රාජ්‍යය ප‍්‍රතිනිර්මාණය කිරීම

මා විසින් මීට පෙර ‘යුගයක අවසානය’ යන හිසින් ලියන ලද ලිපිය දේශපාලන තලයේ සැලකිය යුතු තරමේ අවධානයකට ලක්වුණේ යැයි කිව හැකිය. ලංකාව ගමන් කරමින් තිබෙනුයේ අරාජකත්වයක් හරහා අතිවිශාල විනාශයකට බව අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුව මා ලංකාව පිළිබඳව ඇති කරගෙන තිබුණු ප‍්‍රධාන නිරීක්ෂණයක් විය. එම තත්ත්වය පැහැදිලි කිරීම සඳහා 2011දී ‘ලංකාව ගලවා ගැනීම’ නමින් පොතක්ද ලියන්නට සිදුවිය.

ලංකාව පිළිබඳව වන මාගේ එම පුරෝකථනය මේ වන විට හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය. මා ‘යුගයක අවසානය’ යන ලිපියෙන් අපේක්ෂා කළේ ‘ලංකාවේ සමාජ-දේශපාලන’ ක‍්‍රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීම පරිපූර්ණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දීම සඳහාය.

කුමන හේතුවක් නිසා හෝ මගේ එම ලිපිය සාම්ප‍්‍රදායික දේශපාලන නායකයන් ගණනාවකගේ අවධානයට හේතුවී තිබුණි. ඔවුන් කිහිපදෙනෙකු එකට එකතු වී ඒ ගැන කතා කර තිබුණු අතර, පසුව ඉන් දෙදෙනෙක් ගාල්ලට පැමිණ ඒ ගැන මා සමගද කතා කළේය. ඊට දින කිහිපයකට පෙර දේශපාලන තලයේ තවත් ප‍්‍රමුඛ පුද්ගලයෙකු මගේ නිවසට පැමිණ ඒ ගැන මා සමග කතා කළේය. මගේ අදහස් පළකිරීම ඔවුන් සම්බන්ධයෙන් පවා දැඩි විවේචනාත්මක වූ අතර, මාගේ ඒ සියලූ විවේචනයන්ට සවන් දෙමින් ඒ හැම කෙනකුම අවසානයේ කියා සිටියේ එම තත්ත්වය ජයගැනීම සඳහා ලංකාවේ තෝරාගත යුතු විකල්ප ප‍්‍රවේශයක් වේ නම් එය පත‍්‍රිකාවක් ලෙස පළ කළ හැකි නම් ඒ ආශ‍්‍රයෙන් සමාජ කථිකාවක් ඇති කරගත හැකි බවය.

පරණ නායකයන් වෙනස් විය හැකිද?

ඒ කවර ප‍්‍රමාණයකටද යන ප‍්‍රශ්න මට තිබෙන්නේය. එහෙත් මෙහි පළවන පත‍්‍රිකාව ඔවුන්ගෙන් ලැබුණු ඇරයුම නිසා ලියන ලද්දක් බව කිව යුතුය. එය රටේ සමස්ත අර්බුදය අළලා ලියන ලද්දක් නොව අර්බුදයේ වැදගත් පැතිකඩක් අළලා ලියන ලද්දකි. මා යෝජනා කරන වෙනස්කම් ඉවසා දරා ගැනීමේ හැකියාව රටේ නායකයන්ට තිබෙන්නේද? ඒ ඉවසීම ඇති නම් ප‍්‍රතිනිර්මාණකරණයකට යාමේ හැකියාව රටට ඉක්මනින් ලැබෙනු ඇති අතර එසේ නොවෙතොත් තව කලක් මේ අර්බුදය තුළ පිච්චි පිච්චී සිටින්නට රටට සිදුවනු ඇත.

රාජ්‍ය නායකයා හා මන්ත‍්‍රීවරුන්

01. මහජනයා තෝරාපත් කරගන්නා රාජ්‍ය නායකයාද ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන්ද, ව්‍යවස්ථාව හා ඊට ඇතුළත් ප‍්‍රධාන ගුණධර්මවලට ගරු නොකිරීම ලංකාවේ සමාජ-දේශපාලන ක‍්‍රමයේ ඇතිවී තිබෙන ගරා හැලීම හා බිඳ වැටීම කෙරෙහි බලපා තිබේ. පහත දැක්වෙන වැරදි ඔවුන් හොබවන තනතුරුවලින් ඉවත් කිරීමට තරම් හේතුවන වැරදි ලෙස නීති ගත කළ යුතුයි.

(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හෝ විකෘති කිරීමට හේතුවන ක‍්‍රියා.

(ආ) ජාතික සමගිය දුර්වල කිරීමට හේතුවන ක‍්‍රියා

(ඇ) රාජ්‍යයේ ස්වභාවය විකෘති කිරීමට හේතුවන මතු දැක්වෙන ක‍්‍රියා

i රාජ්‍ය කෙරෙහි ජනතාවට තිබෙන පරමාධිපත්‍යය බලය හීන කිරීමට හේතුවන ක‍්‍රියා

ii මානව හිමිකම් හා රාජ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය හීන කිරීමට හේතුවන ක‍්‍රියා

iii නීතියේ ආධිපත්‍යය හා නීතියේ සර්ව සාධාරණත්වය දුර්වල කිරීමට හේතුවන ක‍්‍රියා

(ඈ) රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමට හේතුවන ක‍්‍රියා

(ඉ) දූෂිත ගණයෙහිලා සැලකිය හැකි ක‍්‍රියා

i ආදායම් උපයාගත හැකි රජයේ බලපත‍්‍ර (ගුවන් තරංග, මත්පැන්, ප‍්‍රවාහන, ඛනිජ

සම්පත් හා වෙනත් විවිධ) හිමිකර ගැනීම, තව පවුලේ අයට හිමිකරදීම හෝ ගජ මිතුරන්ට හිමිකර දීම.

ii රජයේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස හෝ සැපයුම්කරුවන් ලෙස ක‍්‍රියා කිරීම.

iii රජයේ දේපළ මිලදී ගැනීම, බදු ගැනීම පවරා ගැනීම හා රජයේ දේපළ විකිණීම හා බදු දීම.

02. 1978න් පසුව ජනාධිපතිවරුන් පොදු දේපළ විෂයෙහි සිදුකර තිබෙන බරපතළ වැරදි ගැන සොයා බලන තැනකට යායුතුය.

03. බරපතළ වැරදි කරන රාජ්‍ය පාලකයන්ට එරෙහිව මහජනයාටද පාර්ලිමේන්තුව වෙත විශ්වාසභංග යෝජනා හා දෝෂාභියෝග ගෙන ඒමට පුළුවන්කම ලබාදෙන ස්විට්සර්ලන්තය ඇතුළු සමහර රටවල ක‍්‍රියාත්මක වන ‘ජනප‍්‍රිය ප‍්‍රාරම්භක ක‍්‍රමය’ හා ‘විකල්ප ජනමතවිචාරණ ක‍්‍රමය’ ලංකාවට ගැළපෙන ලෙස ලංකාව සඳහාද යොදා ගත යුතුය.

වත්කම් බැරකම් නීතිය

04. වත්කම් බැරකම් නීතිය අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති අය කොටුකර ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල යොදාගෙන තිබෙන බලසම්පන්න නීතියක් වුවත්, එම නීතියේ ලංකා අනුවාදය සකස් කරගෙන තිබෙන්නේ වැරදි කර තිබෙන පුද්ගලයන්ට පැන යාමට ඉඩ ලැබෙන ආකාරයටය. එහි තිබෙන වැරදි නිවැරදි කිරීමට හේතුවන ලෙස එම නීතිය සංශෝධනය කොට එය බලාත්මක කළ යුතුය.

(අ) චේතනාන්විතව සිය වත්කම් සැඟවීමේ අරමුණින් වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටින අයට දිය යුතු සිරදඬුවම වසර දෙකක් බවට පත් කොට ඔවුන් සඟවාගෙන තිබෙන ධනය රාජසන්තක කරන විධි විධාන ඇති කළ යුතුය.

(ආ) චේතනාන්විතව තොරතුරු සඟවන හා විකෘති කර තිබෙන අයටද දිය හැකි දඬුවම අවුරුදු දෙකක සිරදඬුවමක් බවට පත් කළ යුතුය.

(ඇ) මැතිවරණ සඳහා නාමයෝජනාවලදී නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම අනිවාර්ය කළ යුතුය.

(ඈ) රාජ්‍ය නායකයාගේ සිට වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලූදෙනාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශන වෙබ් අඩවියක් මගින් පවත්වාගෙන යෑමේ වගකීම් විගණකාධිපතිවරයාට ලබාදිය යුතුය.

05. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන දේශපාලන පක්ෂ ක‍්‍රමය ලංකාවේ දේශපාලන පක්ෂ ඇතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් මත ක‍්‍රියාත්මක වන පක්ෂ ක‍්‍රමයක් නැතිකමද ලංකාවේ දේශපාලන ක‍්‍රමය ජරාජීර්ණ තත්ත්වයකට පත් කොට එය බිඳ වැටීමක් දක්වා වර්ධනය කිරීමට හේතුවී තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

(අ) දේශපාලන පක්ෂවලට ලබාදෙන නිශ්චිත කාල රාමුවක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා ඇතිකර ගනිමින් එම ව්‍යවස්ථාවන්ට අනුකූලව නිලවරණ පවත්වා දේශපාලන පක්ෂ ක‍්‍රමයේ ව්‍යුහයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවට පත් කළ යුතුය.

06. මැතිවරණ අරමුදල් රාජ්‍ය නායකයාද, දේශපාලන පක්ෂ හා ඒවාහි නායකයන්ද, මන්ත‍්‍රීවරුන්ද මැතිවරණවලදී කළු සල්ලිකාරයන් මත යැපීම දේශපාලන ක‍්‍රමය දූෂිත කිරීමට හේතුවී තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරණය සඳහා තරග කරන ප‍්‍රධාන අපේක්ෂකයකුගේ  සාමාන්‍ය වියදම රුපියල් බිලියන 03කි. බොහෝවිට එම වියදමෙන් ලොකු පංගුවක් ඔවුන්ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙනි. ඒ වෙනුවෙන් බලයට පත්වන ජනාධිපතිවරුන්ට මහජනයාට නොපෙනෙන ලෙස එම ජාවාරම්කරුවන්ට අනුග‍්‍රහය ලබාදීමට සිදුවී තිබේ. පාර්ලිමේන්තුවට තරග කරන අපේක්ෂකයන්ගේ තත්ත්වයද මීට වෙනස් නැත.

(අ) පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පරීක්ෂාවට ලක් නොවන එකම රට සමහරවිට ලංකාව විය හැකිය. මැතිවරණ අරමුදල්වලට ලැබෙන ආධාර හා මැතිවරණ වියදම් සඳහා සීමා නීති ඇති කළ යුතු අතර ඒ බලය මැතිවරණ කොමිසමට ලබාදිය යුතුය.

(ආ) පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පරීක්ෂා කිරීමේ බලය මැතිවරණ කොමිසමට හා විගණකාධිපතිට ලබාදිය යුතුය.

(ඇ) 1977 දක්වා ක‍්‍රියාත්මක වූ ආකාරයට මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයන් ඔවුන්ගේ ආදායම් හා වියදම් වාර්තා මැතිවරණය අවසන් වී නිශ්චිත කාලයක් තුළ මැතිවරණ කොමිසමට හා විගණකාධිපති කොමිසමට ලබාදීම අනිවාර්ය  කරන නීති ඇති කළ යුතුය. එම වාර්තා පරීක්ෂා කිරීමේ බලය මහජනයාටද දිය යුතුය.

07. විද්‍යුත් නාලිකා

ලංකා සමාජයේ අවිචාරශීලී හා පසුගාමී තත්ත්වය කෙරෙහි කිසියම් විශාල ප‍්‍රමාණයකට විද්‍යුත් ජනමාධ්‍ය හේතුවී ඇතැයි කිව හැකිය. මේ නාලිකා වැඩ කරන්නේද සමාජයේ පොදු යහපත සඳහා සකස් කළ ප‍්‍රතිපත්ති රාමුවකට අනුකූලව නොව, ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. මෙම ආයතන සියයට 95කටම බලපත‍්‍ර ලැබී තිබෙන්නේ අවිධිමත් ආකාරයකටය. භාණ්ඩාගාරයට ලැබිය යුතු බිලියන ගණනක ධනය ලබාගෙන ඇත්තේ ජනාධිපතිවරුන්ගේ ගජ මිතුරන්ය.

(අ) විද්‍යුත් මාධ්‍ය ආයතනවලට බලපත‍්‍ර ලැබී තිබෙන ආකාරය ගැන සොයා බැලිය යුතුය.

(ආ) සියලූම විද්‍යුත් ජනමාධ්‍ය ආයතන රටේ පොදු සුබ සිද්ධිය සැලකිල්ලට ගෙන සකස් කළ ප‍්‍රතිපත්ති රාමුවක් තුළ ක‍්‍රියාකරන ස්වයං නියාමන ක‍්‍රමයකට යටත් කළ යුතුය.

වික්ටර් අයිවන් – රාවය

You might like

About the Author: Editor