සිවිල් පරිපාලකයන්ගේ ගමනක අවසානය

මා මේ මොහොතේ කියවමින් සිටින්නේ ඊසොප්ය. ව්‍යාජ අන්දරේලා හා බඩී නස්රුදින්ලා දිනෙන් දින පැටව් ගහන මෙරටට දිවමන් ඊසොප් තවදුරටත් වටීදැයි යන්න නම් සැක සහිතය. ඔහු මෙසේ ලියයි.

”We hang the petty thieves and appoint the great ones to public office”.

Public Office යන්න ජනරජයේ  නිලවරම යටතේ මහජනතාව අභියස දරන වගකීම ඔස්සේ ඉටුකරන රාජකාරිමය බැඳීමක් වන්නේ නම් ඊසොප්  මේ කියා ඇත්තේ දේශපාලකයන් හා නිළධාරින් යන දෙපිරිස ම ගැනය. ඉදින් මෙලෙස අප අභිමුව සිටින නිළධාරී බහුතරය ද අපහට එල්ලා දමන්නට අතපසු වූ පිරිසේ අවශේෂ ගණයා යැයි කීම ගැන මා හා සටනට නොපිවිසෙන්න.

එකී රාජ්‍ය නිළධරයන්ගේ කාර්යභාරය පිළිබඳ නැවතත් සාකච්ජා මණ්ඩප උණුසුම් වී ඇත. ඊට ආසන්නතම නිමිත්ත වී ඇත්තේ රජයේ විධායක නිළධර චමිල ජයසිංහට එරෙහිව හදිසියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරට පැමිණීමයි. එකී සම්ප්‍රාප්තියේ පවත්නා දුර්දාන්ත බව වටහා ගැනුමට ඔබ වෙත දෙයාකාර වූ මානයක් විවර කරන්නෙමි.  පළමුවැන්න නම් එකී සිදුවීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වර නැඟූ ආකාරයයි. ඔහුහේ සුපුරුදු සෝපාහාසාත්මක මෙන්ම අවඥඥා සහගත හඬින් පැවසුවේ රජය අපහසුවට පත් කිරීමට තැත් දැරුවේ යැයි සනාථ වූ රජයේ සේවකයෙක් ගෙලිඔය ප්‍රදේශයේදී අල්ලා ගත් බවයි. දෙවැන්න නම් එයම ප්‍රතිරාව කල දේශපාලකයෙකුගේ අනුග්‍රහය ලබන වෙබ් අඩවියක් වෙත අදහසක් පළ කල දේශපාලන ඇබිත්තයෙක් දක්වා තිබුණේ යහපාලනය යටතේ රැකියාව ලත් එකෙක් බොරු කියා හසුවී ඇති බවත්, ඒකාට නිසි දඬුවම් දිය යුතු බවත්ය.

දැන් මම ඔබෙන් අසමි. චමිල ජයසිංහ අධිකරණය මඟින් යම් දිනෙක නිදොස් කොට නිදහස් කළහොත් ඔහුට සිදුවූ අවමානය ප්‍රතිපූරණය කරන්නේ කවරෙක්ද? මෙවන් අපහාසාත්මක හා වෛරී ප්‍රකාශ හමුවේ නැඟී සිටීමට චමිල ජයසිංහ වැනි විධායක නිළධරයෙකු සතුව පැවතිය යුතු ප්‍රතිචාරාත්මක විභවතාව කෙතරම් ප්‍රමාණයක එකක් විය යුතුද? 

එහිලා අපගේ වෙසෙස් අවධානය යොමුව පවත්නා ක්‍ෂේත්‍රය එය ම නොවේ. මෙවැනි කුකුස හා  අපුල දනවන ක්‍රියාන්විතයක් අභිමුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිළධාරීන්ගේ සංගමය (සාසා) හැසිරුණු ගුප්ත හා මායාකාරී විලාසයයි  අදාළ නිළධරයා අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක්ම සමාජජාල අවකාශය තුළ රැව්පිළිරැව් දුන් පොදු මතයක් ව  පැවතියේ මෙකී අවනඩුව හමුවේ සාසාව මෞන වෘතය රකින්නේ මන්ද යන්නයි. එහෙත්  පසුව වින්දිතයා ම සාසාවට ප්‍රණාමය දැක්වීමෙන් ජනගත වූ ප්‍රතිතර්කය නම් ඔවුන් රහසිගත මෙහෙයුමක් දියත් කොට ඇති බවත්  තම තම පෞද්ගලික බලපෑම් කිරීමේ හැකියාවෙන් සිදු වූ එකී මෙහෙයුම අවසන, සාසාවට ම බැරකොට ඇති බවත්ය.

සැබවින්ම හැරී එස්. ට්රුමන් කියු කතාව ඇත්තය. ”ඔබට ඔවුන් හට යමක් තහවුරු කිරීමට නොහැකි නම් ඔවුන් අවුල් කරන්න”. අවාසනාවට සාසා ව අප දන්නා ඉතිහාසයේ පටන්ම යමක් තහවුරු කොට නම් නැත. කරන තරමක් කර ඇත්තේ අප අවුල් කිරීමයි. තම විධායක නිළධරයෙක් ගලග්‍රහයෙන් ගත් විධායකයට එරෙහිව මෙලෙස හැංගිමුත්තන් සෙල්ලමේ යෑමට ඔවුන්ට සිදුවූයේ ඇයි? මේ මෙරටේ ප්‍රමුඛතම සේවාවේ වැඩ මාදිලිය නම් එකී සේවාව භංග වේවා යැයි පතනවා හැර වෙන අන් යමක් පතන්නද?

රජයේ සේවකයන්ගේ භාෂණයේ නිදහස හා පරිපාලනමය පරිපටින්හි පවත්නා යල්පැනගිය ස්වභාවය පිලිබඳ අනගි සංවාදයක් උදෙසා ස්වර්ණමය වේදිකාවක් තැනිය හැකිව තිබු මෙකී සංසිද්ධිය අප පරිපාලකයන් හට නිහඬව දරා ගැනීමට සිදු වූයේ මන්ද යන්නට ලසිත් මාලිංග උපුටා දක්වා පිළිතුරක් දීමට මා කැමැත්තෙමි.

ඔහුගේ යසස නැඟුණු කාලයේ පවා මෙරටේ මාධ්‍ය ඔහු බිම පෙරලා දමමින් පහර ගැසුවේ මන්දැයි වරක් රාවය පුවත්පත් මාධ්‍යවේදී ටිරන් කුමාර බංගමආරච්චි විමසුවේය. ඔහුගේ පිළිතුර මෙයයි.

”සිංහයා ඉඹින්න බැරි වුණා. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියනම් මම මේ රටේ වීරයෙක්”.

ස්ලින්ගා කවර වික්‍රම කලද ඔහු ඔහුගේ දේශප්‍රේමය පළ කල යුතුය. ඔහුගේ යසස තම දේශපාලන භාග්‍යය උදෙසා උරච්චි කෙරුමට ජරපත් දේශපාලකයන් හට උරගලක් කොට දිය යුතුය. පරිපාලකයන් හටද වී ඇත්තේ මෙයමය. වත්මන් රජයේ කවර හෝ පිළිවෙතක් වේවා එය විවේචනය කළහොත් සිදුවන්නේ චමිල ගිය තැනට යන්නටය. එබැවින් රහසිගත මෙහෙයුම් ඔස්සේ ජාම බේරාගැනීම තවදුරටත් කල මනාය.

නිදහස් අධ්‍යාපනයේ ජීවමාන ප්‍රතිමූර්ති වන් මෙරටේ සිවිල් සේවකයන්  තවදුරටත් ජනරජය උදෙසා වගවීම දරන්නන් නොව ස්වතන්ත්‍ර පැවැත්ම අහිමි වූ අරුම පුදුම සත්ව කොට්ඨාශයකි. එකී ස්වායක්ත බලය නැවත දිනාගැනීමේ සංගායනාවක් කරන පාටක් හෝ පේන මානයක නැත. වසර 1970 දී පමණ අමාත්‍යංශ ලේකම්වරයා දේශපාලන වියගසේ ගැට ගැසූ කාලයේ පටන් ඔවුන් තම පැවැත්ම උදෙසා එකිනෙකා කුළල් කා ගැනීම පමණි  මෙතෙක් සිදුකොට ඇත්තේ.

වත්මන් සාසා  ව වෙත අප නඟන චෝදනා මෙපරිදිය.

01. සාසා සභාපතිවරයා එහි නයුවා වූයේ වජිර අබේවර්ධන සමයේ ලත් දිසාපතිකම රාජපක්‍ෂ රෙජීමයේ හමුවේ රැකගැනීම උදෙසාය. එනයින් එකී ධූරය ඔහුට ගඟ තරණයට එක්කරගත් පාරුවක් පමණි

02. යහපාලන ආණ්ඩුව සමයේ  නිදහස් මාවත කැළඹු විධායක නිළධරයන් එලෙස හඬ නැගුවේ කිසිදු ප්‍රතිවිපාකයක් තමන් වෙත නොලැබෙන බව දැනදැනය. වර්තමානය පිළිබඳව නම් ඔවුන් හට ඇත්තේ අවිනිශ්චිත හා බියජනක හැඟීමකි. එනයින් සියල්ලෝ ගලේ පැහැරූ බළලුන්ය.

03. නිර්ව්‍යාජ වෘත්තිමය අරගලයක් මතින් තම සේවාවේ අභියෝග ජයගැනීමට සමත් විදර්ශනාවක් සහිත කිසිවෙක් අදවනවිට සාසා විධායක සභාවේ නැත. එහෙත් තමනට සමාන්තර සේවාවක  එකෙකුගේ සේවාවට ගුග්ලි දමන්නේ කෙලෙස ද යන වගනම් කදිමට දන්නේය. (දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සැළසුම්  අධ්‍යක්ෂ ධූරය ගැන චිත්‍රානන්ද නම් ලේකම්වරයෙක් යවා ඇති ලිපිය කියවා බැලීම යෙහෙකි).  එන්නත්කරණයේ ප්‍රමුඛතාව ඉල්ලා රජයට ලියන්නේද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයයි.

එහි සභාපති දිනිප්‍රිය හේරත් මහතාට ඇති එඩිය සාසා  සභාපතිට නැතැයි මම කරන යෝජනාවට ඔබ එකඟද?

මෙවන් පරිපාලකයන් සිටින තාක් අපට සිදුවන්නේ  කුමාරදාස සපුතන්ත්‍රී ලියන ලෙස ම බලා සිටින්නටය. හේතුව  රටක අධම දේශපාලකයන් බිහිවන්නේ මන්දබුද්ධික ජන්දදායකයන්ගේ ජන්දයෙන් හා පරිපාලකයන්ගේ ආශීර්දවාදයෙනි.

එබැවින් අපි දිගටම ඔබලා දෙස බලා සිටින්නෙමු!

අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා – රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා

මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා – පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

මංජුල ගජනායක

You might like

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *