත් නාමික නිදහස් පමණක් සහිතව ඩොමිනිකන් පාලයක් යටතේ සිටීමට සිදුවීම හා රට හමුවේ සාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබීම ඒවායින් ප්‍රධාන කරුණු දෙකක් විය.

එවන් පසුබිමක් තුළ මෙරට ආර්ථික උඩු යටිකුරු කරමින් , මැතිණිය විසින් දේශීය සම්පත් සුරකිමින් , ස්වාධීන ආර්ථියක් හා කෘශිකර්මාන්තයක් ඇති කිරීමට ගත් දේශීය ආර්ථික ප්‍රතිපත්තිය මෙරට ඉදිරි ගමනට බලපෑ ප්‍රධානම කාරණයක් විය. “සියරට දේ සිරිසැප දේ ” යනුවෙන් අදටත් අපට මතකෙට එන්නේ එදා මැතිණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි.

එදා ඒ ගත් තීරණ වල ප්‍රතිපලයක් ලෙස මෙරට නිශ්පාදන කර්මාන්තයේ හා කෘශිකර්මාන්තයේ අති විශාල පුනුරුදයක් දක්නට ලැබිණි. අදටත් ලෝකය හමුවේ මතකයේ තිබෙන විශිෂ්ඨ ශ්‍රී ලාංකික සන්නාම රාශියක් බිහිවූයේ එදා මැතිණියගේ අනුදැනුම මතය.

යම් හෙයකින් එදා මැතිණිය ගෙන ගිය එම ආර්ථික ප්‍රතිපත්තිය අවම වශයෙන් ට්තවත් වසර දෙක තුනක් හෝ ගෙන යාමට හැකි වූවා නම් , මේ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රටවල් අතර ප්‍රමුඛස්ථානයක වැජඹෙමින් සිටින්නට ඉඩ තිබුණි.

මැතිණියගෙන් පසුව එලෙබි විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ එදා ගොඩ නැගුණු ස්වදේශීක සන්නාමයක් බහුතරයක් විනාශ වී ගියේ , මෙරට වැසියා තව තවත් ආනයන මත යැපෙන, ස්වදේශික සම්පත් භාවිතයෙන් තොරව අතහැර දමන යුගයක් කරා මෙරට ඇද දමමිනි.

එමෙන්ම ශ්‍රී ලංකා දේශපාලනය තුළ කොතරම් කාන්තා චරිත සිටියත් අදටත් ඇය “මැතිණිය” ව සිටින්නේ එදා අගමැති වරිය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් ඇය ගත් තීන්දු තීරණ හේතූවෙනි.

1948 වර්ෂයේදී බ්‍රිතාන්‍යය අපිට නාමික නිදහස් දී රවටා මෙරටින් පිටවෙද්දි, සැබෑ නිදහසක් ලබා ගන්නා දිනයක් පිළිබඳව හැඟීමක් මෙරට වැසියාට නොතිබුණද මැතිණිය දෙවන වර අගමැති ධූරයට පත් වී වසර දෙකක් ඉක්ම වූ තැන ඇය විසින් දුන් පොරොන්දුව ඉටු කරනු ලැබිණි.

1972 වර්ෂයේ මැයි 22 වනදා උදා වූයේ මෙරට ජනතාවට නැවුන් ලෝකයකට දොරගුළු විවර කරමිනි. එතෙක් කාලයක් පුරාවට තමන් උපන් භූමිය තුළම තවත් රටක යටත් වැසියන් ලෙස ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් සැබෑ ලෙසම නිදහස් වූයේ එදිනයි. යම් හෙයකින් එදා 1977 වර්ෂය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මැතිණියගේ පාලනය බිඳ නොවැටුණා නම් , අප විසින් අද මෙම ලිපිය ලියවෙන්නේ ස්වදේශීය ආර්ථිකය මතින් නැගී සිටි, ලොව ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රටක පුරවැසියන් වීමේ අභිමානවත් හදවතින් වීමට ඉඩ තිබුණි.

රටට ආදරය කරන නිදහස් පක්ෂය

එදා 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය ගිලිහෙද්දි ඉන් පසුව උදා වූ කාලය තුළ පක්ෂයක් ලෙස මුහුණ දීමට සිදු වූ බාධක අපමණ විය. දේශපාලන කුමන්ත්‍රණ අනුව මැතිණියගේ ප්‍රජා අයිතිය පවා අහිමි වෙද්දි , නිදහස් පක්ෂයට ආදරය කළ , රටට සැබෑවට ආදරය කළ නායකයන් හා ජනතාව නිදහස් පක්ෂය සමග විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් හා පාක්ෂිකයන් අතර තිබූ සැබෑම සබැඳියාව හේතුවෙන් නැවත වරක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරදා ශ්‍රී 1994 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මෙරට විධායක ජනාධිපතිණිය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වරක් බලය ලබා ගත්තේ යළි කිසිදාකනොබිඳිය හැකි ජනතා ආදරයක්ද සමගිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරම් රටට ආදරය කළ පක්ෂයක් තවත් නොවිණි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරම් රටට ආදරය කළ රාජ්‍ය නායකයන් බිහිවූ අන් කිසිඳු පක්ෂයක්ද නොමැතියි. එදා එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගෙන් ආරම්භ කරමින්, ලොව ප්‍රථම අග්‍රමාත්‍යවරිය බිහිකරමින් මෙරටට ස්වදේශීය ආර්ථික ප්‍රතිපත්තියක් මෙන්ම, මෙරටට පූර්ණ නිදහස ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1994 පසුව දිනිය යුතු අභියෝග රාශියක් විය.

1994 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විසින් භාර ගත්තේ යුද්ධයේ අඳුරු සෙවණැලි වැටුණු රටකි. රටට ඇති ආදරය හමුවේ බෝම්බ ප්‍රහාරයකට ලක්වී ඇසක පවා ආබාධයකට ලක් වන්නට ඇයට සිදු වෙද්දි, ඇය විසින් රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට හා යුද්ධය් අවසන් කිරීමට ගත් තීන්දු තීරණ රාශියක් විය.

එවන් අසීරු සමයක පවා රටේ ජනතාවගේ ආදරය එක සේ පවත්වාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, චන්ද්‍රිකා මැතිණියගෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනතාවට දායාද කළේ , දශක තුනක් පුරා ඇදී ගිය යුද්ධයට තිත තබමින් සංවර්ධනයේ අරුණළු මෙරටට කැඳවමිනි.

2005 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මැති තුමා විසින් යුද්ධය නිමා කරමියි යනුවෙන් ජනතාවට ලබා දුන් පොරොන්දුව එතුමා විසින් සිය පළවන ධූර කාලය තුළදීම ඉටු කර පෙන්වන ලදී.

ඉන් පසුව එළෙඹි සමය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවේ තිබුණේ තිස් වසරක යුද්ධයෙන් විනාශ වූ රට සංවර්ධනය කරන අභියෝගයයි. එම අභියෝගයද භාර ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙරට ජනතාවට දායාද කළ සංවර්ධන ව්‍යාපෘතීන් රාශීයකි.

මහින්ද රාජපක්ෂ යුගයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙරටට තවත් සුවිශේෂි ජනතාවාදී , පරිසරයට ආදරය කරන නායකයෙක් බිහි කළේය. ජනාධිපති වරයෙකු ලෙස ස්වකීය ධූරයේ වැඩ භාර ගත් දා පටන් මෛත්‍රීපාල සිරිසේන මහතාට විසඳීමට සිදුවූ ගැටළුවල නිමක් නොවීය.

විවිධාකාර වූ දේශපාලන හැල හැප්පීම්වලට මුහුණ දීමට සිදු වුවද එතුමා කිසි කළකත් පක්ෂය හා ජනතාව කෙරෙහි තිබූ ආදරය අත් නොහැරි අතර , අභියෝග දහසක් මාධ්‍යයේ වුවද එතුමා සෑම විටම ජනතාව වෙනුවෙන් කැපවිය.

අදටත් පක්ෂය හැර නොයන එතුමා වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවී 70 වසරක් ගෙවෙන තැන පක්ෂයේ ලේකම් වශයෙන් මට කීමට ඇත්තේ , ඔබේ ආදරණීය පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියටත් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ජනතාවාදී, මානව හිතවාදී, සෘජු , අවංක , ප්‍රයෝගික මෙන්ම අභිමානවත් නායකයන් බිහි කරමින් රටත් පක්ෂයත් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

දයාසිරි ජයසේකර – ප්‍රධාන ලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *