කොරොනා හමුවෙහි බුදුදහම

තමන්ට පාලනය කළ නොහැකි තත්වයන්හිදී එම තත්වයන් තමන්ට අවශ්‍ය අන්දමින් හසුරුවා ගැනීම සඳහා අදෘශ්‍යමාන බලවේගයන්ගේ පිහිට පැතීම අනාදිමත් කාලයක සිට මිනිසුන් අතර පැවතෙන පුරුද්දකි. ලෝකයෙහි බොහෝ ආගම් බිහිවී වර්ධනයට පත්ව ඇත්තේ මිනිසුන්ගේ එම අවශ්‍යතාව ඉටු කරදීමට ඉදිරිපත් වූ සංවිධාන වශයෙනි. ඒ හැම ආගමක් ම පදනම් වී ඇත්තේ මිනිසාගේ එබඳු අවශ්‍යතාවන් ඉටු කරදීමේ සර්වබලධාරිත්වයක් ඇතැයි විශ්වාසය තබා ඇති කිසියම් අදෘශ්‍යමාන බලවේගයකි. ඒ අතින් සළකන විට බුදුදහම එබඳු ආගම්වලින් සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි.

බුදුදහම බිහි වන්නේ ලෝකයෙහි පවත්නා සබෑ තත්වය වටහා ගෙන එය ලොවට හෙළි පෙහෙළි කරදීමක් වශයෙනි. එය සර්වබලධාරිත්වය තමන් වෙත පවරා ගත් කිසිදු නොපෙනෙන බලවේගයක නිර්මාණයක් නොවේ. බුදුදහම වූ කලි මානව ප්රඥාවේ මුදුන් පත් වීමක් ලෙස හඳුන්වා දිය හැකිය. එබැවින් ම ලෝක තත්වයන් තමන්ට අවශ්‍ය පරිද්දෙන් වෙනස් කරදිය හැකියයි කෙරෙන ප්රතිඥාවක් බුදුදහම තුළ නැත. එහෙත් එම තත්වයන් ඉක්මවාලිය හැකි මාර්ගයක් බුදුදහමින් නිර්දෙශ වෙයි.

ලොකයෙහි යථාතත්වය දැකිය හැක්කේ ප්රඥාවෙනි. මිථ්‍යාදෘෂ්ටිය ඊ‌ට ප්රතිපක්ෂ ධර්මතාවයි. බුදුදහම පහළ වන්නේ මිථ්‍යාදෘෂ්ටිය නිරාවරණය කර ගැනීමේ ප්රතිඵලයක් වශයෙනි. බුදුදහම ප්රඥාව මගින් ලෝකයෙහි යථාතත්වය හෙළි කොට තිබේ. ලෝකයෙහි ස්වභාවය හෙළි කරන ප්රකාශන රාශියක් බුදුන් වහන්සේගේ දෙශන තුළ ගැබ්ව ඇත. රට්ඨපාල සූත්රයෙහි දැක්වෙන එබඳු ප්රකාශයක් මෙසේය.

අත්තාණො ලොකො අනභිස්සරො – ලෝකයට ආරක්ෂාවක් නැත. ලෝකයට අධීෂ්වරයෙක් හෙවත් බලධාරී දෙවියෙක් ද නැත. මෙයින් කියවෙන්නේ ලෝකපාලක දෙවි කෙනකු නැති බැවින් ලෝකයාට ආරක්ෂාවක් නැති බවයි.

අද ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනාවෙන් ලෝකයාට පැහැදිළි කරදෙන්නේ අවුරුදු දෙදහස් පන්සියයකටත් කලින් බුදුදහමින් පෙන්වා දී ඇති මෙම සත්‍යය නොවන්නේ ද? අදෘශ්‍යමාන බලවෙග කෙරෙහි විශ්වාසය තබා ඇති ආගම් කොරෝනා හමුවෙහි බෙලහීන වී ඇත. කොරොනාවෙන් මිනිසුන් නිදහස් කර දෙන්නැයි කරන යාඥාවලට සර්වබලධාරී දෙවිවරුන් අඳ ගොලු බිහිරි පිළිවෙතක් අනුගමනය ‌කෙරෙන බව පැහැදිළිවම පෙනේ. ඇත්තටම ඔවුන් සිටී නම් තමන්ගේ බලපුළුවන් කාරකම් දැක්වීමට මීටත් වඩා හොඳ යුගයක් තවත් නැත.

කොරෝනා හමුවෙහි බුදුදහම එහි සත්‍යතාවන් තවදුරටත් තහවුරු කරමින් පවතියි. අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයං. මේ බුදුදහම මගින් හෙළි කෙරෙන ලොකයේ ස්වභාවය පිළිබඳ තවත් සත්‍යතාවකි. තමන්ගේයයි කිවහැකි කිසිවක් ලෝකයෙහි නැත. සියල්ල හැර දා යායුතුය යනු එයින් කියවෙන අදහසයි. අඹුදරුවන්, දෙමාපියන්, ඥාතිමිත්රාදීන් හා සැප සම්පත් යන මේ සියල්ල කොරෝනාවෙන් පැහැර ගැනෙයි. මිනිසුන්ට තමන් අසරණ බව පසක් වෙමින් තිබේ. මේ තත්වයෙන් මිනිස්සු බෙහෙවින් කැළඹීමට පත්ව සිටිති. එය ඔවුනට දරා ගත නොහැකි දුකකි. වේදනාවකි. ඊට ද හේතුව වන්නේ බුදුදහමින් ප්රකට කොට ඇති ලෝකස්වභාවයයි. එය දැක්වෙන්නේ මෙසේය. අතිත්තො ලොකො තණ්හාදාසො. මෙයින් කියවෙන්නේ මිනිසා තෘප්තිමත් නොවන සුලු බව හා තෘෂ්ණාවට දාසයකු වී ඇති බවය.තෘප්තිමත් නොවනසුලු බලවත් ආශාවේ වහලෙකු බවට පත්ව ඇති මිනිසාට මෙම ලෝක තත්වයන් ඉවසා දරා ගත නොහැක.

මිනිස්සු ලෝකයට ඇලී ගැලී සිටිති. කැමති හැම දෙයක් ම තමන්ගේ කර ගැනීමට පෙළඹෙති. අකැමැති දෙයට ද්වෙෂ කරති. ආශාවට හා ද්වෙෂයට හිර වූ මිනිසා කඹ දෙකකින් බැඳ දෙපසට අදිනු ලබන්නකුගේ තත්වයට පත්ව සිටියි.

මෙම තත්වයන් තුළ බුදුදහමේ කාර්යභාරය කුමක්දැයි විමසා බැලීම වැදගත් වෙයි. බුදුදහම පහළ වන්නේ ම මිනිසුන්ට සත්‍යය පැහැදිළි කරදීමටයි. අවිද්‍යාවෙන් හා මිථ්‍යාවෙන් අන්ධ වූ මිනිසුන්ට ප්රඥාලෝකය දැල්වීම තරම් වැදගත් වන තවත් අන් යමක් නැත. ලෝකධර්මයන්ට අකම්ප්‍යව මුහුණ දියහැක්කේ මිථ්‍යාවෙන් නිදහස් වූ විටය.

ලෝකයෙහි සැඟවී ඇතැයි මිනිසුන් විසින් සිතනු ලබන බලවේගයන් කෙරෙහි බුදුදහම කිසිදු විශ්වාසයක් නොතබයි. එබඳු බලවෙග ඇතැයි විශ්වාස කරන්නන් බුදුදහමට අනුව මුල මැද අග සිටින කිසිවකුට පෙනීමේ ශක්තිය නැති අන්ධයන් පෙළකට (අන්ධවෙණිපරම්පරා) නොදෙවෙනිය. එබැවින් ප්රථනා, යාඥා, බලිබිලි හදිහූනියම්, ශාන්තිකර්ම කෙරෙහි මිනිසුන් පොළඹවා ලෝක තත්වයන් ශමනය කර ගැනීමට බුදුදහමින් කිසිදු අනුබලයක් නොලැබෙයි. මිනිසුන්ට බොරු බලාපොරොත්තු දී මිනිසුන් රැවටීමට බුදුදහම කිසිසේත් ක්රියා නොකරයි.

බුදුදහමේ වැදගත් හරයන් අත්හැර දේවවාදී ආටෝපයන්ගෙන් බුදුදහම වෙස් ගන්වා ආගමික සංස්ථාව මගින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ඒමේ ප්රතිඵලයක් වශයෙන් නූතන බෞද්ධයෝ ද බුදුදහමින් බලාපොරොත්තු වන්නේ වෙනත් ආගම්වලින් මෙන් ප්රාතිහාර්ය බලයකි. එහෙත් එබඳු ප්රාතිහාර්ය බලයන් තමන් සතුව නොමැති බව හැම ආගමක් විසින් ම කොරෝනා වසංගතය හමුවෙහි  සනාථ කොට අවසන්ය.

ප්රාතිහාර්ය බලයන් මගින් ස්වභාව ධර්මයේ සිදුවීම් වළක්වා ගත නොහැකි වුව ද ඒවාට​ එඩිතරව මුහුණ පෑ හැකි ප්රායොගික ක්රියාමාර්ග බුදුදහමින් අනුමත වී තිබේ. ඒවා අනුගමනය නොකර ප්රාතිහාරය බලයන් බුදුදහම මගින් පෙන්වා දීමට කවුරුන් හෝ සැරසෙන්නේ නම් එය බුදුදහම ද වෙනත් ආගම් ගොඩට එකතු කර දැක්වීමේ ප්රයත්නයක් වනු නොවනුමානය.

කොරොනා වැනි ආපදාවන් හමුවෙහි පිළිපැදිය යුතු ප්රායොගික ක්රියා මාර්ග බුදුදහමින් දැක්වී ඇති සැටි විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි. ලාභයන් අතර වැදගත් ම ලාභය ලෙස බුදුදහම දකින්නේ නීරෝගීභාවයයි. සෞඛ්‍යසම්පන්න බවයි. ආරොග්‍යපරමා ලාභා යන්නෙන් එය පැහැදිළි කොට තිබේ. නීරෝගී බව යාඥාවෙන් හෝ ප්රාර්ථනාවෙන් උදා කර ගත හැක්කක් නොවේ. ඒ සඳහා මිනිසාගේ ම ක්රියාකාරිත්වය අවශ්‍යය. නීරෝගී බව පරම ලාභයයි යන්න ජීවිතාදර්ශයක් කොට ගන්නේ නම් මිනිසා තම සෞඛ්‍යය ගැන අනිවාර්යයෙන් ම අවදිමත්ව සිටි. එසේ වන විට සෞඛ්‍යාරක්ෂිත ක්රියා මාර්ග ගැනීමට මිනිසා පෙළඹවීමට ආරක්ෂක හමුදා යෙදවීමට අවශ්‍ය වන්නේ නැත. පරිසරය ආශ්රයෙන් වැළදෙන බොහෝ රෝගාබාධයන්ට හේතුව වන්නේ සෞඛ්‍යාරක්ෂණය පිළිබඳ නිසි අවධානයනින් තොරව හැසිරීමයි. තමා සෞඛ්‍යසම්පන්න වීම තමාට පරමලාභයක් කොට සළකන්නා නිබඳව ම කවර පරිසරයක් තුළ වුව ද සෞඛ්‍යය පිළිබඳව සවිඥානක වෙයි.

බුදුදහම නිබඳවම අවධාරණය කෙරෙන සතිසම්පජඤ්ඤය හෙවත් සිහියෙන් ක්රියා කිරීම අනතුරු විපත් රොගාබාධ අවම කර ගැනීමට බෙහෙවින් ම ඉවහල් වන්නකි. තමන් කරන සෑම ක්රියාවකදී ම තමන් කරන්නේ කිමෙක්දැයි අවධානයෙන් එම ක්රියාවන්හි නිරත වීම සිහියෙන් ක්රියා කිරීම නමි. එසේ අවධානාත්මකව ක්රියා කරන විට තමන්ගේ මෙන් ම අනුන්ගේ ද පරිස්සම ඉබේම සිදු වෙයි. නිදසුනක් වශයෙන් කොරෝනා ආපදාවෙහිදී අවධාරණය කෙරෙන මුවවැස්ම පිළිබඳ භාවිතය ගතහැකිය. නිසි ක්රමවේද පිළිබඳ හැඟීමෙන් එය භාවිත කෙරෙන්නේ සිහිනුවණ පෙරදැරි වූ විටය. සමාජ දුරස්ථ​ භාවය පිළිබඳ කිවයුත්තේ ද එයම ය.

ආරක්ෂාකාරී වීම කොරෝනාවෙන් නිදහස් වීමට ඇති එකම මාර්ගය බව සෞඛ්‍යබලධාරීහු පවසති. තමන් රෝගයට ආවරණය නොවී ආරක්ෂා වන්නේ නම් එය අනුන්ගේ ආරක්ෂාව ද තහවුරු කරන්නකි. පුද්ගලයන් රෝගයට ආවරණය වීම රෝගය සමාජගත වීමේ හේතුවයි. එය තමන් පමණක් නොව මුලු මහත් සමාජයක් ම විපතට හෙළීමේ ක්රියා මාර්ගයක් වෙයි. තමන්ගේ යහපත මෙන් ම අනුන්ගේ යහපත ගැන ද උනන්දු වීම බුදුදහම ජනතාවගෙන් අපේක්ෂා කෙරෙයි. තමන් රක්නේ අනුන් රකියි (අත්තානං රක්ඛන්තො පරං රක්ඛති). අනුන් රක්නේ තමන් රකියි (පරං රක්ඛන්තො අත්තානං රක්ඛති) යන පරමාදර්ශය බුදුදහමින් ඉදිරිපත් වන්නේ එබැවිනි. අන්‍යොන්‍ය සහජීවනය උදෙසා ක්රියා කිරීම මෙයින් අදහස් කෙරෙයි. විශෙෂයෙන් කොරෝනා ආපදාවේදී කවුරුන් විසිනුත් අනුගමනය කළයුතු ඉතාමත් වටිනා ක්රියා පිළිවෙතක් බුදුදහම මගින් යථොක්ත මූලධර්මයෙන් ඉදිරිපත් කරයි.

ශක්තිමත් ව හා ධෛර්යමත් ව සිටීම විශෙෂයෙන් ආපදාවන්හි දී අත්‍යවශ්‍ය අංගයක් වෙයි. පුද්ගලයකුගේ ශක්තියෙහි හා ධෛර්යයෙහි තරම ඔහු ආපදාවන්ට මුහුණ දෙන ආකාරයෙන් දත හැකියයි බුදුදහම පවසයි. ආපදාසු ථාමො වෙදිතබ්බො යනුවෙන් දැක්වෙන්නේ එයයි. කායික හා මානසික ශක්තිය මගින් ආපදාවන් ප්රතිබාහනය කිරීමට හැකියාව ලැබෙයි. ප්රතිශක්ති වර්ධනය යනුවෙන් වෛද්‍ය විද්‍යාවෙන් අවධාරණය කෙරෙන්නේ කොරෝනා වැනි ආපදාවකදී ඇති වන ශාරීරික පීඩනය අවම කරගැනීමට හැකි කායික ශක්තියයි. මානසික ශක්තිය ද ඊට අනුබලයක් වෙයි. මෙම ශක්තීන් තමන් තුළ පවත්වා ගැනීම පුද්ගලයාගේ වගකීමක් වෙයි. එම වග වීම් පැහැර හරින්නේ නම් එය තමාගේත් සමාජයේත් පීඩණයට ම හේතු වෙයි.

බුදුදහමින් පෙන්වා දෙන කරුණා මෛත්රී වැනි ගුණධර්මයන්ගේ අගය ආපදාපන්න අවස්ථාවන්හිදී වඩාත් තහවුරු වෙයි. කරුණාවේ මෙන් ම මෛත්රියේ ද ප්රායෝගික අර්ථය වන්නේ දුකින් පෙළෙන්නන් සුවපත් කිරීමයි. සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා (සියලු සත්වයෝ සුවපත්ව ආරක්ෂිතව වෙසෙත්වා) යන වින්තනය අවංකව පවත්වා ගන්නේ නම් ඔවුනොවුන් ආරක්ෂා වන ක්රියා මාර්ග ගැනීමට හැම දෙනෙක් ම උත්සුක වනු ඇත. කොරෝනා ආපදාව හමුවෙහි මෙත් කුළුණු ගුණයන්ගේ ප්රායෝගික ප්රතිඵල විවිධ අංශ කෙරෙහි යොමු කරවා ගත හැකිය.

මිනිසා විෂයෙහි සිදුවන ආපදාවන් ස්වාභාවික හේතූන් මගින් මිස දෙවකෝප හෝ දෙවශාප මගින් සිදු නොවන බවට අටුවා ටීකා අනවශ්‍යය. ඒවාට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය වූවකි. එහෙත් ඒවාට සාර්ථකව මුහුණ දීමේ වගකීම ඇත්තේ ද මිනිසාට මය. එහිලා තමන්ගේ ගැලවුම්කරු වන්නේ තමන් මය. තමන් හැර තමන් ගලවා ගැනීමට හැකි වෙනත් ගැලවුම් කරුවකු වන්නේ කවරෙක්ද?

අත්තා හි අත්තනො නාථො – කො හි නාථො පරො සියා

මහාචාර්ය කපිල අභයවංස

(colombo telegraph)

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *