කුමන ක්‍රමවේදයක් යටතේ වුවද පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය (28) දින කතරගම ප්‍රාදේශීය සභාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබු අතර එහිදී මෙම කරුණු අනාවරණය කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා – “පසුගිය ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල්දමලා අතුරුදන් කරලා දැන් අවුරුදු 04 කට ආසන්න කාලයක් වෙනවා. සියළු පළාත් සභා නිල කාලය අවසන් වෙලා තිබෙනවා. පළාත් සභා ක්‍රමය බිහි වෙලා දැනට වසර 33 ක් පමණ වෙනවා. අද ජනතා නියෝජිතයෝ නැතිව පළාත් සභා ක්‍රමය, යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. මේ කාල වකවානුව දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක්. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යොදා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස.

පසුගිය දිනවල විෂය භාර කැබිනට් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ක්‍රම දෙකක් යෝජනා කරමින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාවත් සතියකට කල් ඉල්ලලා තිබුනා එම කැබිනට් පත්‍රිකාව අධ්‍යයනය කළ යුතුයි කියලා. මේ වගේම දැනට මාස ගණනවකට ඉහතදීත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනක බණ්ඩාර තෙන්නකොන් අමාත්‍යවරයා මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ වෙලාවෙත් මෙම කැබිනට් පත්‍රිකාව පක්ෂ නායක රැස්වීමට යොමු කරලා වාද විවාද ඉදිරිපත් කරලා සම්මත කිරීමකින් තොරව කැබිනට් පත්‍රිකාව ඉදිරියට ගෙනගොස් තිබුනා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සංසදය හැටියට අපි බොහොම ගෞරවයෙන් කියනවා අපි මේ ආණ්ඩුව හදන්නට සියළු සහෝදර පක්ෂ එකතු කරගෙන විශාල වැඩකොටසක් අපි ඉටු කළා.

ඒ වෙලාවේ සියළු කටයුතු වලට ශක්තිය හයිය ලබාදුන්න සමහර සහෝදර පක්ෂ අද මුනිවත රැකීම බොහෝම කණගාටුදායක තත්ත්වයක්. කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සහෝදර පක්ෂ නායකයින් කැබිනට් අමාත්‍යවරු හැටියට විමල් වීරවංශ ගරු අමාත්‍යතුමා, උදයගම්මන්පිල අමාත්‍යවරයා, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, වාසුදේව නානායක්කාර මැතිතුමා ඇතුලු සහෝදර පක්ෂ නායකයින්ගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගියවර කැබිනට් පත්‍රිකාවට වුණු කාරණය වෙන්න දෙන්‍නේ නැතිව මෙවර අපට ක්‍රමවේදය කුමක් වුවත් අපට ගැටළුවක් නැහැ මේ මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිසක් ලෙස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතාවගේ අයිතිය ලබාදෙන්නට මැදිහත් වෙන ලෙස.”

“ඒ වගේම සරත් වීරසේකර අමාත්‍යතුමා ඇතුලු විවිධ පුද්ගලයින් පසුගිය කාලයේ එතුමන්ලාගේ පෞද්ගලික මත ප්‍රකාශ කරමින් පළාත් සභා ක්‍රමය පිළිබදව යම් යම් අදහස් ඉදිරිපත් කළා. ඒවත් රට තුල ආන්දෝලාත්මක කථා බවට පත් වුණා. අපි එතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. මේ රටේ තිබෙන වර්තමාන තත්ත්වය තේරුම් ගෙන ගමේ ජනතාවට විශාල සේවාවක් ඉටු කළ පළාත් සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා මේ කටයුත්තේ දී අපට සහාය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් එක් වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන ලද්දේ අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට පිළි අරගෙන ඇති බවත්, නියත වශයෙන්ම පළාත් මැතිවරණය පැවැත්වෙන බව සහතිකය ලැබී ඇති බවත්, පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය කුමක් වුවත් ගැටළුවක් නොමැති බැවින් මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට අදහස් ඉදිරිපත් කරන ලදි. එමෙන්ම මැතිවරණයකට යාමට අවශ්‍ය පසුබිම හදලා දෙන එක කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන්ගේ වගකීමක් බව ද, පෙන්වා දෙන ලදි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා, හිටපු උතුරු මැද පළාත් මන්ත‍්‍රී වීරසේන ගමගේ හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී සම්මු ආරියවංශ මහතා, හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

You might like

About the Author: Editor