තරුණයන් පණ දුන් ගිලන් රථය නාමල්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පිරිනමයි

ගම්පහ මල්වතුහිරිපිටිය තරුණ ප්‍රජාව, ව්‍යාපාරිකයන් සහ පොලිසිය එක්ව අලුත් වැඩියා කළ ධාවනයෙන් ඉවත්කර තිබූ ගිලන් රථයක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (08) දින බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පිරිනැමුවේය.

ස්වශක්ති තරුණ සංවිධානය, මල්වතුහිරිපිටිය ව්‍යාපාරික ප්‍රජාව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමින් මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය විසින් මෙහෙය වූ මෙම ප්‍රජා සද්කාර්යයට දායක වී තිබිණි.

ඒ අනුව කලක් මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට දිරාපත්වෙමින් පැවති මෙම ගිලන් රථය ඉතා නවීන පහසුකම් සහිතව අලුත්වැඩියා කර තිබේ.

ඊට පෙරමුණ ගත් ස්වශක්ති තරුණ සංවිධානය ඇතුළු දායකත්වය සැපයූ සියලුදෙනා මෙම ගිලන් රථය අද දිනයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට භාර දුන්හ.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින රෝගීන්ගේ පහසුව වෙනුවෙන් කළ මෙම සද්කාර්යය අගය කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ ගිලන් රථය එම අවස්ථාවේ දීම බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

ගෝලීය අභියෝගයක් වන කොරෝනා වසංගතය තත්ත්වයට රටක් ලෙස අප සාර්ථක මුහුණ දෙන මෙම අවස්ථාවේදී ලාංකීය තරුණ ප්‍රජාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගනිමින් මෙවැනි සද්කාර්යයන් සඳහා යොමුවීම ඉතාම ප්‍රශංසනීය යි.

ඉදිරියටත් මෙවැනි කටයුතුවල නොපැකිළිව නිරතවීමට තරුණ ප්‍රජාව ඇතුළු සියලුම දෙනාට මා ආරාධනා කරනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා, මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා, ස්වශක්ති තරුණ සංවිධානයේ සාමාජිකයන් ඇතුළු ප්‍රදේශයේ තරුණ පිරිස හා සෞඛ්‍ය අංශ නිලධාරීහු සහභාගී වුහ.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *