“මරණයට අපි බයයි, නමුත් අරගලය අත්හරින්නේ නෑ” – මියන්මාරයේ සටන්කාරියක සමඟ පිළිසඳරක්

යුද හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත් පෙබරවාරි 01 දා සිට වීදියේ විරෝධතාවයන්ට එක් නොවූ දවසක් නැති තරම්ය. යැන්ගොන් නගරවාසී තිස් දෙහැවිරිද ඇය කරමින් සිටි මැද පංතික රැකියාව දැන් නැත. පහත දැක්වෙන්නේ ඇය සමඟ පසුගිය සතියේ ස්කයිප් හරහා කරන ලද දිගු සාකච්ජාවක කොටස්ය.

අරගලකාරියක විදිහට අද ඔබේ දවස ගෙවුන හැටි කියන්න පුලුවන්ද?

වි වි: මම දවස පටන් ගත්තේ මගේ සගයන් හා මිතුරන් අමතා අප රැස්වීමට යන්නේ කොහේද? සහ කීයටද? යනාදී දේ කතා කර ගැනීමෙන්. අපේ ජනාවාස පෙදෙස අවට සිටින නාඳුනන අමුත්තන් ඇත්දැයි අප සෑම උදෑසනකම පරීක්ෂා කර ගන්න ඕනෑ. ඊට පස්සේ මං අලුත් පුවත් සඳහා සමාජ මාධ්‍ය වෙත යනවා. පස්සේ මං අප කතා කරගත් විදිහට එළියට ගිහින් මගේ, අපේ කොටසේ විරෝධතාවලට සහභාගි වුණා. මං දැං මගේ මෝටර් රථය භාවිතා කරන්නෙ නැහැ.. මැතිවරණ කාලයේදී මං එය අපේ නායිකාව වන අවුන් සාං සූචීගේ ප්‍රචාරක ඡායාරූපයකින් සරසලයි තිබුණෙ. ඔත්තු සේවා මගේ කාරය ළකුණූ කර ගන්න ඇති. මං එය පංසලක හැංගුවා. දැන් මා යන්නේ එන්නේ බයිසිකලයෙන්.

මගේ නගර කොටසේ පැවති විරෝධතාවලට සහභාගී වීමෙන් මං අපේ සගයින් සමඟ හෙට ගැන කතා කර ගත්තා. හෙට අපි වෙන පැත්තකින් විරෝධතාවයට යනවා. නගරය මැද විශාල විරෝධතා වාගේම පොඩි පොඩි ජනාවාස බැදන් දෙතුන් සීයක් එක්වන විරෝධතා හැමදාම තියෙනවා. අපට ඕන නගරයම වහන්න.

විරෝධතාවට එන්නේ තරුණ ජනයා. වැඩිහිටි ජනයාත් හරිම උද්යෝගිමත්. අදත් ඔවුන් අපට කෑම- බීම ගේනාවා. ඔවුන් සෑම දිනකම මොනවා හරි ගේනවා. අද අපේ විරෝධතාවයට හමුදා ප්‍රහාරයක් එල්ල වූණේ නැහැ. නමුත් දින කිහිපයකට කලින් අපේ පාරේ ජීවත්වුන අහිංසකයකුට දුර සිට වෙඩි තබන ඉල්ලකරුවකු වෙඩි තබා මරා දැම්මා. හමුදාව විසින් කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරත් තත්වය ඉතාම මර්දනකාරීයි.

රටේ වෙනත් ප්‍රදේශවල සිවිල් වැසියන්ට මිලිටරිය වෙඩි තිබ්බා. හමුදා වෙඩි පහරවලට බයේ තරුණ පරම්පරාව ආපසු හැරෙන්න සූදානම් නැහැ. අපි හැමෝම උදේ විරෝධතාවයන්ට යන්නේ අතේ පෙනෙන තැනක දන්නා අයකුගේ දුරකථන අංකයයි තමන්ගේ ලේ කාණ්ඩයයි ලියා ගෙන. කාටද වෙඩි වදින්නේ කියලා කව්ද දන්නේ?

ඔක්කොටමත් වඩා භයානක, දුර සිට වෙඩි තබන කුරුමානාම්කරුවන්. හමුදාව එවැනි වෙඩික්කරුවන් වටේම උස ගොඩ නැඟිළිවල ස්ථාන ගත කරනවා. ඔවුන් දන්නේ ඉලක්කය අරං වෙඩි තියන්න විතරයි.

ඇයි මේ තරම් මර්දනයක් මැද්දෙත් තරුණ තරුණියන් පාරට එන්නේ?

වි වි: මැදිවියේ පරම්පරාව පවා විරෝධතා දැක්වීමට එනවා. නමුත් ඔවුන් ඉන්නේ පාර අයිනේ. මගේ රටේ සෑම කෙනෙකුටම නැත්නම් අති විශාල බහුතර ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. ඒ වගේම මහා ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට රටේ පාලනය බාර දෙන්න ඕන. අපේ නායක නායිකාවන් හිරෙන් නිදහස් කරන්න ඕන. අපි විරෝධතා පවත්වන්නේ ඒ සඳහායි.

විරෝධතාකරුවන් කෙරෙහි හමුදාවේ ආකල්පය වෙනස් වෙලාද?

ඔහ්, ඔවුන්ගේ ආකල්පය නරක අතටයි හැරෙමින් තියෙන්නේ. මාර්තු 03 දායින් පස්සේ ජීවී උණ්ඩවලින් වෙඩි තියන්න ගත්තා. බලය තහවුරු කර ගන්න මරණ එක ඔවුන්ට සාමාන්‍ය දෙයක්. අපට තුවක්කු නැහැ. අප කරන්නේ වාඩිවෙලා ඉන්න එක. නැත්නම් අප සිටගෙන ඉන්නවා. අපට අවශ්‍ය දේ

පුවරුවලින් පෙන්වනවා. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය යැයි කියනවා. එතකොට ඔවුන් වෙඩි තියළ මරනවා. දැන් සියයකටත් වඩා මරල.

හමුදාව පසුබසින පාටක් නැහැ. කොච්චර කල් විරෝධතා අල්ලගෙන ඉන්න පුලුවන් වෙයිද?

වි වි: තරුණ ජනයා කියන්නේ ආපස්සට යන්නේ නැහැ කියලයි. ඔවුන්ගේ මිතුරන්, මෙම හමුදාව විසින් ඝාතනය කරනවා ඔවුන්ට පේනවා. එවැනි ඝාතනයන් නවත්වන්න නම් දිගටම විරෝධතා පැවැත්විය යුතුයි නේද? මේ ඝාතන සහ මුදා ම්ලේච්ජත්වය නිසා තරුණ පරම්පරාව ඇතුළු බොහෝ දෙනා අසතුටට හා කලබලයට පත්වෙලයි ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අභිලාෂය පෙන්වීමට දිගටම සටන් කරන්න ඕනෙ. නමුත් තරුණ පිරිස් එන්න එන්නම වෙන මොනව හරි කරන්න ඕන කියන අදහසට එමින් ඉන්නේ. ඒක හොද ද නැද්ද කියන්න මට බැහැ. නමුත් අපි කියන්නේ විරෝධතා සාමකාමීවම තියෙන්න ඕන කියලයි.

මියන්මාරය පුරාම තරුණ ජනයා විරෝධතා දක්වනවා. කොහොමද සම්බන්ධීකරණය කරන්නේ? කොහේද නායකත්වය තියෙන්නේ?

ඇත්ත ප්‍රධාන නගරවල පමණක් නොවෙයි මුළු රටේම ජනයා පාරට එකවා. අන්තර්ජාලය භාවිතා කරමින්, සමාජ මාධ්‍ය හරහා තමයි දැනට සන්නිවේදනය කරන්නේ. රටේ බොහෝ දෙනා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරනවා. දැන් ටෙලිග්‍රාම් සහ සිග්නල් වගේ ඇප්වලටත් යනවා. මාත් ඉන්න එක සිග්නල් කණ්ඩායමක 3000ක් ඉන්නවා. ඒ වගේම ට්විටර් පාවිච්චි වෙනවා. දැන් ව්‍යාපාරය හැදින්වෙන්නේ සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය (සීඩීඑම්) කියලයි. එහි ටිවීටර් ජාලයේ ලක්ෂයකට ආසන්න පිරිසක් ඉන්නවා. සන්නිවේදන සහ විරෝධතා සම්බන්ධීකරණය හැම තැනකම තියෙන සීඩීඑම් හරහායි. මේ නායක නායිකාවන් නැති ජනයාගේ අරගලයක්.

සියලුම රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍ය පාලනය කරනු ලබන්නේ හමුදාව, පසුගියදා හමුදාව මාධ්‍ය ආයතන ගණනාවක් වසා දමන ලෙස නියෝග කළා. මිනිස්සු තවදුරටත් රූපවාහිනිය නරඹන්නේ නැහැ.

ඒවාට පිස්සු!

හමුදාව අලුයම 1 සිට උදේ 9 දක්වා අන්තර්ජාලය කපා හරිනවා. පාන්දර 1 ට පසු උදේ 9 වන තුරු අපට සන්නිවේදනයක් නැහැ. ඉතින්, ඒ තමයි හමුදාව තරුණයන් තරුණියන් අත්අඩංගුවට ගන්න වෙලාවෙ. ඒ නිසා අපි රෑට අවදියෙන් ඉන්න ඕන. අපි ඉන්නේ එකට. ඊයේ රාත්‍රියේ මම ගෙදර ගියේ

නැහැ. විරෝධතා දක්වන තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට එන හමුදාවට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයා සොයාගත නොහැකි නම්, ඔවුන් පුතා, දියණිය හෝ පියා හෝ වෙනත් අයෙකු අල්ලන් යනවා. හමුදාව තමන් විසින් මරණ අයගේ මළ සිරුරු පවා රැගෙන යනවා. අපට මේ වගේ දේ ඉවසන්න බැහැ. නමුත් ඔවුන්ට තුවක්කු තියෙන නිසා අපට කිසිවක් කරන්න බැහැ.

ඔබ සහභාගි වන විරෝධතා ගැන ඔබේ පවුලේ අය සිතන්නේ කොහොමද?

වි වි: මගේ පවුලේ අය, විශේෂයෙන් මගේ අම්මා, ගොඩක් සහයෝගය දක්වනවා. ඇය පාරේ ආරක්ෂාවට ඉන්න ඕනෑම කෙනෙකුට, නැත්නම් රාත්‍රියේ පාර රැකබලා ගන්නා මගේ මිතුරන්ට හෝ උදව්වක් අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඇය උදව් කරනවා.

මේ මොහොතේ, අපේ රටේ, අප හැමදෙනා ගැනම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම අපි අපේ ප්‍රදේශය සහ අපේ පාර ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම අපි අපේ නගරය රැකබලා ගත යුතුයි. ඉතින් අප මධ්‍යම රාත්‍රියේ සිට අලුයම 5 දක්වා පාර මුර කරනවා. කවුරුහරි තම නිවස ඉදිරිපිටට වෙලා පැයක් පමණ මුර කරනවා. ඊළඟට තවත් කෙනෙක් පාර මුර කරනවා.

ඉතින් ඔබ කියන්නේ ඔබේ පරවල් හමුදාවෙන් ආරක්ෂා කර ගත යුතු බවද?

වි වි: ඔව්, අපි සෑම රාත්‍රියකම අපේ නගරය සහ අපේ මාර්ගය බලා ගත යුතුයි. එක් පුද්ගලයෙකුට මුළු රාත්‍රියේම රැඳී ඉන්න බැරි නිසා අපි කණ්ඩායම් හා ඒ හා සමාන දෙයකින් අපිට පාර අවහිර කරන්න වෙනවා. හමුදාව වගේ කවුරුහරි ආවොත් මුර කරන කෙනා ශබ්දයක් කළ යුතුයි. ඔබ දන්නවාද? සෑම නගරයකම පටු පාරකම මෙය සිදුවෙනවා. හමුදාව එනවා නම් හැම ගෙදරකම බෙලෙක් වලං එකිනෙකට ගහමින් ශබ්ද කරන්න ගන්නවා. දැන් නම් හැමදාම හවස හයට ඒ ශබ්ද විරෝධය විනාඩි 15ක් කරනවා.

එක් රාත්‍රියක එවැනි ශබ්දයක් නැගූ පුද්ගලයා හමුදාව මරළ දැම්ම.

දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ විරෝධතා තියෙනව. උද්ඝෝෂන දිගටම හුඟක් කල් පවතින්න පුලුවන්ද?

වි වි: ඔව්. මේක දීර්ඝ මාසයක්. සමහර තරුණ තරුණියන් සිතුවා හමුදාව විසින් මිනිසුන් ඝාතනය කිරීම නිසා ජාත්‍යන්තර විරෝධයක් හා පීඩනයක් ඇති වේවි කියළා. අපිට සහාය දුන් හැම දෙනාටම හැම රටකටම මම ස්තුතිවන්ත වෙනවා. නමුත් ඔවුන්ට අපට උදව් කළ හැකි ද නැද්ද යන්නට වඩා අප රට තුළ එකිනෙකාට සහයෝගය ගොඩ නැගිය යුතු බව අප දැන් දන්නවා.

අපි සටන අත් නොහරිමු. හැම දෙනෙකුගේ උද්යෝගය පවත්වා ගැනීම අභියෝගයක් වුවත් අප එය කළ යුතුමයි. අනාගතය ගැන කලබල වෙන්න හොඳ නැහැ. අපි දිගටම විරෝධතා දැක්වුවොත් පමණයි ජයග්‍රහණයක් ලැබෙන්නේ.

හමුදාව කියන්නේ අපි ත්‍රස්තවාදීන් කියලයි. නමුත් කව්ද ඇත්ත ත්‍රස්තවාදීන්. ඒ තමයි බලයෙන් ආණ්ඩු කරන හමුදාව. අපි නිරායුධ සාමකාමී ජනතාව.

අපිම තමයි අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. ඒ වගේම අපි, අපි වෙනුවෙන් සටන් කළ යුතුයි. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලැබෙන තුරු අපි සටන් කළ යුතුයි. ඔව්, අපට එය කරන්න පුලුවන්. බාහිර සහායයෝගය අත්‍යවශයි. නමුත් මුලික වෙන්නේ අපි.

ඔබ කරන්නේ විප්ලවයක්ද?

වි වී: මියන්මාරයේ අපේ මේ ව්‍යාපාරයට විවිධ අර්ථ තියෙනවා. සමහරු එය විප්ලවයක් ලෙස හඳුන්වන බව ඇත්ත. නමුත් පොදුවේ, අපි එය හඳුන්වන්නේ “විරෝධය” ලෙසයි. නියත වශයෙන්ම අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. එය තමයි පොදු සාධකය. අපේ ගමනාන්තයත් එයයි.

මුළු රටම වැහිලද? වැඩ කෙරෙන්නේම නැත්ද?

වි වි: ඇත්තෙන්ම, රජයේ කාර්යාල මුළුමනින්ම අක්‍රීයයි. මම කියන්නේ 99% ක් විතර. බැංකු පවා වැඩ කරන්නේ නැහැ. රජයේ කාර්යාල සේවකයින්ගෙන් වැඩි දෙනෙක් සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයට බැහැල. සීඩීඑම් සඳහා සහභාගී වන ඒ කියන්නේ එක්තරා විදිහන වැඩවර්ජනයක යෙදෙන අය අත්අඩංගුවට ගන්න මෙම හමුදාව නිවෙස්වලට එනවා. ඒ නිසා රජයේ සේවකයින්ගෙන් බහුතරයක් හැංගිලා ඉන්නේ. ඒ අත්අඩංගුවට ගැනීමෙන් බේරෙන්න. ඔවුන් අත්අඩංගුවට ගත්තොත් ඔවුන් රැගෙන යන්නේ කොහේදැයි කවුරුත් දන්නේ නැහැ. කොපමණ අත්අඩංගුවට අරන්ද? වගේම හමුදාව ඔවුන්ට වධහිංසා පමුණුවනවන්නේද? කියලා අප් දන්නෙත් නැහැ.

ඇත්තටම තත්වය හරි භයංකාරයි.

එතකොට බයක් නැතිද? මරණය අතළග වගේ පේනෙ නිසා මොනවද හිතනේනේ,

වි වි: නිසැකවම. අපි හැමෝම බයයි. අපි අත්අඩංගුවට පත්නොවී පලා ගියොත් අපගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගනීවි. මරණය නිසා විතරක් නොවෙයි ඒ පවුලේ අය ගැනත් අපට බයක් තියෙනවා.

සිදුවිය හැකි දේ ගැන අපි බියෙන් ඉන්න බව ඇත්ත. ඒත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන දිනය තෙක්ම සටන් කළ යුතුයි. අපිට බලාපොරොත්තුවක් හා සිහිනයක් තියෙනවා. කවදා හරි අපට අවශ්‍ය දේ ලැබේවි. ඒ අප් දිගටම මේ ආකාරයට සටන් කරොත් විතරයි. අපි සටන් කිරීම නැවැත්වුවහොත්, අපිට කිසි විටෙකත් ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ නැහැ. අපි එකිනෙකා දිරිමත් කරමින්. අපි වෙනුවෙන් සටන් කළ යුතුයි.

අද මියන්මාරයේ නීතියේ ආධිපත්‍යයක් හෝ මානව හිමිකම් කියා දෙයක් නැහැ. ඉතින් අපි අපේ ජීවිතයට බිය නොවී ඉන්නේ කොහොමද?

අන්තිම වචන?

වි වි: ඇත්ත වශයෙන්ම, පාරට බැස විරෝධතාවයේ යෙදී සිටින සියලු දෙනාට මාගේ ගෞරවය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. සීඩීඑම් සඳහා සහභාගී වන රජයේ කාර්යාල සේවකයින්ට මම ආචාර කරමි. ඒ සියල්ලන්ටම ස්තූති කිරීමට මට අවශ්‍යයි.

ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බව පෙන්වීමට අපිට අවශ්‍යයි. අපේ විරෝධතා සාමකාමීය. අපි පොලීසියට හෝ හමුදාවට පහර දෙන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය, සාමකාමී ජනතාවක්.

(ඉංග්‍රිසියෙන් පළ කරන ලද මුල් ලිපිය සිංහලට ලියන මේ බදාදා රැයෙහි අසන්නට ලැබුණේ මිලිටරිය විසින් සිය සගයින් ඝාතනය කරනු ලැබීම නිසා කේන්තියට සහ වේදනාවට පත් තරුණ කණ්ඩායම් මිලිටරි ඒකකයන්ට ගිනි බෝම්බ සහ දැවැන්ත කැටපෝල මගින් පහර දීම් කර ඇති බවයි. මියන්මාරයේ චීනයට අයත් කම්හල් ගණනාවක්ම මේවන විට ගිනි තිබා තිබේ. මිලිටරි නායකයින්ට අයත් විශාල කම්හල් සහ ව්‍යාපාරික ආයතන ගිනි තබන බවට තර්ජන ද එල්ල වී තිබේ.)

සාකච්ඡා සටහන –  සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

You might like

About the Author: Editor