රොබට්ගේ සිහින වලට පියාපත් දෙන්න ආදරණිය මිචිගන් වලට යනවා(VIDEO)

මීට පැය 21 කට පෙර පෙර එනම් සිකුරාදා රාත්‍රී විද්‍යුත් තැපෑලට ආ පණිවුඩයක් නිසා ඇතිවූ ප්‍රහර්ෂයි මේ සටහන් කරන්නෙ. එහි විෂය දැක්වෙන ශීර්ෂයේ මාතෘකාව වුණා ‘අපි දිනුවා’ (We Won) යන්න. එය එවල තිබුණේ කෙටි පයුරුපාසනමක් නිසා දිගුකාලීනව සිතේ රැඳුනු මිත්‍රයෙක්. ඔහු Robert S. Wittenberg. ඇමෙරිකා එක්සත් ජනපද ජන්ද ප්‍රතිපලත් සමඟ ඔහු ඉන්නෙ ප්‍රීති ප්‍රමෝදයෙන් මේ දිනවල.

මම මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස දිවියේ අවස්ථා දෙකකදී පමණයි අපේක්‍ෂකයෙකුට හෝ දේශපාලන පක්‍ෂයකට කඩේ ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඒ ලංකාවේ නොවෙයි, ඇමෙරිකාවේ. (Mid Term Election 2018/19).

(ලංකාවේ ජන්ද අයදිමින් ගෙන්ගෙට යන්න (House to House Campaign) අපේක්ෂකයාට පමණක් නොවෙයි ලඟම නෑයෙකුට හෝ බැහැ.ඒත් යන තරමක් යන්නේ නෑදෑ සනුහරේම තමයි. අපේ රටේ සමහර මැතිවරණ නීති ප්‍රායෝගික නැති බවත් ඒවා අමු අමුවේ උල්ලංඝනය වන බවත් දැනදැනම ඒවා පාරට්ටු කරමින් වැජඹෙන බළධාරීන්ගේ ආලප් කතා ඇහුවම තොල් සපාගෙන ඉන්නවා මිසක් වෙන කල හැකි දෙයක් නැහැ).

මම මැතිවරණ නිරීක්ෂණයට එක්වුණේ සුප්‍රසිද්ධ මිචිගන් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල. සැබෑ නිරීක්ෂණයක් කරන්න නම් නුඹලා කැම්පේන් එකට සෙට් වෙන්න ඕන කියල යෝජනා කලේ එකල ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එවැනි කටයුතු සඳහා නායකත්වය දුන් ටේලර් කියල මහත්මයෙක්. ඉතිං ජර්මනිය, ඉන්දුනීසියාව, පෝලන්තය වගේ රටවල සමවයසේ මිතුරන් පිරිසක් සමඟ ඩිමොක්රට්වරුන් වෙනුවෙන් මිචිගන් පළාතෙත් ෆ්ලොරිඩාවල රිපබ්ලිකන්වරුන් වෙනුවෙනුත් කැම්පේන් කලා.

දෙසැම්බරයට ආසන්න කාලයක් නිසා සෙල්සියස් 15 ටත් අඩුවෙන් සීතලේ ගැහෙමින් ඇමෙරිකානු ජන්දදායකයන්ගේ දොරවල්වලට තට්ටු කරපු ඒ සන්ධ්‍යාභාගවල් කිහිපයෙදී මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස ලබාගත් අත්දැකීම් ගොන්න විශාලයි.

මෙහෙම ගෙවල් වලට ගොස් කැන්වසින් කිරීම KNOCK Doors එහෙමත් නැත්නම් Door to Door කියලයි කියන්නෙ. ඔහේ යන්නං වාලේ යන යෑමක් නොවෙයි එය. ඉතා විධිමත්ව සකස්කළ පරිගණක යෙදවුමක් ඔස්සේ තමන් වෙත සහය දෙන හා නොදෙන නිවෙස් හඳුනා ගෙනයි යන්නේ. කැන්වසින් එකට යන්න පිටත් වෙන්න පෙර ලැබුණු සමහර උපදෙස් පෞද්ගලිකව ටිකක් තැති ගන්නා සුළුයි. රිපබ්ලිකන් නිවසක් නම් වැඩිපුර කතාවට නොගොස් රැගෙන යන පත්‍රිකාව පමණක් දීල ඉක්මණට මාරුවෙන්න වගේ උපදෙසුත් ආව. ඇත්තටම ඔවුන්ගේ ඇප් එකේ තියෙනවා කතාබහ කොට වෙනස් කල හැකි, කිසිදා වෙනස් කල නොහැකි පාක්ෂිකයන් ආදී ලෙස වර්ග කරලා.

ඔබට මතකනම් ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණත් උත්සහ කලා මීට මඳක් සමාන ඇප් එකක් හඳුන්වා දෙන්න. අවාසනාවට මෙන්න පෞද්ගලික තොරතුරැ එකතු කරනවෝ කියා බොහෝ දෙනෙක් හඬ නැගුවා. මෙලෙස තාක්ෂණය සමඟ කැන්වසින් කරන වැඩේට මමනම් මනාපයි.

කලින් කීවත් වගේ එක් නිවසකට ලඟා වනවිටම නිවැසියා මහ සද්දෙන් දොර වහල දැම්ම. ඉතුරු වුණේ නිවසේ වැරන්ඩාවේ දිගේලි කරපු තඩි බල්ලෙක්. අතේ තිබුණු කොළ ටිකත් එහෙම්ම අරගෙන අපි පසුබැස්ස. තවත් නිවසක රොබට් ඩි නීරෝ ටයිප් එකේ උසමහත හාදයෙක් එළියට බැස්සේ කලාතුරකින් දකින්න ලැබෙන වර්ගයේ රයිෆලයක් අරගෙන. මිනිහ වාසනාවට ඩිමොක්රට් පාක්ෂිකයෙක්. රයිෆලයක් හෝ කිහිපයක් තබා ගැනීම ඇමෙරිකාවට ආගන්තුක කරුණක් නොවේ). සුහද කතාබහ අවසානයේ මිනිහ අවංකව කීව අපිත් එක්ක හිටපු පාංශු දේහධාරී ජර්මන් මිතුරා දැකල ගැස්සුනා කියල.

වෙනදා ඇමෙරිකන්කාරයන් කිහිපදෙනෙක් එන නිවසකට හමේ පාටවල් වෙනස්, එක එක සයිස් එකේ අමුත්තන් පිරිසක් කඩා වැදීම එලෙස ගැස්සීමට හේතුවක් තමයි.

ඒත් අවසානයට සිද්ධ වෙච්ච දේනම් සීතලට මිදෙන්න ආසන්නයේ තිබුණු ලේ ටික සැණෙකින් පිච්චෙන සිදුවීමක්. මිචිගන් වල ‘ලාන්සින්’ ආසන්නයේ ඔහොම ගෙවල් වලට තට්ටු දදා යද්දි එකපාරටම පොලීසිය වටකලා. බැලින්නම් කෑකෝගහමින් පළාතම දෙවනත් වෙන්න සද්දේ දමමින් යද්දී නිවැසියන් පොලීසියට ඇමතුමක් හෝ කිහිපයක් දීල. ලංකාවේ වගේනම් එහෙම පැමිණිල්ලක් ආවේ විපක්‍ෂයට එරෙහිවනම් අඩුගානේ පොලීසියට හෝ කුදලන් යනවා ස්ථිරයි.

(ලංකාවේ ගොඩක් පොලිස් නිළධාරීන් හිතන්නේ ඒ ගොල්ලන්නට වැටුප් දෙන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගේ පොකට් එකේ තියෙන සල්ලි වලින් කියලයි).

මේ වෙලාවේ තමයි රොබට් මැද්දට පැන්නේ. එයා එතන හිටපු සියලු දෙනා හඳුන්වලා දුන්න.කොහොම වුණත් ෆීජි දූපත් වලින් ආව හාදය පවා හඳුන්වලා දෙද්දී ලස්සනට ඔළුව වැනුව මිචිගන් ස්ටේට් පොලීසියේ සෙට් එක මම ශ්‍රී ලංකාවෙන් කීවම උඩබිම බැලුව. එතන හිටපු කවුරුවත් අපි ගැන දන්නේ නැහැ. (වෙනත් ගොඩක් තැන්වලදිත් ඕකම උනාම ඉන්දියාවට ලඟම රට කියල තමයි හැඳින්වීම අවසන් කරන්නෙ).

එහෙම මැද්දට පැන්න රොබට් භාෂනයේත්, පිරිස් සංවිධානයේත් සූර තැනැත්තෙක් බව මම ඒ ටික දිනට හඳුනා ගත්ත. ඊයේ එවපු විද්‍යුත් තැපෑලට අනුව එයා මෙවරත් ජනාධිපතිවරණයට සමගාමීව ජන්ද 387,000 ක් අරගෙන ඕක්ලන්ඩ් කවුන්ටි එකේ ඩිමොක්‍රටික් නියෝජිතයා වෙලා. ඒ අනුව රොබට් තමයි මිචිගන් ජනපදයේ 27 වන දිස්ත්‍රික්කය සඳහා Michigan House of Representatives නියෝජනය කරන්නෙ.

මේ නිතර හමුනොවන දුලභ මිතුරා කෙරෙහි මෙතෙක් පැවති බැඳීම දෙගුණ තෙගුණ වුණා ඔහු පෙරකී විද්‍යුත් තැපෑලත් සමඟ එවල තිබුණ වීඩියෝ ක්ලිප් එකක් බලල. තමන් ජන්දය භාවිත කරන අවස්ථාවේ ඊට තමන්ගේ කුඩා දරුවන් දෙදෙනා එක් කරගන්න ආදරණිය විලාසයයි එහි තිබෙන්නේ. බොහෝ දෙනාට ඇමෙරිකන් විරෝධයක් තිබෙනවා තමයි.

(එහෙම බරපතල විරෝධතා තියෙන අයියලා ඇමෙරිකාවට යන්න දඟලන හැටිත්, ගිහිල්ල කරන දේත් ලියන්න තරම් ප්‍රසන්න නැහැ. සමහර තානාපති කාර්යාල වලින් අහල එවනවා මේ අය මැතිවරණ භීෂණයට ලක්වුණාද කියල. බලනකොට ඇමෙරිකාවට පනින්න ඕන නිසා විසා ගන්න ලියන්නේ ඒ අයට ලංකාවේ ඉන්න බැරිතරම් මැතිවරණ භිෂණය කියල. එහෙම අය ගැන මම හොඳ හොඳ රෙකමන්ඩේෂන් දීල තියෙනවා තානාපති කාර්යාලවලට-:)).

අපේ රටෙත් දේශපාලනයට ආදරයයි කැඳවන්න ඕන. දවස පුරා වෛරයෙන් හා ක්‍රෝධයෙන් ඇවිළෙන දේශපාලකයන් දැක්කම මුළු දවසෙම කැඳත් නැහැ වගේ. එවැනි රටක ඉන්න මටනම් ව්‍යාජ දේශප්‍රේමින්ට වඩා, කුහක දේශපාලන අතවැසියන්ට වඩා රොබට්ලා වටිනවා.

බයිඩන් සමඟ ඉදිරියට ජයග්‍රාහී ගමනක් යන්න ඉන්න රොබට් මිචිගන්වල ජනකාන්ත චරිතයක් වේවි නුදුරු අනාගතයෙදි. එදිනට මමත් එයාට කැම්පේන් කරන්න ආපහු යනවා මිච්ගන් වලට www.RobertWittenberg.com

වීඩියෝව බැලීමට පිවිසෙන්න:

මංජුල ගජනායක

You might like

About the Author: Editor