ශාකසාර සිගැරැට් පිළිකාකාරක ද?

විමල් වීරවංශ කර්මාන්ත ඇමතිතුමා නව කර්මාන්තයක් පසුගියදා එළිදැක්වූවේය. එනම් කුරුඳු වලින් නිර්මාණය කරන ලද ශාකසාර සිගැරැට්ටුවකි. එය කර්මාන්තයක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇත.

කෙසේ වෙතත් අන්තරායකර ඖෂධ නියාමන අධිකාරිය (NATA) ප්‍රකාශ කළේ, එකී ශාකසාර සිගැරැට්ටුවට තම අනුමැතිය ලැබී නැති බවය. අඩු තරමින් ආයුර්වේද කොමසාරිස් හෝ එයට අනුමැතිය දී නැත.

ඒ අනුව එකී ශාකසාර සිගැරැට්ටුව නීති විරෝධී වන අතර එය ප්‍රවර්ධනයද නීති විරෝධීය.

චීනය ප්‍රමුඛ ආසියාතික රටවල ශාකසාර සිගැරැට් අළෙවියට ඇත. ජින්සෙන්, කුරුඳු හා වෙනත් කුළුබඩු එහිදී යොදාගැනේ. එහි වෙළෙඳපොළ ඉතා සීමාකාරීය. මේ පිළිබඳව කළ පර්යේෂණ වලින් පෙනීගොස් ඇත්තේ දුම්කොළවල ඇති නිකොටින් (Nicotin) හැරැණු විට ධූමපානයෙන් එන සියළු අපද්‍රව්‍ය ශාකසාර සිගැරැට් නිසා පෙනහළු වලට ඇතුළු වන බවය.

රෝගී තත්ත්වයකදී හැර වාශ්ප හෝ ධූමය ආශ්වාස කිරීම, පෙනහළුගත කිරීම දේශීය වෙදකමේද අනුමත නොකරයි.

2006 වසරේදී රාජපක්ෂවරුන්ගේ බලවත් විරෝධය මත ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ගෙන එන ලද මත්ද්‍රව්‍ය, මත්පැන්, ධූමපානය නියාමනය පිළිබඳ වූ පනත අනුමත විය. පසුව සෞඛ්‍ය ඇමතිවරුන් වූ මෛත්‍රීපාල සිරිසේන හා රාජිත සේනාරත්න මහත්වරු එය දැඩිව ක්‍රියාත්මක කළහ.

එහි ප්‍රතිඵලය කුමක් ද ?

වසර 2005 සිට 2020 වන විට සිගැරැට් අළෙවිය හා භාවිතය 50% කින් අඩුවී ඇති බවය ! මෙය මධ්‍ය ආදායම් රටක් ලබාගත් විශිෂ්ඨ සෞඛ්‍ය ජයග්‍රහණයකි. 2018 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ගෞරවයකට ද මේ නිසා පත්විය.

එහි මූලික ගෞරවය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ මත්ද්‍රව්‍ය විරෝධී අරගලය ගෙනගිය සැමට ලැබිය යුතුය. සිගැරැට් අළෙවිය පහතයෑම නිසා බියට පත්වී ඇති පිරිස් කුරුඳු, ගංජා ආදී සිගැරැට් ප්‍රවර්ධනය සිංහල උරුමයක් ලෙස දක්වමින් ප්‍රචාරණයක් ගෙනයති.

සමහරු 2019 සිදුවූ දේශපාලන පෙරළිය 1956 සිදුවූ සිංහල නවෝදය සමඟ සසඳති. 1956 දී සිදු වූ යුග පෙරළියෙන් සිංහල පමණක් නොව දෙමළ බසටද, සංස්කෘතියට ද, කලාවට ද නව තැනක් හිමිවිය. එයට නායකත්වය ගත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි, මඩිහේ ප්‍රඥාසීහ හිමි ආදී ප්‍රඥා සම්පන්න, සීල සම්පන්න භික්ෂූන් වහන්සේලා හා මාර්ටින් වික්‍රමසිංහ, ඩී.බී. ධනපාල වැනි සාහිත්‍යශූරීන් ය.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් මට කීවේ, මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු බිත්තිවල වැඩියෙන්ම ලියුවේ ඉංග්‍රීසි ග්‍රැපටි මිස සිංහල කුරුටු ගී නොවන බවය.

මෙවර සිංහල නැගිටීමේ ප්‍රකාශකයන් වූයේද සමාජය ප්‍රඥා සම්පන්න, ශීල සම්පන්න යැයි පිළිගත් භික්ෂූන් නොවේ. 2019 සිංහල නැගිටීමේ සාහිත්‍ය ප්‍රකාශකයන් වූයේ ඉරාජ් වීරරත්න වැනි අවර ගනයේ ලුම්පන් කලාකරුවන් හා ජඩකම මාකට් කරනා ජනමාධ්‍ය පෙළකි.

ගංජා නීතිගත කිරීම, තෙරුවන ඉවතලා කාලි මෑණියෝ, ඥාණා මෑණියෝ සරණ යෑම, කොවිඩ් එන්නත වෙනුවට ධම්මික පැණිය ප්‍රචලිත කිරීම, හිස් මැටි පිළිම, රන් පිළිම ලෙස දේශපාලනිකව පින්තාරු කරවීම ආදිය එකදිගට සිදුවිය.

ශාකසාර කුරුඳු සිගැරැට්ටුවද ලුම්පන් සිංහල ජාතිකවාදයේ තවත් සොයා ගැනීමකි.

කාබන් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කරන බව කියා බලයට පැමිණ දැන් වනාන්තර වලින් තොර රටක් නිර්මාණය කරමින් ඇත.

මොවුන් හා දුටුගැමුණු රජතුමා හෝ ධර්මපාලතුමා හෝ 1956 පෙරලිය හෝ අඩුම තරමින් 1995 දී උපත ලද නව ජාතිකවාදී ව්‍යාපාරය අතර හෝ කිසිදු සබැඳියාවක් නැත.

සිංහලකම, බෞද්ධකම මේ පාදඩ, අශිෂ්ට මංකොල්ලකරුවන්ගෙන් ගලවා ගැනීමට දැන් සිදුව ඇත.

පාඨලී චම්පික රණවක

You might like

About the Author: Editor