කොරෝනා පණිවිඩ ගැන මහජන විශ්වාසය බිඳවැටීම

කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 70% කටවත් ලබාදෙන තෙක් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ මහජන හැසිරීම වෛද්‍ය මාර්ගෝපදේශ අනුව හැඩ ගසා ගැනීමෙන් විතරක් බව දැන් පැහැදිලි වී තිබෙනවා. එන්නත ජනගහනයෙන් 70% ට ලබාදීමට  කොතරම් කාලයක් ගත වේද යන්න පැහැදිලි නැහැ.  ඒ අනුව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා බලධාරීන් ලබා දෙන පණිවිඩ මහජනයා විසින් පිළිගැනීම සහ විශ්වාස කිරීම කොරෝනා වසංගතය මර්දනය කිරීමේ ප්‍රධානතම සාධකය බවට පත්ව තිබෙනවා.

හදිසි ආපදා සෞඛ්‍ය සන්නිවේදනය අසාර්ථක වීම

හදිසි  සෞඛ්‍යය ආපදාවක් කළමනාකරණයේදී තීරණාත්මක   භූමිකාව ඉටු කරනු ලබන්නේ සන්නිවේදනය සහ ජනමාධ්‍යයි. මේ ගැන ලෝකය පුරා කරපු විවිධ අධ්‍යයන තියෙනවා. මේ සඳහා ආදර්ශයට ගන්න පුළුවන් සිද්ධාන්ත, භාවිතාවන්, අත්දැකීම් වගේම මොඩලයන් ද තියෙනවා. ජනමාධ්‍ය මිනිසුන්ගේ හැසිරීම් රටාව කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන බවයි, පොදු පිළිගැනීම. ඒ වගේම මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කරන්න මාධ්‍ය සහ සන්නිවේදනයට ලොකු මැදිහත් වීමක් කරන්න පුළුවන්. මේ ගැන අධ්‍යනය කරන වෙනම විෂයන් පවා තියෙනවා. උදාහරණයක් විදිහට හැසිරීම් වෙනස් කිරීම සඳහා සන්නිවේදනය (Communication for Behavior Change), හදිසි ආපදා සෞඛ්‍ය සන්නිවේදනය (Emergency Health Disaster Communication).

හදිසි සෞඛ්‍ය ආපදාවකදී යවන පණිවිඩ, කරනු ලබන සන්නිවේදනය, තොරතුරු කලමනාකරණ උපාය මාර්ග මත පදනම් වෙන්න ඕන. පණිවුඩය කියන කෙනා කවුද? ඔහුට ඒ පණිවුඩය කියන්න විශේෂඥභාවයක් තියෙනවද? ඔහුට ඒ පණිවුඩය කියන්න නීතිමය අධිකාරිමය බලයක් තියෙනවද? පණිවිඩය යවන්න භාවිතා කරන මාධ්‍ය මොකක්ද? පණිවිඩය පැහැදිලි සහ නිරවුල්ද? පණිවිඩය යවන්න කොයි වෙලාවෙද? පණිවිඩය අහන කෙනා ඒ මොහොතේ  සිටින මානසික, සංස්කෘතික, සමාජ වටපිටාව මොන වගේද? මේ වගේ කාරණා මත  මහජනයා ඒ පණිවිඩය පිළිගන්නෙ සහ ඊට ප්‍රතිචාර දක්වන්නෙ.

හදිසි ආපදා සෞඛ්‍ය සන්නිවේදනයේදී ඒ පිළිබඳ පණිවිඩ විශ්වාස කිරීමට මහජනතාව පොළඹවන ප්‍රධාන සාධකයක් වෙන්නේ එම පණිවිඩයේ තිබෙන විවෘත භාවයයි (transparency and openness). විවෘතභාවය යන්නෙන් අදහස් කරන්නේ ඒ මොහොතේ පවතින අවදානම් මට්ටම (level of risk) පිළිබඳ නිවැරදි තොරතුරු, විවෘතව, අවංකව, ක්ෂණිකව පැවසීම සහ බලධාරීන් කියන දේ ගැන වගවීම. ඒ වගේම බලධාරීන් ලබා දෙන පොරොන්දු ඉටු කිරීම.

මෙරට කොරෝනා තොරතුරු මහජනතාවට ලබා දීමේදී මේ කියන කාරණා බොහෝවිට දකින්න ලැබුණේ නැහැ. මේ නිසා ආණ්ඩුව කොරෝනා ගැන තමන්ගෙන් තොරතුරු වසන් කරන බවට  මතයක් මහජනතාව අතර ගොඩනැගී තිබෙනවා. එයත් ආණ්ඩුවේ කොරෝනා පණිවිඩ පිළිබඳ විශ්වාසය මහජනතාව තුළින් ගිලිහීමට බලපා තිබෙනව. එකම පණිවිඩය එකම ආකාරයට අඛණ්ඩව කියන එක තවත් සාධකයක්. ඊළඟට වැදගත්ම දේ තමයි කියන පණිවිඩය ලබාදෙන උපදෙස් මහජනතාවට  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක.

කොරෝනා වසංගතය මර්දනය  කරන්න සන්නිවේදනය හා මාධ්‍ය භාවිතා කිරීමේදී ඉහත කියපු කාරණා කිසිවක් ගැන මෙරට බලධාරීන් අවධානය යොමුකර තියෙන බවක් පේන්නෙ නැහැ. ඒ නිසා කොරෝනා සන්නිවේදන පණිවිඩ වලින් මෙරට ජනයා වික්ෂිප්තභාවයට පත්වෙලා. අවුල් වෙලා. මොනවද කරන්න ඕන, මොනවද නොකරන්න ඕන කියන උභතෝකෝටික ප්‍රශ්නයට ජනයා මැදිවෙලා .

කොරෝනා පණිවිඩ ගැන මහජන විශ්වාසය බිඳ වැටෙන එක, කොරෝනා මර්දන  උපාය මාර්ග වලට අවුල් සහගතව මහජනයා විසින් ප්‍රතිචාර දැක්වීම්, කොරෝනා ව්‍යාප්තිය පාලනයට ඉතාම අහිතකර ලෙස බලපා තිබෙනවා. අන්තිමේදී කොරෝනා වසංගතය මර්දනය කරන්න, පැතිරීම පාලනය කරන්න තිබුණ බලවත්ම ආයුධය වෙච්ච  සන්නිවේදනය සහ ජනමාධ්‍ය යොදා ගැනීමේ අවස්ථාව මේ ආණ්ඩුව අහිමි කරගත්තා.

පළවෙනි කොරෝනා රැල්ල  සහ  ප්‍රාථමික ප්‍රජා වෛද්‍ය සත්කාර යාන්ත්‍රණය

පළවෙනි කොරෝනා රැල්ල පාලනය කරන්න මෙරට බිම් මට්ටමේ තියෙන අන්තර්පුද්ගල සන්නිවේදන ක්‍රම ප්‍රබල මැදිහත් වීමක් කළා. අපේ රටේ දීර්ඝ කාලයක සිට ස්ථාපිත වෙච්ච ප්‍රාථමික ප්‍රජා වෛද්‍ය සත්කාර  යාන්ත්‍රණයක් (primary health care system) බිම් මට්ටමේ තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍යය හෙදියන් ආදී බිම් මට්ටමේ සෞඛ්‍ය සේවකයින් අයිති වෙන්නේ මේ යටතට.  මේ අය ගැන ජනතාව තුළ ලොකු විශ්වාසයක් සහ පිළිගැනීමක් තියෙනවා. ඔවුන් තමන්ට එදිනෙදා ජීවිතේ මුණගැහෙන දන්නා හඳුනන අය.  තවමත් අපි වගේ රටවල මිනිස්සු තමන් දන්නා හඳුනන අය කියන දේ, ඔවුන්ගේ අත්දැකීම් විශ්වාස කරන්න, පිළිගන්න, ඔවුන්ගේ අත්දැකීම් ආදර්ශයට ගන්න වැඩි ලැදියාවක් දක්වනවා. ඒ නිසා මහජනයාගේ හැසිරීම් රටාව වෙනස් කරන්න, බිම් මට්ටමේ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගේ බලපෑම අතිමහත්.

පළමුවෙනි කොරෝනා රැල්ලේ දී මෙරට ප්‍රාථමික ප්‍රජා වෛද්‍ය සත්කාර යාන්ත්‍රණයට සම්බන්ද සෞඛ්‍ය සේවකයින්ගේ  පණිවිඩ අතිශය සාර්ථක වුණා. ඒවා පිළි අරගෙන මිනිස්සු තමන්ගේ හැසිරීම් රටාව වෙනස් කර ගත්ත.  අලුත් තත්ත්වයට ගැළපෙන විදිහට සෞඛ්‍යාරක්ෂිතව හැඩගැසෙන්න පටන් ගත්තා.

ආණ්ඩුව කොරෝනා පනිවිඩ සන්නිවේදන යාන්ත්‍රණය තමන්ගේ අතට ගැනීම

ඊට පස්සේ මොකද වුණේ? ආණ්ඩුවයි, ආණ්ඩුව පත් කරපු ප්‍රකාශකයෝ, කොළඹ තියෙන ජනමාධ්‍ය කොරෝනා පණිවිඩ සන්නිවේදන යාන්ත්‍රණය තමන්ගේ අතට ගත්තා. ආණ්ඩුවේ ප්‍රකාශකයින් කැමරා ඉදිරියේ පෙනීසිටීමේ කාමයෙන් පෙළෙමින් එකිනෙකා පරයමින්  කොරෝනා ගැන එක එක දේවල් කියන්න පටන් ගත්තා. හරියට ක්‍රිකට් තරගයක විස්තර ප්‍රචාරයක් කරනවා වගේ. ආන්ඩුවේ ප්‍රකාශකයින්ට, කොරෝනා පනිවිඩකරුවන්ට ඒ ගැන විශේෂඥභාවයක්,  පැහැදිලි මූලාශ්‍ර, අධිකාරිමය බලය තිබුණේ නැහැ. ඔවුන්ට මහජන පිළිගැනීමක් තිබුණෙත් නැහැ. රූපවාහිනී නාලිකා කොරෝනා වසංගතයෙන් බේරෙන සෞඛ්‍ය පණිවිඩ පැත්තකට දාලා  ජනයාගේ කුතුහලය අවුස්සන, ඔවුන්ට කුණු රසයක් ලැබෙන, කාලකන්නි සතුටක් ලැබෙන, කොරෝනා කතන්දර මතුකොට ඒවා වැඩි වැඩියෙන් පෙන්වන්න  පටන් ගත්තා. කී දෙනෙකුට බෝ වෙලාද? කීදෙනෙක් මැරුණද? කීදෙනෙක් අත්අඩංගුවට ගත්තද? හොරෙන් පැනලා ගියේ කොහොමද? පොලිසිය ඔවුන් පසුපස හඹා ගියේ කොහොමද? මිනිස්සුන්ට උන අකරතැබ්බ මොනවද? ධම්මික පැණිය,  මුට්ටිය ගඟට  දැමීම  වගේ රස කතා  රූපවාහිනී පුවත්වල අංක එකට ආවා. හරියට යුද්ධෙ කාලෙ වගේ. මේවා බලල මිනිස්සු එක පැත්තකින් කොරෝනා ගැන තියෙන බරපතලකම අතෑරලා සාමාන්‍ය දෙයක් විදිහට හිතන්න පටන් ගත්තා. කොරෝනා වෙන් බේරෙන්න තියෙන පණිවිඩ නොසලකා හරින්න පටන් ගත්තා. අවුලෙන් හැසිරෙන්න පටන් ගත්තා.

ඊට පස්සේ සෞඛ්‍ය විද්‍යාත්මක කොරෝනා පණිවිඩ, විද්‍යාත්මක මූලාශ්‍රයක් නැති, විද්‍යාත්මක පදනමක් නැති, නීතිමය පදනමක් නැති, කොරෝනා තොරතුරු ,  කොරෝනා ප්‍රතිකාර, කොරෝනාවෙන් බේරෙන ක්‍රම ආදිය හැමෝම නිර්මාණය කරන්න පටන් ගත්තා. මේ දුෂ් තොරතුරුවලට ගොසිප් වෙබ් අඩවි,  මුහුණු පොත,  චැට් මාධ්‍යයත්  වේදිකාවක් වුනා . අන්තිමට ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා, YOU TUBE,  දුෂ්  තොරතුරු වලට තෝතැන්නක් වුණා.

ආණ්ඩුවේ උපාය මාර්ගය

ආන්ඩුවේ කොරෝනා මර්දන  සන්නිවේදන  උපායමාර්ගික භූමිකාව දෙරණට සහ හිරුට භාර දීල තිබුණ බව පේනවා. මොකද ආණ්ඩුව දන්නවා තමන්ගෙ හැට නම ලක්ෂයේ කණ්ඩායම ඉන්නේ දෙරණ සහ හිරු එක්ක කියලා .

එතකොට දෙරණ මොකද කළේ ? ගෝඨාභය ව්‍යාපෘතිය සඳහා තමන් විසින් භාවිතා කළ සන්නිවේදන උපාය මාර්ග ඒ කියන්නේ කැළණියේ නා රජු, පැලෝපීය නාල, සිංහල බෞද්ධ රාජ්‍යය වගේ පැන්ටසි කොරෝනා සන්නිවේදන උපායමාර්ග විදිහට නිර්මාණය කරන්න, සන්නිවේදනය කරන්න පටන් ගත්තා. ඒක එක පැත්තකින්  හැට නම ලක්ෂයේ ජනයාගේ උවමනාවන්, මනෝභාවයන් එක්ක හරියටම ගැලපුනා.

මහජනයාට ඕන උනේ කොරෝනාවෙන් කොහොමහරි මගෑරලා ඉන්න පුළුවන් ක්ෂණික උත්තරයක්. අවිද්‍යාව, අතාර්කිකත්වය, හැඟීම්බර මානසිකත්වය ආමන්ත්‍රණය කරන තෝරාගත් පණිවිඩ ඇතුළත් අන්තර්ගතයන්  රූපවාහිනි ප්‍රවෘත්ති සහ වැඩසටහන් වල පිරිල තිබුණා .

ධම්මික පැණිය, මුට්ටිය ගඟට දැමීම, එන්නත නෙමෙයි එකම විසඳුම, කීදෙනකුට බෝ වෙලා ද? කීදෙනෙක් මැරුණද? කීදෙනෙක් හොරෙන් පැනලා ගියා ද? කොරෝනා ආසාදිතයින් හඹායෑම, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු, නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම, පොල් තෙල්වල සහ කිරිපිටිවල විෂ, පාස්කු ප්‍රහාරයේ වාර්තාව, පාස්කු කොමිසන් සභාවේ නඩු විභාගය, කටුපොල් තහනම, අවුරුදු සාප්පු සවාරි, අවුරුදු කුමරිය තේරීම, නළුනිළි, මන්ත්‍රීවරුන්ගේ අවුරුදු සාද, කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම, ගම එක්ක සංවාදය වගේ මාතෘකා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ මාතෘකා බවට පත් කරමින් කොරෝනා වසංගතයේ අවදානම ජනයාගේ අවධානයෙන් ගිලිහෙන්න මේ රූපවාහිනී නාලිකාව වගබලාගත්තා. අනිත් අතට  මහරාජා නාලිකාව තම දේශපාලන න්‍යාය පත්‍රය සහ ව්‍යාපාරික න්‍යාය පත්‍රයට  උදව් කරන අන්තර්ගත කොරෝනා පණිවිඩ බවට පත් කර ගත්තා.

වසංගත ගැන  විශේෂඥභාවයක්, හදිසි සෞඛ්‍ය ආපදා තොරතුරු කළමනාකරණය පිළිබඳ විශේෂඥභාවයක්, නීතිමය අධිකාරිමය බලය නැතිව තම ප්‍රතිරූපය ගොඩනැගීම අරමුණු කරගත් යම් යම් දේශපාලඥයින්, නිලධාරීන්, දෛවඥයන් කොරෝනා පණිවිඩකරුවන් බවට පත් වීම කොරෝනා පණිවිඩ ගැන මහජන විශ්වාසය බිඳ වැටෙන්න තවත් හේතුවක්. එවැනි අයට පිළිගැනීමක්, අවස්ථාවක් සහ වේදිකාවක් තනාදීම කළේ “ස්වාමියාගේ ඇඟේ වැහුව මැස්සන් එලවන්න කඩුව  අතට ගත්ත වඳුරාගේ භුමිකාව” රගපාන රූපවාහිනී නාලිකා ටික.

ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් විතරක් නිර්දේශ කිරීම

කොරෝනා පණිවිඩ ගැන මහජන විශ්වාසය බිඳ වැටෙන්න බලපාපු තවත් කාරණයක් වුණේ ආණ්ඩුව දාපු නීති, ලබාදුන් නිර්දේශ වල තිබුන නිශ්චිත බවක් නොමැති වීම, පරස්පරතා, සහ ප්‍රායෝගික නො වීම.

උදාහරණයක් විදිහට දුරස්ථභාවය ගනිමු. බස්රථ රථ, නිවාස තුළ, දුම්රිය ගමනාගමන, වගේම වෙළඳසැල්වල මෙය ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.   අනිත්පැත්තට ආණ්ඩුව මහජනතාවට පොදු  ප්‍රවාහන සේවා අඩුවෙන් භාවිතා කරන්න උපදෙස් දී පොදු ප්‍රවාහන සේවා සපයනවා. රජයේ ඇතැම් ප්‍රකාශකයින් වෛරසය වාතය හරහා බෝ වෙනවා කියද්දී තවත් සමහරු එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. ඇතැමුන් එන්නත එකම විසඳුමයි කියද්දී තවත් අය එන්නත විසඳුමක් නෙවෙයි කියනවා. කොරෝනා නීති කඩ කරන්නන්ට ලබාදෙන දඬුවම් ගැනත් ආණ්ඩුවේ ප්‍රකාශකයින් එක එක දේ කියනවා. යම් ස්ථානයකට ඇතුල් වන විට තමන්ගේ පෞද්ගලික විස්තර සටහන් කිරීමට පොතක් තියන එක අනිවාර්ය කර තිබුණා.  අන්තිමට ඒක විස්තර ලියන්නෙ නැති, ඇතැම්විට  බොරු විස්තර ලියන කොරෝනා සංකේතයක් (symbol) බවට පත්වුණා. මේ විදියට ආණ්ඩුව දෙන උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි බව ජනතාවට පේනකොට ඒවා නොසලකා ඉන්න පටන් ගත්තා. ඒ පණිවිඩ පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටුනා.

මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන් ආණ්ඩුවේ මාධ්‍ය

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ යහපාලන ආණ්ඩුව කළා වගේ විද්‍යුත් මාධ්‍ය කළමනාකරණය ගැන මෙලෝ හසරක් දන්නෙ නැති කණ්ඩායමක් ආණ්ඩුවේ රූපවාහිනියයි, ගුවන් විදුලියයි, අයිටීඑන් එකයි පාලනය කරන්න දැම්මා.

කොරෝනා වසංගතය ආවට පස්සෙ ජාතික මාධ්‍ය ආයතනවල සන්නිවේදනය, හදිසි සෞඛ්‍යය ආපදා සන්නිවේදනය, මිනිස් හැසිරීම් රටාවත් වෙනස් කිරීමේ සන්නිවේදනය, සෞඛ්‍යය තොරතුරු කළමනාකරණය ආදී සන්නිවේදන උපාය මාර්ග වලට වෙනස් කළ යුතුව තිබුනත්  ඔවුන්ට එවැනි විෂයයන් ගැන දැනුමක් අවබෝධයක් තිබුනෙ නැති නිසා එම නාලිකා කළේ  ඉබාගාතේ යෑම.

ආණ්ඩුවට අයිති මාධ්‍ය ආයතන මහජන අරමුදල් මත නඩත්තු වන පොදු දේපල. ඒවා කොරෝනා නිල සන්නිවේදන නාලිකා ලෙස නම් කරලා   ඒකාබද්ධ විකාශනයක් බවට පත් කරගෙන කොරෝනා ව්‍යාප්තිය පාලන  ප්‍රචාරණ ක්‍රියාවලියට යා යුතුව තිබුණා. හැබැයි මහජන හැසිරීම් වෙනස් කිරීම සඳහා පණිවිඩ, අන්තර්ගතයක් නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණශීලී, තාක්ෂණික කුසලතා, කැපවීම තියෙන, තොරතුරු කලමනාකරණ කුසලතා සහිත මානව සම්පත් ඔවුන්ට තියෙනවද කියන එක ප්‍රශ්නයක්.

තව එකක් කොරෝනා පණිවිඩ මිනිස්සුන්ට තේරෙන විදිහට නිරවුල්ව තාර්කිකව විද්‍යාත්මකව නිර්මාණශීලීව කියන්න පුළුවන් වෛද්‍ය විශේෂඥයින් සොයාගැනීමට ආණ්ඩුව අසමත් වීම  කොරෝනා පණිවිඩ අසාර්ථක වීමට, ඒ පණිවිඩවල මහජන විශ්වාසය බිඳ වැටීමට බලපෑවා. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස වැනි වෛද්‍ය විද්‍යා සන්නිවේදකයින්  කොරෝනා සමයේ නොසිටීම බලවත් පාඩුවක් වුණා.

කොරෝනා තොරතුරු සන්නිවේදනය සඳහා වෙනම  රූපවාහිනී, ගුවන්විදුලි, සමාජ මාධ්‍ය ජාලයක් ස්ථාපනය කිරීම ගැන මේ වෙලාවේ හිතලා බලන්න පුළුවන් එක විකල්පයක්. මේ සඳහා කොරෝනා මර්දන ක්‍රියාවලියට සම්බන්ධ නිල පාර්ශවකරුවන් සියල්ලම සම්බන්ධ කරගන්න ඕන. නිදසුන් වශයෙන්  වසංගත රෝග මර්දන ඒකකය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,  ප්‍රාථමික ප්‍රජා වෛද්‍ය සත්කාර යාන්ත්‍රණය, වසංගත රෝග  පිළිබඳ විශේෂඥයින්, හදිසි ආපදා සෞඛ්‍ය සන්නිවේදන විශේෂඥයින්, තොරතුරු කළමණාකරන විශේෂඥයින් එතන අනිවාර්යෙන්ම ඉන්න ඕන. ඒ වගේම නිර්මාණශීලී සන්නිවේදකයින්. මේ නාලිකා ජාලය ආණ්ඩුවේ, වෙළෙඳපොළ, දේශපාලන බලපෑමෙන් බැහැර ව, විවෘතව, අපක්ෂපාතීව ක්‍රියාත්මක වීමත් වැදගත්. අඛණ්ඩ මහජන සුපරීක්ෂණ සහ පසුවිපරම් වැඩපිළිවෙළකුත් මේ සඳහා අවශ්‍යයි.

ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය (praja.lk)

You might like

About the Author: Editor