මන්ද පමා – ඇමෙරිකානු මැතිවරණ ප්‍රථිපල

අපේ තරුණ ගායිකාව උමාරියා මන්ද පමා ගයන විට නම් ප්‍රමාදයත් කෙතරම් නම් ශ්‍රුංගාරය ම වඩවන සතුටු සහගත එකක් නේදැයි ඔබට සිතෙනවා ඇති. ඒත් මැතිවරණ ප්‍රථිපල ගැන එහෙම හිතන්න බැහැ. වසර 2015 ජනාධිපතිවරණ ප්‍රථිපල මධ්‍යම රාත්‍රියේ හෝරා දෙකකට වඩා ප්‍රමාද වුණා. ඉතිං ඒ ගැන විමසා අපේ ආයතනයට පමණක් පැමිණි දුරකථන ඇමතුම් සංඛ්‍යාව අපමණයි. (අපි කියල මොනවා කරන්නද ඒ වෙලාවට ඉතිං -:).

මේවනවිට ජෝසෆ් රොබිනෙට්ටි බයිඩන් (කනිෂ්ඨ) ඉන්නේ ජන්ද විද්‍යාල 270 පේන මානයේ. වසර 2009 සිට 2017 දක්වා පැවති බරක් ඔබාමා පාලනයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන උප ජනාධිපතිවරයා වුණු බයිඩන් නිත්‍යානුකුල විවාහ දෙකක් ම කලින් කලට කරගෙන සැළමුතු නුගිනුරා කදිමට රස බලපු සුළවතෙක්.

ඊයේ මම ජන්ද විද්‍යාල ගැන ලියන ලද සටහනෙහි දෙවැන්නයි මේ. ඊයේ කීවා වගේම මම කැමතියි ජන්ද විද්‍යාල කියනවාට වඩා ඉලෙක්ටෝරල් කොලේජ් කියලම කියන්න. ලංකාවේ තියෙන කොලේජ් මේ කියන කොලේජ් වලට වඩා ගොඩක් වෙනස්. මේවගෙන් සාමාන්‍යයෙන් කරන්නේ ජන්දදායකයන්ගේ කැමැත්ත ලැබී ඇති පරිදි ජයග්‍රාහී අපේක්ෂකයා වෙත තමන්ගේ කැමැත්ත ලබා දීම. ඉතිං ඔය කැමැත්ත වෙනස් වන අවස්ථාවත් නැත්තේ නැහැ. මම කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදායයි.

ඊයේ ලිපිය කියෙව්වනම් ඔබ දන්නවා තීරණාත්මක ජනපද මොනවද කියල. අදවනවිට ඒ වගේ crucial battleground දෙකක්ම බයිඩන් මහත්තය දිනා ගත්ත. එකක් මිචිගන්. අනෙක විස්කොන්සින්.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙක් මිය පරලොව ගිය බවට අද දවසේ වාර්තා වුණා. ඒත් ගොඩක් දෙනෙක් හෝන්දු මාන්දු වෙලා. ඇයි මේ ප්‍රතිපල ප්‍රමාද කියල. ඇත්තටම ඇයි?

දැනටමත් බයිඩන් හුරා ගත්ත ජන්ද ප්‍රමාණය මිලියන 70.5 ක්. මේ හදන්නේ එයා තවත් වාර්තාවක් තියන්නයි. ඒ කියන්නේ එයාගේ බොස් පරද්දන්න. මොකද බරක් ඔබාමා වසර 2008 දී ජයගත්තේ ජන්ද මිලියන 69.5 ක් අරගෙන. දැනට අපේ ට්‍රම්ප් මහත්තයා අරගෙන තියෙන ජන්ද ප්‍රමාණය මිලියන 67.8 කට මඳක් වැඩියි. හැබැයි සුපුරුදු පරිදි ට්‍රම්ප් තුමාගේ තර්ජන අඩු වෙලා නැහැ. එතුමා කියන්නේ විකොන්සින් ජන්ද නැවත ගණන් කරන්න කියල. ඒ වගේම මිචිගන්, පෙන්සිල්වේනියා වගේම ජෝර්ජියා ජනපදවල ජන්ද ගණන් කිරීම සඳහා නිතිය හමුවට යන බවත් කිවුවේ මහ හයියෙන්. කොහොම වුණත් නෙවාඩා වගේ ජනපදයක් ගැන බයිඩන් දල්වා ගෙන බලාපොරොත්තු අනන්තයි. මොකද පුංචි පරතරයකින් ජයගත්තත් එතනින් බයිඩන් සීයාට එන ජන්ද ගණන හරියටම 06 ක්.

දැන් අපිට පුළුවන් ප්‍රථිපල ප්‍රමාදය ගැන විමසන්න. ඇත්තටම ප්‍රතිපල ප්‍රමාද වීම එක්සත් ජනපදයට එතරම් අරුමැසි පුවතක් නොවෙයි. ඔබ දන්නවා නේ. මුළු රටේම මැතිවරණ මෙහෙයවන්න පිහිටුවපු මැතිවරණ කොමිසමක් එක්සත් ජනපදයට නැහැ.

වොෂින්ග්ටනයේ පිහිටා ඇති ෆෙඩරල් මැතිවරණ කොමිසමේ දැනට ඉන්නේ සාමාජිකයන් තුන්දෙනයි. එක්කෙනෙක් ඩිමොක්‍රට් පක්ෂයේ සහ අනෙක් කෙනා රිපබ්ලිකන් පක්ෂයේ. තෙවැන්නා ස්වාධීන කෙනෙක්. මහාචාර්ය හුල් නඩුවක් දැම්මා කියල දහඅට පාලි නටපු ඇත්තෝ දැන් එන්න බලන්න මේ පැත්තට. මෙන්න බොලේ මැතිවරණ කොමිෂන් වල පක්‍ෂ සාමාජිකයන් ඉන්නවෝ. ඒක තමයි ඒ රටවල් ගොඩනඟා ගෙන ඇති අදීන පැවැත්ම. (දැන් ඉතිං වැළපෙන්න එපා මමත් යැංකි සෙට් එකට කඩේ යනවා කියල).

ඇමෙරිකාවේ ජන්ද භාවිතයේ විවිධ ක්‍රම උපයෝගී කරගන්නවා. ලංකාවේ වගේ මැතිවරණ සඳහා තාක්ෂණය උපයෝගී කරගන්න ඒ අය භය නැහැ. (අපි ඉතිං කොම්පියුටර් ජිල්මාර්ට් වුණා කියලත් වැළපුණු ජාතියක් නේ). වසර 2016 දී ඒ අය ජන්ද භාවිත කිරීමේදී මෙහෙමයි අදාළ ක්‍රම උපයෝගී කරගත්තේ.

අතින් ගණන් කරන ජන්ද පත්‍රිකා – 1.54%

ඔප්ටිකල් ස්කෑන් – 62.78%

විද්‍යුත් – 32.85%

මිශ්‍ර – 2.69% මම මේ ක්‍රම ගැන තෙවැනි හෝ සිවුවැනි ලිපියෙන් පැහැදිලි කරන්නම්. මොකද තව ටික වේලාවකින් තැපෑලේ හිරවෙච්ච ජන්ද ටික ගණන් කරන්න කලින් මේ සටහන් ජනගත කරන්න ඕන.

මැතිවරණ ප්‍රථිපල ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් දැනට තැපෑල මඟින් එන ජන්ද පත්‍රිකා ගණනයට යම් කාලයක් ගතවීම. මීට දවසක්ද , දවස් දෙකක්ද , සතියක්ද යන්නේ කියල දෙයියෝ තමයි දන්නෙ. මොකද ඇමෙරිකාවේ මැතිවරණ වල තියෙන විවිධත්වය.

මෙවර ජන්දය විශේෂයි. මොකද කොවිඩ් 19 ව්‍යවසනය නිසා මෙවර ජන්ද භාවිතයේදී තැපෑල භාවිතයට ගන්නා පිරිස අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්. වසර 2016 ත් එක්ක ගත්තම එම ගණන 21% කින් ඉහළ ගිහින් බවයි පේන්න තියෙන්නේ. ජනපදයෙන් ජනපදයට මැතිවරණ බළධාරීන් ඔවුන්ට අනන්‍ය ක්‍රමවේදයක් භාවිත කරනවා මිසක් රටටම ආවේනික එක් ක්‍රමයක් නැහැ. නිදසුනක්‌ කියන්නම්.

ඇලබාමා ජනපදය වසර 2020 ට පෙර අනුදත් ක්‍රමය තමයි තැපෑලෙන් ජන්දය දෙන්න නම් නිදහසට කරුණු කියන්න ඕන. අඩුගානේ අසනීප වෙන්න ඕන. ඒත් පසුගිය ජුනි ඉඳන් ඔවුන් විශේෂ නීතියක් සම්මත කලා එහෙම නිදහසට කරුණු ඕන නැහැ කියල.ඒ වගේම ඇලස්කාව ගන්නකෝ නිදසුනට. ඒ අය මෙවර විශේෂ තීරණයක් ගත්තා. ඒ තමයි ජන්දදායකයන්ට නොමිලේ මුහුණු ආවරණ සහ අත් ආවරණ ලබා දෙන්න. ඒ වගේම ඇලස්කාවේ ජන්ද

දායකයන්ට නිදහසට කරුණු කියන්න ඕන නැහැ තැපෑලෙන් ජන්දය දාන්න. එකම දෙයක් කරන්න ඕන . ඒ තමයි ජන්දදායකයා ජන්ද පත්‍රිකාව අස්සන් කරද්දී සාක්‍ෂියට කෙනෙක් ඉන්න ඕන. අපේ මුලතිව් එක විදියකටත්, මාතර එක විදියකටත් තිබුණොත් කපෝතියි නේද? ලොවි ගහෙත් නැහැ, ලොවෙත් නැති වැඩක් වෙන්නේ.

මේ අනුව ඔබට පෙනී යා යුතුයි එක්සත් ජනපදයේ තැපෑලෙන් ජන්දය දීමට ඇති උනන්දුව. ඉතිං ප්‍රථිපල ප්‍රමාදයේ එක් මුලක් තිබෙන්නේ මෙතන. මැතිවරණ දිනයේ ම සියලු ජන්ද පත්‍රිකා ලැබිය යුතුය සහ මෙන්න මේ වෙලාවට අපි වැඩේ නවත්වනවා කියල කියන්න ඒ අය කැමති නැහැ. මොකද මුලින් කීවා වගේම ඒ ඒ ජනපද තමන්ට අනන්‍ය විශේෂ ක්‍රමවේද ඔස්සේ තමයි මෙතෙක් මැතිවරණයේ සුපිළිපන්න බව රැක ගෙන ඉන්නේ.

මේ අතර ඔබට ඉතාම වැදගත් කරුණක් තිබෙනවා මතක් කරන්න. ඒ තමයි Absentee Ballots ගැන. ඇමෙරිකාවේ සහ තවත් බොහෝ දියුණු රටවල මේ ඇබ්සන්ටී ජන්දවලට දීල තියෙන්නේ ලොකු වැදගත් කමක්. ඇබ්සන්ටි බැලට් කියන්නේ මැතිවරණ දිනයේ පෞද්ගලිකව ජන්ද භාවිතයට එක්විය නොහැකි ජන්දදායකයන් භාවිත කරන ජන්දයයි. මෙලෙස හැඳින්වේ. මෙලෙස ඇබ්සන්ටී ජන්ද භාවිතයට බොහෝ විට පෙළෙඹෙන්නේ විදෙස්ගතව සිටින රටවැසියන්, හමුදා රාජකාරියෙහි නිරත පිරිස්, අඛණ්ඩව සංචාර සඳහා එක්වන්නන් වගේම නිත්‍යානුකුලව තමන් පදිංචිව සිටින ජනපදයට පරිබාහිරව පාසල්වල (අධ්‍යාපන ආයතන) සේවය කරන්නන්. ලංකාවේ සංදර්භයෙන් හිතුවොත් නම් ටිකක් අමාරුයි වැඩේ වටහාගන්න.

මෙවර 03 වෙනිදා පැවති මැතිවරණයට පෙර දිනයේ පමණක් තැපෑලට ඇමෙරිකානුවන් යොමුකරන ලද තැපැල් ජන්ද ප්‍රමාණය මිලියන 64 ක්. දැන් තියෙන ප්‍රශ්ණය මෙයයි. Battlegrounds කියල හඳුන්වන (මම පළමු ලිපියේ විස්තර කලා) ජනපදවල මෙහෙම තැපෑලෙන් ආව ජන්ද ගණන් කරන්න බොහෝ කලක් යනවා. සමහර විට සතියක්. දැන් ට්‍රම්ප් මහත්මා ටිකක් භයවෙලා තීරණාත්මක තරඟයකට තියෙන අවස්ථාව මේ නිසා අහිමි වෙයි කියල. කොවිඩ් 19 නිසා ජන්ද පෙට්ටි රෑට යම් යම් පරිශ්‍ර තුළ තියෙන කොට මතකද අපේ කට්ටිය කීව දේවල්. රෑට ජන්ද පෙට්ටි ඇවිදියි කීවා. මෙන්න ට්‍රම්ප් සර් ඒ කතාවම කියනවා. ඒ මෙහෙම ‘“cheating can happen like you’ve never seen.”.ඔබ කිසිදා නුදුටු වංචාකාරී දේ සිදුවිය හැකියි. කාල වරෙන්කො. (අපිට මොකෝ අනේ ඔයානේ පරදින්නේ එහෙම වුණොත්).

මංජුල ගජනායක

You might like

About the Author: Editor