ධර්මචක්‍රයක් පළඳින්නෙකුගේ අවංකත්වයේ සීමාව කොතැනද?

නිශ්චිත දිනයක් පිළිබඳ නිනව්වක් නම් නැත. ඊට කාර්යාලයීය ලේඛන පිරික්සිය යුතුය. එහෙත් නිසැකවම ඒ පසුගිය ජනාධිපතිවරණ සමයයි.

එවකට ශ්‍රී ලංකා පොලීසිය හා අප (පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මා සහ චන්දන වික්‍රමරත්න මහත්මා අතර සිදුවූ දිගු කතාබහක අවසන් ප්‍රථිපලය වූයේ වඩාත් විධිමත් නීතිමය ක්‍රියාවලියක් උදෙසා මැතිවරණ පැමිණිලි යාන්ත්‍රණය ශක්තිමත් කල යුතු බවත්, ඊට සාක්‍ෂි එක්රැස් කිරීමේ පිළිවෙල සඳහා නවමු ප්‍රවේශයක් හඳුන්වා දිය යුතු බවත්ය. පසුව ඇතිවූ එකඟතාව නම් සුක්‍ෂම කැමරා උපකරණ හා අභිනවයෙන් නිමැවූ ආරක්ෂිත කබා සහිත උපකරණ කට්ටලයක් බැගින් දිවයින පුරා විසිරුණු වැඩි වගකීමක් ලත් පොලිස් නිළධරයන් වෙත ලබා දිය යුතු බවයි.

එවැනි ඉල්ලීමක් සපුරාලිය හැකි ප්‍රමාණයේ කැමරා නිෂ්පාදකයෙකු ක්‍ෂණිකව මෙරටින් සොයාගැනීම දුෂ්කර වූ බැවින් එකී උපාංග තම සබඳතා ද උපයෝගී කරගනිමින් දෙසතියක කාල සමයක් තුළ ඇනවුම් කොට භාරදීමට තරම් මා සුමිතුරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සමත් විය. තවත් අප හිතවත් දේශීය නිෂ්පාදකයෙකු අදාළ ජැකට්ටු ඇණවුමද දෙසතියක් ඇවෑමෙන් සපුරාලීමට සමත් විය.

එකී සියල්ල නිල වශයෙන් පිරිනැමු දින අදාළ කෙටි හමුව අවසන චන්දන වික්‍රමරත්න මහතා වෙතින් අප දෙදෙනා වෙත පණිවුඩයක් ලැබිණි. ඒ මොහොතකට තම නිල කාමරයට පැමිණෙන ලෙසයි. පොලිස් ප්‍රධාන ශ්‍රවණාගාරයේ සිට ඔහු වෙත ගිය අප ඉතා සුහදව හා දයාර්ද හදින් පිළිගත් ඔහු අදාළ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් අප වෙත අපමණ ස්තූතිවන්ත වන බව කියන්නට ද පසුබට නොවීය. එමතු නොව මඳක් හැඟීම්බරවූ ඔහු අප හා කෙටි කතාබහකටද යොමුවිය. අඛණ්ඩව අදාළ සාකච්ජා සඳහා සහභාගී වෙමින් මෙකී කාර්යය සඵල කරගන්නට ගත් උත්සහය ඔහුගේ මුහුණේ ලියැවී තිබිණි. සැබවින්ම එකී අදහසේ නිර්මාතෘවරයාද ඔහු විය.

මේ ඔහුගේ වදන්. ” මම වරක් ඉන්දියාවට ගියා. එහිදී තපසට යොමුවු ඉතා චාම් ගති පැවතුම් ඇති භාවනාවට පමණක් යොමුවූ තැනැත්තෙක් මාගෙන් ආගිය තොරතුරු අසා යම් උපහැරණයක් කියන්නට වුණා. ඒ දිවියේ සිදුකරන්නට අපහසු ම කරුණු ත්‍රිත්වයක් ගැන. පළමුවැන්න බලය ලබාගන්නේ කෙසේද යන්න හා දෙවැන්න ලබාගත් බලය අඛණ්ඩව පවත්වා ගන්නේ කෙසේද යන්න. තෙවැන්න නම් එලෙස ලබා ගත් බලය අතහැරීම”. මේ තෙකරුණ අභ්‍යාසයෙන් ජයගන්න කෙනා ජීවිතය ජයගන්න බවයි ඔහු කීවේ”. (මාහට සිහිකරන්නට හැකියාව ඇත්තේ එපමණකි. කතාව අඩුවැඩි වශයෙන් වෙනස්විය හැක). ඔහු තවත් හැඟීම්බරව මෙලෙසත් කියන්නට වුණා.

”මට කවදාහරි ඕන ගෙදර ළඟ තියෙන පෙට්ටි කඩෙන් පාන් රාත්තලක් අරගෙන ෂොපින් බෑග් එකකට එනවිට ඉදිර්යෙන් මුණගැහෙන මනුස්සයාගේ අපවාදයට ලක් නොවී ඉන්න සහ නිසිකාලෙට විශ්‍රාම ගිහින් මගේ හිතවතුන් සමඟ ජීවිතය බෙදා ගන්න”

සැබවින්ම එකී වදන් හුදු ව්‍යාජ ඒවා නොව එවකට ඔහු වෙතින් පළවූ අව්‍යාජ වදන් විය. තමා මෙන්ම තම හාත්පස ලෝකයම තමන් සේ අවංක යැයි සිතා පවිටු දේශපාලකයන්ගේ කුප්‍රකට උගුලකට පැටළුණු පූජිත් ජයසුන්දර මහතාගෙන් හිස්වූ අසුන ලැබුණු සමයේ චන්දන වික්‍රමරත්න යනු සාතිශය නිහඬ බවක් පළකල රාජකාරියට ම ඇරුණු හදින් හා බිමට රුවාගත් හිසින් යුත් නිහතමානී නිළධරයෙකි. ශ්‍රී ලංකා පොලීසිය තුළ සදාතනිකව පවත්නා මජර උසස්වීම් පෙළපාලියේ කිසිදිනෙක නැට්ටුවෙක් ව ලෝකයක් හිනස්සන්නට පෙරට නොආ ඔහු, දිනකට තෙපළන වදන් ප්‍රමාණය අසල සිටින්නෙකුට වුව පහසුවෙන් ගිණිය හැකි තරමේ අවම ප්‍රමාණයක් බවද නොලියා සිටිය නොහැක.

මා දැන් මාගෙන් මෙසේ අසා ගනිමි. මේසා සුපසන් හා ප්‍රදර්ශනකාමී නොවූ පොලිස්පතිවරයෙකු හමුවේ ශ්‍රී ලංකා පොලීසිය ගමන් කරමින් සිටින්නේ කවර නිරයක් වෙතද? ශ්‍රී ලංකා පොලීසිය යනු දොසක් මිස කිසිදා පැසසුමක් නොලබන ආයතන ව්‍යුහයකි. වසර 1866 සැප්තැම්බර් මස 03 වැනිදා ප්‍රතිෂ්ඨපිත මෙකී බලසම්පන්න ආයතනය මෙහෙයවන 35 වැනි අදියුරුවරයා අප හිතවත් චන්දන වික්‍රමරත්න මහත්මාය. වසර 2019 වනවිට 85,603 ක අනුමත කාඩරයක් සහිත මෙකී පොලීසිය, කිත් පැසසුම් නොලද්දේ වුව ජරපත් දේශපාලකයන්ගේ අත පෙවීම් මැද්දේ මේසා දුර ගමන් කිරීම ම ප්‍රාතිහාර්යත්මක සංසිද්ධියක් බව නොලියා සිටිය නොහැක.

පොලීසිය පිළිබඳ සමාජගත වන නවතම දෝෂ දර්ශණය වන්නේ පාතාල සාමාජිකයන් හා නායකයන් යැයි පොලීසිය ම නාමෝපලක්ෂිත පිරිසක් ක්‍රමිකව මරා දැමීමේ ක්‍රියාවලිය උච්චස්ථානයට පත්ව තිබීමයි. කොස්ගොඩ තාරක හෝ ඌරු ජුවා ගැන අප කිසිදිනෙක සංවේදී නොවන අතරම තම දේශපාලක පියවරුන්ගේ අනාගතය සවිමත් කරනු වස් අවිහිංසක ගැහැණුන්ගේ හා පිරිමින්ගේ අතුණුබහන් එළියට ඇද භීෂණය පැතිරූ එවන් නරුම තිරස්චිනයන් වෙත නිසි පාඩම් ඉගැන්විය යුතුමය. එහෙත් එකී යුක්තිමය ප්‍රවේශය උදෙසා ස්ථාපිත නිසි අධිකරණ පද්ධතියක් මෙරටේ ක්‍රියාත්මක බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. එවන් පිළිගත් ආයතනික ව්‍යුහයක් අභියස මෙකී පාතාලයන් උත්ප්‍රාසාත්මක හා ළදරු ජවනිකා මතින් මරාදමන්නේ කවර අභිලාශයක් සංතර්පණය උදෙසාද?

මෙකී ඝාතන හමුවේ අටඉස්බක් උඩපැන ප්‍රශස්තිස්තෝත්‍ර ගයන බුද්ධිහීන පුරවැසි ප්‍රජාව හා අතවැසි මාධ්‍යවේදී පරපුර වෙත දැන්විය යුතු එකම කරුණ නම් මෙකී එක් මරණයක් සමඟ සදාකාලිකව නිධන්ගත වන රහස් ප්‍රමාණය අනන්ත අප්‍රමාණ වියහැකි බවත්, එලෙස වැසෙන සෑම රහස් කවුළුවක් තුළම දුර්දාන්ත දේශපාලකයන්ගේ නින්දිත අතීතය සදහටම වැළලෙන බවත්ය. මෙලෙස බලහත්කාරයෙන් වළලන යුක්තිය හා සාධාරණත්වය නම්වු දේව දුතිකාවන් මරහඬ තලන්නේ අප චිරාත් කලක් ඇගයීමට බඳුන් කල පොලිස්පතිවරයෙක් හමුවේ වීම අප හද කම්පා කරන්නේය. ඔහුගේ නිහඬ චර්යාවේ වපසරිය දන්නා අප මෙකී පොලිස් අවස්ථාවාදය හමුවේ වික්‍ෂිප්තව සිටින බව සටහන් කෙරුම වටී.

අපි එක් කරුණක් හොඳින් දන්නෙමු. එනම් තුනෙන් දෙකක බලයක් සහිත හා 88,000 ක පිරිසක් පාලනයට අකාර්යක්‍ෂම අමාත්‍යවරුන් දෙදෙනෙක් පිරිවරා සිටින පොලිස්පතිවරයාට නිදහසේ හුස්මක් ගැනීමේ ඉඩප්‍රස්තාවක් ඇතිද යන්නයි. ඊටත් වැඩිමනත් වශයෙන් බලපවත්වන සත්‍යය නම් පොලීසියේ බලය පතුරා සිටින රෝහණලා, බන්ධුලා, සේතන්ලා හා සීමන්ලා කිසිදිනෙක ඔහු ආරක්ෂා නොකරන බවත් විදුරවි හදින් හා මෘදු භාවිතයෙන් පොලීසිය තුළ බැබළුනු ඉලංගකෝන් නම් වූ පොලිස්පතිවරයා පවා වනසා දමන්නට තැත් දැරුවේ එවකට උසස්වීම් පෙරහැරේ මුලට සිටි දෙව්දත් සදිසි නිළධරයන් රොත්ත බවත්ය. මෙකී උන්නතිකාමී නඩයෙන් වහංව වනගත වීම හෝ විශ්‍රාමිකව නිවසේ සිටීම හැර චන්දන වික්‍රමරත්න මහතා වෙත ඉතිරිව ඇති එකම විකල්පය නම් මේ අවර ගණයේ ගොබිලන් පුනරුත්ථාපනය කිරීමයි. පොලීසිය සතු සැබෑ යථාර්තය නම් වත්මන් පොලිස්පතිවරයා පොලීසිය හැරගිය දිනෙක එකී තැන ගන්නට සමත් පොලීසියේ හද දිනාගත් කිසිදු වැඩකරුවෙක් පේන මානයක නොමැති බවයි. බැලුබැලු තැන ඇත්තේ පොලිස්පතිධුරය හෝ වෙනත් උසස්වීමක් මත්තේ ආත්මය පාවා දීමට සමත් ගිරා පෝතකයන් රොත්තකි.

යටත් පිරිසෙන් අප හිතවත් පොලිස්පතිතුමන් වෙත කල හැකි එක් කාර්යයක් ඇත්තේය. එනම් පාතාලයන් මරා දමන දෙවැනි ඉනිමේ බොළඳ විලාසිතාව යළි යළි ගෙනහැර දක්වමින් ජනතාව අභියස ගජමෑන්ලා බවට පත්වන මොවුන් අශෝක හඳගම හෝ ප්‍රසන්න විතානගේ වැනි විශිෂ්ඨ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අභියසට කැඳවා අමතර පන්තියක් ඇරඹීමයි. එවිට එකම සිදුවීම වමාරන මේ ළදරුවන් මඳක් නිර්මාණාත්මක වනවා නිරනුමානය.

මෙකී පාතාල ඝාතන හා සබැඳි චිත්තරූප නැඟෙන විග්‍රහ අසන විට තවත් එකපැහැර සිහිවන චරිතයකි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි. ඔහු මෙරටේ අපරාධ, ක්‍රීඩා ආදී කවර විෂය ක්ෂේත්‍රයක් හෝ වේවා ඒවා මත්තේ කිමිදී කදිම වෝහාරික වාර්තාවක් හෝ පසුබිම් කථනයක් කිරීමේ බුහුටි හැකියාවෙන් ඔහු පිරිපුන් තැනැත්තෙකි. සරලවම තමන්ට අගතියක් හෝ , අලාභයක් නොවන්නේ යැයි සැලකෙන කවර කාර්යයක් අභියස වුව පතරංග ජාතක ලියන්නට ඔහු කදිම සක්විත්තෙකි. එබැවින් ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාම ගියද දැන් කළහැකි යමක් ඉතිරි වී ඇත්තේය. එනම් වසර ගණනක් තිස්සේ මෙලෙස සිදුවන ඝාතන රැල්ලේ අලගිය මුලගිය තැන් සොයා යමක්ලිවීමයි. ඔහු එලෙස යමක් ලියන්නේ නම් එය නිසැකව ම අභිනව සලරුවක් නිමැවීම සඳහා අත්පිටපතක් සේ භාවිතයට හැකියාව ලැබෙනවා නොවැ.

අප දන්නා වික්‍රමරත්න මහතා මඟඵල මෙන්ම මිනිස් දිවියේ මහිමය පිලිබඳ ප්‍රමාණික අවබෝධයක් හා භක්තියක් ඇත්තෙකි. එමතු නොව තම සහෝදර නිළධරයෙකුගේ අතපසුවීමකදී වුව කණගාටු වීමට හැකි ළතෙත් මනසක් ඇත්තෙකි. වරක් ජීවන් තොණ්ඩමන් නම් ඇමති පුත්‍රයා නගරගම් දනව් දෙවනත් කරමින් තම පියාගේ මෘත කලේබරය රැගෙන ගිය සිදුවීම මා තරයේ විවේචනය කළෙමි. එබැවින් ඊට අදාළව සාකච්ජාවක් ලබාදීමට තරම් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා කාරුණික විය. එකී හමුවේදී පොලීසිය මඟින් සිදුවූ අතපසුවිම පිලිබඳ තම කණගාටුව පළකිරීමට හා තම දෙපාර්තමේන්තුවට නිසි පියවර ගැනීමට නොහැකි වීම අරභයාද වගකීම ගැනීමට තරම් ඔහු කාරුණික විය.

එබැවින් දෙවියන්ගේ නාමයෙන් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරමින් පවත්නා ක්‍රම විරෝධී පිළිවෙත ඔහුගේ ධුර සමයේ හෝ සිදුනොවිය යුතුමය. රිචර්ඩ් ද සොයිසා මරා දැමු කාකි කෝට්වකාරයා යැයි නින්දා ලබා ආමර් වීදියේ සිරුර හත්කඩකට පැලී මියගිය රොනී ගුණසිංහ හෝ වන්දිභට්ට සේවාවේ අනන්තය සොයා ගොස් අතරමං වූ අනුර සේනානායක මෙන් හර්දය සාක්‍ෂිය අහිමි නිළධරයෙක් අපි කිසි දින ඔහුගෙන් නොපතන්නෙමු. ගිජුලිහිණියන් සේ මීළඟ පොලිස්පතිධූරය උදෙසා බැල්ම හෙළමින් සිටින පිසාච කුලයේ ගිරා පෝතකයන් මෙල්ල නොකෙරුවහොත් ඔවුන් ඔබගේ ගෞරවය සිඳිනු ඇත්තේ හිරු දකින කදෝ පැණියක් සේය.

වික්‍රමරත්න මහත්මා හට ශ්‍රී ලංකා පොලීසිය නිවැරදි මාවතට හැරවීමේ ක්‍රියාන්විතය ඇරඹීමට අවැසි නම් ඊට තවමත් ප්‍රමාද නැති බව අපගේ අවංක අදහසයි. ඔහුගේද, මගේද හිතමිතුරු විශ්‍රාමික මැතිවරණ පරිපාලක මොහමඩ් මහතාගේ වෝලයෙන් උපුටා ගත් මේ අනගි දෙමළ භාෂිත පිරුල අවසන සටහන් කරමි. එනම් கேடு வரும் பின்னே. மதி கெட்டுவரும் முன்னே – කේඩු වරුම් පින්නේ. මදි කෙට්ටු වරුම් මුන්නේ, විනාශය පසුව ඇති වේ. බුද්ධිය පෙර නැතිවේ යන්නයි.

දැනටමත් බුද්ධිය අහිමිව සිටින පොලීසිය විනාශ වනු ඇත්තේ සමස්ත රටේ ගෞරවයද විනාශ කරමිනි. පොලිස්පතිතුමනි, ඔබගේ අනුප්‍රාප්තිකයන් වෙත බුද්ධිය එන්නත් කල යුතු කාලය පැමිණ ඇත.

මංජුල ගජනායක

You might like

About the Author: Editor