මාධ්‍යවේදී චමුදිතගේ ජිවිතාරක්ෂව තහවුරු කරන්න

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියකු හා  යූටියුබ් නාලිකාවක ප්‍රධානියා ලෙස සේවය කරන, ප්‍රකට මාධ්‍ය‌වේදියෙකු  වන චමුදිත සමරවික්‍රම මහතා තමන්ට එල්ල වී ඇති බරපතල ජීවිත තර්ජනයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට හේතු වී තිබේ.

‘හරීන්ද්‍ර ජයලාල්‘ යූ ටියුබ් නාලිකාව සමඟ ජුනි 05වැනිදා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරන්නේ තමන් මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තර්ජනය කර ඇති බවයි. තර්ජනය පිළිබඳ සියලු තොරතුරු ලිපියක ලියා තබා, එක් අයකුට පමණක් එය තිබෙන තැන හෙළි කරන බවත්, තම ජීවිතයට හානියක් සිදු වුවහොත් එම ලිපියේ සඳහන් පාර්ශ්ව ඊට වගකිවයුතු බවත් එම සාකච්ඡාවේදී ඔහු කියා සිටී. එමෙන්ම, ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති ප්‍රකාශ කළ ද, ජූනි 6 වැනි දින ඊමේල් මඟින් ඔබතුමා වෙත පැමිණිලිලක් ද කර ඇත. 

ඉකුත් වසර 25ක පමණ කාලයක් රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලනඥයින් හා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කර ඇති, එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති වෘත්තීය මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතා කළ මෙම ප්‍රකාශය බැරෑරුම් ලෙස සැලකිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි.

මාධ්‍යවේදියකුට ජීවිත තර්ජනයක් එල්ල වූ අවස්ථාවක රාජ්‍යයේ රැකවරණ ලැබීම ගැන විශ්වාසයක් නොමැති වාතාවරණයක් උද්ගත වී ඇත්නම් එය අතිශය බිහිසුණු තත්ත්වයකි. මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කර සත්‍යය හෙළිදරව් කරන ලෙසත්, චමුදිත සමරවික්‍රම මහතාට ජීවිත තර්ජනයකින් තොරව සිය වෘත්තියේ නිරත වීමට ඇති අයිතිය සහතික කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔබතුමාගෙන් දැඩි ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටී.

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *