කොවිඩ් -19 මධ්‍යයේ ඉන්දීය කෘෂිකර්මාන්තය ඉලක්ක පසු කරයි

සාගින්නෙන් මිදීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්කයක සපුරා ගැනීමට ඉන්දියාව අදිටන් කරගෙන සිටින බව මධ්‍යම කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය

දැඩි කොවිඩ් -19 වසංගතය තුළදී පවා ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය හොඳින් ක්‍රියාත්මක වූ අතර ආහාර නිෂ්පාදනය සහ අපනයනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙමගින් ඉන්දියාව ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට දායක වූ බවත් ඉන්දීය මධ්‍යම රජයේ කෘෂිකර්ම ඇමති නරේන්ද්‍ර සිං තෝමර් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization – SCO) සාමාජික රටවල කෘෂිකර්ම ඇමතිවරුන්ගේ 6 වන රැස්වීමට සහභාගී වෙමිනි.

පසුගිය 12 වැනිදා ටජිකිස්තානයේ දුෂාන්බේ හිදී මෙම හමුව සංවිධානය කරන ලදී.

‘සාගින්න තුරන් කිරීම, ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණය ලබා ගැනීම සඳහා තිරසාර සංවර්ධන ඉලක්කයක් සපුරා ගැනීමට ඉන්දීය රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු සඳහන් කළ බව රජයේ නිල මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ඉන්දියාව සඳහා මෙන්ම ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සදහා ද ඉන්දිය කෘෂිකර්මාන්තය සැම විටම ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව ටෝමර් මහතා සඳහන් කළේය. ගෝලීය කොවිඩ් වසංගතය ආහාර සුරක්‍ෂිතතාවය සහ සැපයුම් දාමයන් කෙරෙහි බලපෑම් කිරීම හේතුවෙන් මෙම අංශය කෙරෙහි ඉන්දීය රජය දැඩි අවධානයක් යොමු කළ බව ද ඔහු පැවසීය.

මෙම සන්දර්භය තුළ, ආහාර සැපයුම් දාමයන් ක්‍රියාකාරීව පවත්වා ගැනීමට සහ ගොවීන්ගේ ජීවනෝපායන් ආරක්‍ෂා කර ගැනීමට රටවල් අතර සමීප අන්තර් ක්‍රියාකාරිත්වයක හා දැනුම හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

ඉන්දියාව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලබා ඇති අතිවිශාල වර්ධන මාවත සමඟ ද්විපාර්ශවීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් ද අඛණ්ඩව හොඳම භාවිතාවන් හුවමාරු කර ගනිමින් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල හැකියාවන් ගොඩනඟා ගනු ඇත. ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව එමඟින් ඔවුන්ට ස්වයංපෝෂිත වීමට සහ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට ද හැකි වේ.

2022 වන විට ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීමේ ඉලක්කයට අනුකූලව ඉන්දීය රජය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයාට අනුව, ජල සම්පත් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම, වාරිමාර්ග සඳහා නව යටිතල පහසුකම් ඇති කිරීම, සමබර පොහොර භාවිතය සමඟ පාංශු සාරවත් බව රැක ගැනීම, කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය, ගොවිපොළෙන් වෙළඳපොළට සම්බන්ධතාවය සැපයීම, යටිතල පහසුකම් ගොඩනැගීමට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධ යෝජනා මේවාට ඇතුළත් ය.

ග්‍රාමීය තරුණයින්, ගොවීන් සහ ගොවි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නව තාක්‍ෂණයන් දියුණු කිරීමට සහ ඒවා විද්‍යාගාරය තුළ සිට ගොවිබිම් දක්වා ව්‍යාප්ත කිරීමට ඉන්දීය රජය පියවර කිහිපයක් ගෙන ඇති බව ඔහු පැවසීය.

කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ඉන්දියාව සන්ධිස්ථාන කිහිපයක් සපුරා ඇති බව ද කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.

‘‘ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දැක්ම, අපේ කෘෂිකාර්මික විද්‍යාඥයින්ගේ දක්‍ෂතාව සහ අපේ ගොවීන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාව ස්වයංපෝෂිත වීම පමණක් නොව රට තුළ ආහාර හා ධාන්‍ය අතිරික්තයක් වීමයි. ඒ අනුව අද ඉන්දියාව ධාන්‍ය, පලතුරු, එලවළු, කිරි, බිත්තර සහ මාළු වැනි ආහාර නිෂ්පාදන කිහිපයක ප්‍රමුඛ නිෂ්පාදකයෙකු වන බවට පත්ව සිටිනවා‘ යැයි ද අමාත්‍යවරයා කීවේය.

තජිකිස්තානයේ කෘෂිකර්ම අමාත්‍ය සියොසෝඩා සුලෙයිමන් රිසෝයි, මහජන චීන සමූහාණ්ඩුවේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් නොරොව් ව්ලැදිමීර් ඉමමොවිච්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍වොංයුයු, තජිකිස්තානයේ ආහාර සුරක්ෂිතතා කමිටුවේ සභාපති ෆයිසුල්ලොසෝදා මුහම්මද් සෙයිද් උබයිදුල්ලෝ සහ අනෙකුත් සාමාජිකයින් මෙම හමුවට පැමිණ සිටියහ.

indianewsnetwork.com ඇසුරිනි.

(lankaepress)

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *