“නම්”

සිංහල නවකතා සාහිත්‍ය තුළ එක්තරා ආකාරයක සලකුණක් සටහන් කරන්නට සුදර්ශන සමරවීරගේ ‘නම්’ සමත්වන බව මට හැඟෙයි. එයට හේතුව වන්නේ එහි ආනුභූතිය සහ පරිකල්පනීය සීමාවන් මෙන්ම භාෂාව ද නැවුම් ආරක් ගැනීමය. නවකතාව කියවාගෙන යන විට එහි විෂයෙහි ලා පැන නැගෙන නව්‍යතාවය නවකතාවට ආලෝකයකි. අනුරාධපුරයට එහා ඈත ගම්මානයක් මූලික කරමින් නම් නවකතාවේ බීජය වැඩෙන්නේ දෙමාපියන් ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වූ යෞවන නැමැති තරුණයෙකු වටාය.

මේ කතාව අපිට කියන්නට පටන් ගන්නේ දේවින්ද උඩුනගරංදර ය. කතාවේ මුල් අර්ධය වන ජහුක්කාර බල්ටියාගේ සිදුවීම් මැවීම සහ ඒ ගලාගෙන යාම කතාව තුළ ගොඩනැගෙන අන්තර් පඨිතය ගැන යම් යම් ඉඟි සපයයි. මෙතැනදී කසන්සාකිස්ගේ සෝර්බා නම් ග්‍රීකයා යම් පමණකට මගේ මනස හරහා ගමන් කරයි. අපේ යොවුන් විය හැඩගැසෙන අයුරින් පරිභාහිර ව මේ යෞවන , ජාහුක්කාර බල්ටියා බවට පත්වීමේ කතාව තුළ සුදර්ශන තමන්ගේ භූමියෙහි කතා කලාව පෙරට ගෙනෙන අයුරු සුවිශේෂිය. එමෙන්ම මගේ මතකයට මෑතකදී කියැවූ තවත් විශිෂ්ට නවකතාවක් සිහියට නැගෙයි. එ නම් ජාත්‍යන්තර බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වූ ඩැනියෙල් කේල්මන්ගේ ටිල් නම් නවකතාවයි. එහි කථකයා වන්නේ අතීතයේ මෙවැනි විහිළු නාට්‍ය කලාවක චරිතයක් වන ටිල් ඔයින්ස්පීගල් ය. සුදර්ශනගේ මේ නවකතාවේ එන ජහුක්කාර බල්ටියා ද සෝර්බා සහ ටිල් අතර දෝලනය වන චරිතයකි.

නවකතාවේ දෙවන අදියර වෙන් වන්නේ ජහුක්කාර බල්ටියාගේ සරසවි ආගමනයටයි. සරසවි උප සංස්කෘතිය ලෙස අද නාමකරණය වී ඇති රැග් කාලය හෙවත් වාත සීමාව සහ පේරාදෙණි සරසවි ජීවිතයේ නූතන පැතිකඩක් ඉන් අප හමුවේ විවර වෙයි. එහෙත් මෙතැනදී මම දකින යම් දුර්වලතාවයක් වන්නේ සරසවි උප සංස්කෘතිය විස්තර කිරීමට සුදර්ශන තුළින් අවිඥානිකව නැගෙන ඔහුගේ චිත්තභ්‍යන්තර එළියට පැනීමයි. එහෙයින් ඔහුගේ නවකතාව දිශාගත වන තේමාවෙන් යම් පමණකට කතාව දුරස්ථ වන බවක් හැඟෙයි. සමහර කාරණා එදිනෙදා අප පත්තර වලින් කියවා ඇති දේවල්ම නිසා, මෙන්ම පත්තර වලින් ඊටත් වඩා සිදුවීම් කියවා තිබීම නිසා පාඨකයාට යම් ප්‍රමාණයක බාධාවක් මට මගේ හැඟීමයි. එය පුද්ගලබද්ධ වුවද, මෙතනදී එහි යම් ඉක්මවා යාමක් පෙනෙයි. සුදර්ශනට මේ කොටස තව සංස්කරණය කරන්නට තිබුණ බව මගේ පුද්ගලික හැඟීමයි. එහෙත් ඔහුගේ භාෂා භාවිතය අඛණ්ඩ කියැවීමකට බල කරයි. ඒ තුළ පාඨකයාට සීතල, අඳුරු කියැවීමක් ලබාදෙයි.

නවකතාවේ අවසන් අදියර සුවිශේෂිය. ඒ මේ තරුණයාගේ රූපාන්තරණය හරහා සුදර්ශන ගොඩනගන සංවාදය ලෝකය ගැන බොහෝ දෙනෙකු දකිනවාට වඩා වෙනස් බවක් ගනී. එමෙන්ම ඔහු ගෙනෙන පිරමීඩ සංකල්පය හෙවත් බලය බෙදී යාමේ ස්වභාවය නැවත නැවතත් අවධානයට ලක්විය යුතු කාරණා වේ.

“අපි මේ ලෝකේ තියෙන සීමිත සම්පත් ටික භුක්ති විඳල මැරිලා යන්ඩෝන බබා. එච්චරයි. මම කියන්නේ ලිබරල් පරිභෝජන වාදේ නෙමෙයි. මගෙ දේශපාලනය ඒකට විරුද්ධයි. අපි නිදහසේ කාලා බීල මැරිලා යන්ඩෝන තමයි. හැබැයි මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ගේ මස් කනවට මම විරුද්ධයි. ” 452 පිටුව

මේ නවකතාවේ එන දාර්ශනික ආස්ථානය වරින්වර අපිට අපිවම ප්‍රශ්න කරගැනීමකට ඉඩ සලස්වාලයි. මා ඉහතින් කී අර උප සංස්කෘතික කතිකාවට වැඩි ඉඩක් යොමුවීම ගැන මගේ කණස්සල්ල යොමුවන්නේ මේ ප්‍රබන්ධමය කතිකාවතට ඉඩ ඇහිරීම සහ පාඨකයා උප සංස්කෘතික ආතල් එකේ ගිලී මේ දාර්ශනික ආස්ථානයට යොමුවීමෙන් වැළකී යාදෝ හැඟෙන දුක නිසාවෙනි. අවසන් වරට කියන්නට ඇත්තේ මෑත කාලීන සිංහල නවකතාවෙහි සුවිශේෂි කඩඉමකට සුදර්ශන අපව කැඳවාගෙන යන බවය. අනිල් හේරත් වරක් මේ ගැන ලියමින් ලියූ සටහනේ සිංහල නවකතාවේ වරින්වර අත්හදා බලන්නට ගොස් අසාර්තක වූ ක්‍රමයක් සුදර්ශන මෙහිදී සාර්ථකව භාවිත කරන බව කියයි. ඒ නම් කථකයන් කිහිප දෙනෙකු හරහා කථාව අපිට සමීප කරවීමයි. මේ මොහොතේ මට ද එයට එකඟ විය හැකි බව පෙනේ. එහෙත් අබරං හා අන්දරේ යන චරිත ද්විත්වයේදී භාෂාව තව ටිකක් වෙනස් වූයේ නම් කියා ද හැඟේ. ඒ චරිත ද්විත්වයේදීම මට භාෂාවේ වෙනසක් ලොකුවට නොදැනෙන හෙයිනි. චරිත කිහිපයක් භාවිත කරන විට ඒ ඒ චරිතය භාෂාව හසුරවන ආකාරය වෙනස්ව පවත්වා ගැනීම කතුවරයෙකු මුහුණ දෙන විශාලතම අභියෝගයයි. සුදර්ශන ජය ගෙන ඇති බව හැඟෙයි. සුදර්ශනට කියන්නට ඇත්තේ තව ලියපං කියාය. විචාරකයන්ට කියන්නට ඇත්තේ මේවා කියවා විචාර ලියන්නට කියාය. පාඨක ඔබට ආරාධනය කරන්නේ නම් කියවන්නට කියාය.

රශ්මික මණ්ඩාවල

You might like

About the Author: Editor