ෆුට්බෝල දෙවිඳුන්ට පස්ස හැරවූ ගැහැණිය

බොහෝ වීරයන්ගේ කුසලාන කබඩ්, සහසක් ඇටසකිලිවලින් පිරී ඇත. බොහෝ දෙවිවරුන්ගේ දේවාල අස්සේ සුවහසක් යක්ෂයෝ, පිසාචයෝ, කුම්භාණ්ඩයෝ වැඩ සිටිති. බොහෝ මානව ප්‍රේමින්ගේ  සිරියහන් රෙදි පෙරෙදි, සියක් ලේ පැල්ලමින් රටාවැටී ඇත. බොහෝ සුන්දර කවි හදවත් තුළ වැඩිකොටම ලැගුම්ගෙන ඇත්තේ අන්ධකාරය ය…

ඉතින්, වීර මැරඩෝනාගේ ෆුට්බෝල් රන් දෙවොල ගෝලවලින් හා කිතුගොසින් පිරී යනවිට

එහි වැද්ද නොගත් ‘නන්නත්තාර’ ගැහැනුන්ගේ ලේ කඳුලු ද, ‘අවජාතක’ දූ පුතුන්ගේ සෝ සුසුම් ද මහාද්වීප සිසාරා ගලායාම ගැන ඔබට පුදුමද? “ඒ හැම එකකදිම වැඩකළේ මගෙ එකෙන් පොඩ්ඩකුයි දෙයියන්ගෙ එකෙන් පොඩ්ඩකුයි…”

මැරඩෝනා එහෙම කියා ඇතිදැයි නොදනිමි. එහෙත් එහෙම කීවානම් ඒ ගැන පුදුම වෙන්නට දේකුත් නැත.

මෙය වින්දිතයන්ට නොව වීරයන්ට, වීර පුරුෂයන්ට අයිති ලෝකයකි.  මේ සිස්ටම් එක ඇතුළේ අන්ත පීඩිතයකු වන ඔබට එය අමතක කරවා, ඔබ ප්‍රීණනය කරන්නේ මේ එන්ටටේනර්ස්ලා ය.

ඉතින් ඒ පිළිමවලට ගල්ගසා ඔබ ජීවත්වන්නේ කොහොමද?

පෝලා දපෙනා (Paula Dapena) යනු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවකි. ඇය 24 හැවිරිදි ය. පසුගිය දා එරට පැවැති අන්තර් සමාජ පාපන්දු තරගයක් ආරම්භයේ සිය කණ්ඩායමේත්, ප්‍රතිවාදී කණ්ඩායමේත් සෙසු ක්‍රීඩිකාවන් ආර්ජන්ටීනියානු පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා ගේ අභාවය පිළිබඳ ශෝකය පළකිරීම සඳහා තරගය ආරම්භ වීමට පෙර පිටිය මැද පෙළගැසී විනාඩියක නිශ්ශබ්දතාවක් රකින විට ඇය ඊට විරෝධය පාමින් පිටිය මැද වාඩි වී, එම සැමරුමට පසුපස හරවාගෙන සිටියා ය.

“එයාව මේ විදියට සමරන්න යනව කියල දැනගත්ත ගමන් මං තීරණය කෙරුවා ස්ත්‍රී දූෂකයෙක්, ළමා අපචාරකයෙක්, අපයෝජකයෙක් වෙනුවෙන් මං විනාඩියක නිශ්ශබ්දතාවක් රකින්නේ නෑ කියලා.” දපෙනා කීවා ය.

“මැරඩෝනා විස්මිත ක්‍රීඩකයෙක්. ඒත් පුද්ගලයෙක් හැටියට එයා එහෙම හොඳ කෙනෙක් නෙවෙයි.” ඒ මැරඩෝනා ගැන ඇගේ තක්සේරුවයි.

මැරඩෝනාට එලෙස ගෞරව දැක්වීම ප්‍රතික්ෂේප කළ එකම පාපන්දු ක්‍රීඩිකාව තමන් පමණක් වීම ගැන පුදුම වන බව සහ ඒ ගැන කණගාටු වන බව වෘත්තියෙන් ගුරුවරියක වන දපෙනා පවසයි. ”වින්දිතයා වෙනුවට අපචාරකයා තෝරාගැනීමත්, ඔහුට ගෞරව ප්‍රණාම දැක්වීමත් මගේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඉතින් ඒක කරන්න මට බැරිවුණා.”

මේ ක්‍රියාව හේතුවෙන් ඇයට පමණක් නොව ඇගේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ට ද දැන් මරණ තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වේ.

“මගෙ ඔලුවෙන් පොඩ්ඩකුයි, දෙයියන්ගෙ අතින් පොඩ්ඩකුයි” (“a little with my head, and a little with the hand of God”) යනු 1986 ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයේ දී එංගලන්තයට එරෙහිව සුප්‍රකට ‘හස්ත ප්‍රහාර’ ගෝලය ලබාගත් මැරඩෝනා, ඒ ගැන කී සුප්‍රසිද්ධ කියමන ය.

සනත් බාලසූරිය මුහුණු පොතෙ තැබූ සටහන

You might like

About the Author: Editor